IMF දෙවැනි පාරටත්!

136

● අයිඑම්එෆ් සහාය පැතීම

රට මුහුණ දුන් දරුණුතම විදේශ විනිමය අර්බුදය හමුවේ අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමට තීරණය කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදීමය. අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉවත් වීමෙන් පසු වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ලෙස පත් කළේ ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින්මය. මේ නිසා කිසිසේත්ම අයිඑම්එෆ් සහය නොගන්නා බවට එම රජයේ දැඩි ප්‍රතිපත්තියක් නොපැවති බව පැහැදිලි වේ. එහෙත් එම රජයේ ඇතැම් අය විවිධ අවස්ථාවලදී අයිඑම්එෆ් සහය අවශ්‍ය නොවන බවටත් සියලුම විදේශ ණය ගෙවිය හැකි බවටත් විවිධ අවස්ථාවල දී අදහස් දැක් වූ බව අපට මතකය. ඔවුන්ට අප මුහුණ දී සිටි විනිමය අර්බුදයේ ප්‍රමාණය සහ ස්වභාවය ගැන නිසි ඉදිරි දැක්මක් නොතිබූ බව මෙන්ම අපට විදේශ මුදල් සොයා ගැනීම සම්බන්ධයෙන් කිසියම් අධි තක්සේරුවකින් සිටි බව ද මේ අනුව අපට වැටහෙන කරුණකි. මේ නිසා රට උග්‍ර විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී තෙල් ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා ආනයනය කරගත නොහැකි බරපතල අර්බුදකාරී තත්වයකට අප ගිය වසරේ (2022 ) පත් වූ බව අප සියලු දෙනා දන්නා කරුණකි. මේ නිසාම ඇති වූ අරගල ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටින් පවා පැන ගොස් ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු විය. ඉන් පසු පාර්ලිමේන්තුවේ බහුතර ජන්දයෙන් ව්‍යවස්ථානුකුලව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් විය.

● බංකොළොත්භාවයෙන් රට මුදා ගැනීම

IMF දෙවැනි පාරටත්!

ගිය වසරේ උග්‍ර වූ විනිමය අර්බුදය හමුවේ රටට විදේශ ණය පවා ගෙවා ගත නොහැකිව 2022 අප්‍රේල් 12 වැනිදා තාවකාලිකව විදේශ ණය ගෙවීම අත්හිටුවන බව පවා ප්‍රකාශයට පත් කිරීමට සිදු විය. එනම් රට බංකොලොත් විය. ආර්ථිකය ඝාතනය විය. එයට හේතුව ණය ගෙවාගෙන යාමට නොහැකි මට්ටමට අපේ විදේශ සංචිත හොදටම සිඳී ගිය නිසාය. ඒ නිසා රට බංකොලොත් වූයේ 2022 අප්‍රේල් 12 වැනිදා විදේශ ණය ගෙවීම අත්හිටුවන බව ප්‍රකාශයට පත් කිරීම නිසා නොව,රට බංකොලොත් වීම නිසා රජයට අකමැත්තෙන් නමුත් ඒ බව ප්‍රකාශයට පත් කිරීමට සිදුව තිබිණි. මෙය අප පටලවා ගත යුතු නොවේ. කෙසේ හෝ මේ සියල්ල අතීත කතාය. මෙසේ රට බංකොලොත් වීමට බලපෑ දිගුකාලීන සහ කෙටිකාලීන හේතු ද තිබේ. අපට බංකොලොත්භාවයෙන් මිදීමට නම් අප එම හේතු වලට පිළියම් යොදා අපේ ණය තිරසාරත්වය ඇතිකරගෙන විදේශ මුදල් ලැබීම් මාර්ග වර්ධනය කරගත යුතු වේ. එසේම තවත් ආර්ථිකයේ පවතින දුර්වලතා රැසක් නිවැරදි කර ගැනීමට ද සිදුවේ. අයිඑම්එෆ් වැඩසටහන මගින් කරන්නේ එම පිළියම් යෙදීමයි. එහෙත් රට බංකොලොත් කළ තරම් ලේසියට, බංකොළොත්භාවයෙන් රට මුදා ගැනීම නම් ලේසි පහසු කාරණයක් නොවේ. කෙසේ හෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද අයිඑම්එෆ් සහාය ලබා ගනිමින් ඒ අනුව අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් රට පත් කළ ආර්ථික අගාධයෙන් ගොඩ ගැනීමට කටයුතු කරමින් සිටී. එහි අඩුපාඩු සහ වැරදි ගැන අපට කොතෙකුත් කතා කළ හැකිය. එහෙත් මේ මාර්ගයේ යනවා හැර වෙනත් කිසිවකුට බංකොළොත් කළ රට එම තත්ත්වයෙන් ගොඩ ගැනීමට ප්‍රායෝගික විකල්පයක් ඇතැයි අපි නොසිතමු.

● අයිඑම්එෆ් සහාය ලැබීම

අපගේ විදේශ ණය තිරසාරත්වය නොමැති වී තිබූ නිසා අපට වෙනදා මෙන් අයිඑම්එෆ් සහාය ගැනීම ද මෙවර පහසු කටයුත්තක් නොවීය. මේ අප අයිඑම්එෆ් සහාය පැතුවේ 17 වන වරටය. කලින් අයිඑම්එෆ් සහාය පැතූ 16 වතාවටම වඩා මේ නිසා මෙවර අයිඑම්එෆ් සහාය ගැනීම සහ අපට අපේක්ෂිත ණය මුදල අනුමත කර ගැනීම දුෂ්කර කටයුත්තක් විය. ඒ සඳහා යම් කාලයක් ගත කිරීමට ද අපට සිදුවිය.

අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කළ විස්තීරණ ණය පහසුකම් වැඩසටහන සඳහා මූල්‍ය අරමුදල සමඟ සම්බන්ධ වීම සඳහා විදේශීය අංශයේ අපේක්ෂිත සහාය සඳහා එවකට සාකච්ඡා වෙමින් පැවති අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සහ ඉන්දියාවෙන් අදාළ මූල්‍යකරණ සහතික අපේක්ෂාවෙන් ද සිටින ලදී. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරි මණ්ඩලය විසින් විස්තීරණ ණය පහසුකම් වැඩසටහනක් සඳහා නිලධාරි මට්ටමේ එකඟතාව ද අප වෙත පසුව පළ කරන ලදී. මේ අතරම අපගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් සමාගම්වල සේවාවන් සුරක්ෂිත කිරීම, සමාජ හා දේශපාලන තත්ත්වයන් ස්ථාවර කිරීම සහ මූල්‍ය හා රාජ්‍ය මූල්‍ය හා සබැඳී ඉතා තීරණාත්මක ප්‍රතිපත්තිමය පියවරයන් හරහා ආර්ථිකය අපේක්ෂිත මාර්ගයට ක්‍රමානුකූලව සකස් කිරීම වැනි වර්ධනයන් කිහිපයක් සිදු විය. එහෙත් ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ මූල්‍යකරණ සහතික ලැබීමේ ප්‍රමාදයන් නිසා අපට මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම ලබා ගැනීම සඳහා එම අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලබා ගැනීම ප්‍රමාදයකට ලක් විණි. කෙසේ හෝ පසුව අපට එම අනුමැතිය ද ලබා ගැනීමට හැකි වී අප වෙත අනුමත වූ විස්තීරණ ණය පහසුකමේ පළමු වාරිකය ලබාගත හැකි විය. දැන් අපට තිබෙන්නේ එහි දෙවන ණය වාරිකය ලබා ගැනීමටය. මූල්‍ය අරමුදල විසින් නිකන්ම අපට එම ණය වාරික ලබා දෙන්නේ නැත. ඒ සඳහා ඔවුන් මෙරටට පැමිණ එම එකඟ වූ ආර්ථික ගැළපුම් වැඩසටහන ගැන සමාලෝචනය කරනු ලබයි. අප වෙත දෙවන ණය වාරිකය ලබා දීමට තීරණය කරනු ලබන්නේ ඉන් පසුවය.

● අයිඑම්එෆ් ධූත මණ්ඩලය

මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අප වෙත ලබා දෙන ලද විස්තීර්ණ ණය පහසුකම යටතේ වන පළමු සමාලෝචනය සිදු කිරීම සඳහා එම අරමුදලේ අට දෙනකුගෙන් යුත් ධූත පිරිසක් ඉකුත් බදාදා (13දා) මෙරටට පැමිණියේය. එම ධූත මණ්ඩලයේ නායකත්වය දරන්නේ පීටර් බෘවර්ය. එසේම කට්‍යා ස්වරිසෙන්කා ධූත පිරිසේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කරයි. මයික් ලී, සොෆියා ෂෑන්ග්, ඩිමිත්‍රි රෝස්කෝව්, නෝඩා සෙලීම්, සන්දේශ් දුන්ගානා, නුයි මියාඕ, ජෝයි ටර්කෙවිට්ස්, නුඔන්ග් ලැන් වූ යන අය මෙම අයිඑම්එෆ් ධූත මණ්ඩලයේ සෙසු සාමාජිකයන්ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවට අනුව යෝජිත නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ මේ දක්වා වූ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ පළමු සාකච්ඡාව ඉකුත් 14 වැනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. මූල්‍ය අරමුදලේ මාර්ක් ඇඩම්ස් මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඊට එක්ව ඇත. මේ සාකච්ඡාවලදී සිදුව ඇත්තේ කුමක් ද ? මේ ගැන අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ මෙම සමාලෝචනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සුරක්ෂිත කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ විශ්වාසය ඉහළ නැංවීම සඳහා ඉතා වැදගත් සන්ධිස්ථානයක් බවයි. මෙම පළමු සමාලෝචනය සාර්ථකව නිම කිරීම ශ්‍රී ලංකාව, ආර්ථික ස්ථාවරත්වය සඳහා ශක්තිමත් ස්ථානයක තබන අතරම, 2024 දී අපේක්ෂිත ආර්ථික වර්ධනය සඳහා යහපත් මාවතක් සකසනු ඇති බව ද ඔහු සඳහන් කරයි.

● අයිඑම්එෆ් සාකච්ඡා සති දෙකක කාලයක්

පසුගිය සැප්තැම්බර් 14 සිට සති දෙකක කාලයක් එනම් සැප්තැම්බර් 27 දක්වා මෙම සාකච්ඡා පැවැත්වෙන අතර සමාලෝචනයේ අවසන් සාකච්ඡාව එළැඹෙන සැප්තැම්බර් 26 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. ඉකුත් 14 දින පැවති සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් ඉහත සඳහන් කළ පීටර් බෘවර්ගේ නායකත්වයෙන් යුත් ධූත පිරිස එක්ව සිටි අතර ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු සහභාගි වූහ. මේ සාකච්ඡාවල අරමුණ වන්නේ අප ක්‍රියාත්මක කරන ආර්ථික ගැළපුම් වැඩසටහන මත, එම සමාලෝචනයෙන් අප ලබාගෙන ඇති ප්‍රගතිය ගැන මූල්‍ය අරමුදල සෑහීමට පත්වීම හරහා විස්තීර්ණ ණය පහසුකම යටතේ ලැබෙන දෙවන ණය වාරිකය ලබා ගැනීමයි. මේ ආකාරයටම මූල්‍ය අරමුදල විසින් ඉදිරි ණය වාරික මුදා හැරීම සඳහා ද මේ ක්‍රියාවලිය දිගින් දිගටම වසර හතරක් තිස්සේ සිදු වන්නකි. අප විසින් දැනටමත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට පියවර ගෙන ඇත. එසේම ඉදිරියේ දී විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීමට අපට සිදුවනු ඇත. මේ සඳහන් කළ පියවරයන් ක්‍රියාත්මක වීමෙන් ක්‍රමයෙන් ඉදිරි කාලය තුළ දී විදේශීය ණය තිරසාර මට්ටමින් කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතරම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ගැළපුම් වැඩසටහන මගින් ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමක් ද අපේක්ෂා කෙරේ. මේ වසරේ (2023) අවසන් කාර්තුවේ දී අප ඍණ ආර්ථික තත්ත්වයෙන් මිදී ලබන වසරේ (2024) සිට අපට ධන ආර්ථිකයකට ගමන් කිරීමට හැකිවනු ඇත.

● ඊපීඑෆ් දේශීය ණය ප්‍රශස්ථකරණට එක් වීම

ඊපීඑෆ් එක දේශීය ණය ප්‍රශස්ථකරණයට එක් වීම සම්බන්ධයෙන් ලොකු කතාබහක් සමාජය තුළ තිබේ. ඇතැම් අය කියන්නේ ඊපීඑෆ් එකට අත නොතබන ලෙසයි. අර්ථසාධක අරමුදල දේශීය ණය ප්‍රශස්ථකරණයට සහභාගි වීම නිසා එම අරමුදලට වන බලපෑම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා මේ වන විට බොහෝ කරුණු පැහැදිලි කිරීම් සිදුකර ඇත. පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ දී මහා බැංකු අධිපතිවරයා කළ පැහැදිලි කිරීම් හමුවේ බොහෝ තොරතුරු හෙළිදරව් විය. මේ අනුව අපට පැහැදිලි වූ මූලික කාරණය වන්නේ වර්ෂ 2025 දක්වා කාලයේ දී සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට සියයට 9 ක පොලියක් ලබා දිය හැකි බවට සහතික වන බවයි. එසේම එය නීතිගත කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදල් පනතට සංශෝධනයක් සිදු කර සියයට 9 ක පොලී ප්‍රතිලාභය වර්ෂ 2025 දක්වා සහතික කිරීමේ සූදානමක් ද තිබේ. මේ නිසා අපට පෙනෙන්නේ වර්ෂ 2025 වෙනතෙක් සියයට 9 ක පොලියක් අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට ලැබෙනු ඇති බවයි. එය තවමත් නීතිමය වශයෙන් සහතික වී නැත. 2025 න් ඉදිරියට ඒ සඳහා නිශ්චිත පොලී අනුපාතයක් ලබා දිය නොහැකි බව ද මෙහිදී ප්‍රකාශ වී ඇත. එය තීරණය වනු ඇත්තේ 2025 න් පසුව අර්ථසාධක අරමුදලේ ආයෝජන සඳහා ලැබෙන ප්‍රතිලාභ මතය.
මේ වන විට උද්ධමනය සියයට 5 ටත් වඩා අඩු මට්ටමට පහත වැටී වෙළෙඳපොළ පොලී අනුපාත ද සැලකිය යුතු මට්ටමකට පහත වැටී තිබේ. ඉදිරියේ දී තවදුරටත් පොලී අනුපාත අඩු වීමට නියමිතය. ඒ නිසා අර්ථසාධක මුදල් කොහේ ආයෝජනය කළත් ලැබෙන ප්‍රතිලාභ සාපේක්ෂව අඩුවෙන බව ද පැහැදිලි වේ. අර්ථසාධක අරමුදලේ භාරකරු හැටියට මහ බැංකුවට, අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට පොලී ගෙවීමට හැකිවනු ඇත්තේ ඒ ලැබෙන ආයෝජන ප්‍රතිලාභ මතය. ඒ නිසා යම් නිශ්චිත පොලියක් වර්ෂ 2025 සිට වර්ෂ 2038 දක්වා ඔවුන්ට ලබාදෙන බවට සහතික වීමට නම් එය අරමුදලේ භාරකරුට කළ නොහැකිය. ඒ සඳහා රජය වගකීම භාරගෙන සහතික විය යුතු වේ. මේ කරුණු කාරණා වඩාත් හොඳට රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේ දී පැහැදිලි විය. එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අසන ලද ප්‍රශ්න කිහිපයකට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ලබා දුන් පිළිතුරු අනුව මේ කරුණු පැහැදිලි වූ අතර දේශීය ණය ප්‍රශස්තකරණයට එක් වීම නිසා අර්ථසාධක අරමුදලට වර්ෂ 2038 වන විට වන බලපෑම ද ප්‍රකාශයට පත් විය. ඇතැමුන් ප්‍රචාරය කරනුයේ මේ යෝජනාවට සහභාගි වීම නිසා සියයට 50 ක පාඩුවක් අර්ථසාධක අරමුදලට වන බවයි. එය සම්පූර්ණ අසත්‍යයක් බව මහ බැංකු අධිපතිවරයා මේ කමිටු රැස්වීමේ දී අවධාරණය කළේය. දේශීය ණය ප්‍රශස්තකරණයට සහභාගි වීම නිසා ඇත්ත වශයෙන්ම 2038 වන විට අර්ථසාධක අරමුදලට වන පාඩුව සියයට 4.8 කි.

● දේශීය ණය ප්‍රශස්තකරණයට සහභාගි නොවීම

පවතින විකල්ප දෙක අනුව අවශ්‍ය නම් අර්ථසාධක අරමුදලට දේශීය ණය ප්‍රශස්තකරණයට සහභාගි නොවී සිටිය හැකිය. එසේ වුවහොත් සිදු වන්නේ කුමක් ද ? ඒ සඳහා සහභාගි නොවන්නේ නම් සියයට 30 ක බද්දට යටත් වීම නිසා අරමුදලට සිදුවෙන පාඩුව වර්ෂ 2038 දී සියයට 21.6 ක් වේ. මේ නිසා අවම හානිය සිදුවන්නේ දේශීය ණය ප්‍රශස්තකරණයට සහභාගි වීමෙන් බව පැහැදිලි වේ. මේ වන විට දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව රටේ නීතියක් බවට පත්ව ඇත. එය කැබිනට් මණ්ඩලයෙන් අනුමත වී, ඒ සඳහා උසාවියේ අවසරය ලැබී මේ වන විට පාර්ලිමේන්තුවෙන් ද සම්මත වී ඇත. මේ යෝජනා සම්මතයෙන් පසුව මෙය රටේ නීතියක් බවට ද පත්ව ඇති නිසා මහ බැංකුවට ක්‍රියා කළ හැක්කේ එම නීතියට අනුව පමණක් බව ද අපගේ අදහසයි. ඒ අනුව පවතින විකල්ප දෙකෙන් අර්ථසාධක අරමුදලේ භාරකරු ලෙස මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ අර්ථසාධක අරමුදල දේශීය ණය ප්‍රශස්තකරණයට සහභාගි වීමටයි. මහ බැංකුව කියන පරිදි ඒ අනුව අර්ථසාධක අරමුදලට සිදුවන අහිතකර බලපෑම අවම වේ. ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් සිදුකළ ආරාධනයට අනුව දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සිය භාණ්ඩාගාර බැඳුම්කර කළඹ හුවමාරුව සඳහා අර්පණයක් (යෝජනාවක්) ඉදිරිපත් කළ බව සේවක අර්ථසාධක අරමුදල සිය සාමාජිකයන් වෙත ඉකුත් සැප්තැම්බර් 14 වැනිදා නිවේදනය කළේය. මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය සහිත සුදුසුකම්ලත්
සහභාගිකයකු ලෙස මෙලෙස අදාළ අර්පණය ඉදිරිපත් කර ඇති බවයි. මෙසේ අර්ථසාධක අරමුදලට දේශීය ණය ප්‍රශස්තකරණයට සහභාගි වීම නිසා අර්ථසාධක අරමුදලේ වර්තමාන ශේෂයට කිසිදු බලපෑමක් සිදු නොවෙන බවත් අපේක්ෂිත අනාගත කාලය තුළ සියයට 9 ක පොලියක් එම අරමුදලේ සාමාජිකයන්ට ලැබෙන බවත් මහ බැංකුව කියයි.

● දේශීය ණය ප්‍රශස්තකරණයේ තවත් පියවරක්

අර්ථසාධක අරමුදල දේශීය ණය ප්‍රශස්තකරණයට සහභාගි වීම දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේ එක කොටසක් පමණි. මේ වැඩසටහනට අදාළ වන තවත් භාණ්ඩාගාර බැඳුම්කර තිබේ. ඒ අනුව යෝජිත දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සුදුසුකම් ලත් පිළිගන්නා ලද භාණ්ඩාගාර බැඳුම්කර, ක්‍රමයෙන් අඩු වෙන (ීඑැච-ාදඅබ) ස්ථාවර කූපන් පොලී අනුපාතික සහිත නව භාණ්ඩාගාර බැඳුම්කර දොළහක් (12) මඟින් පියවීමට කටයුතු කළ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් බ්‍රහස්පතින්දා (14දා) නිවේදනය කළේය. මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2023 ජූලි 04 දිනැති භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වන හුවමාරු යෝජනාව සහ ඉන් අනතුරුව 2023 සැප්තැම්බර් 12 දින නිවේදනය කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වන හුවමාරු ආරාධනයෙහි ප්‍රතිඵලවලට අනුව රජය විසින්, වලංගු පිරිනැමීම් සඳහා පියවීමට ඇති සුදුසුකම්ලත් භාණ්ඩාගාර බැඳුම්කර, හුවමාරු යෝජනාවේ සඳහන් අනුපාතික සැලකිල්ලට ගනිමින් ක්‍රමයෙන් අඩු වෙන ස්ථාවර කූපන් පොලී අනුපාතික සහිත නව භාණ්ඩාගාර බැඳුම්කර දොළහක් (12) ලෙස පරිවර්තනය කර ඉකුත් සැප්තැම්බර් 14 දින පියවීම් සිදු කළ බව මහ බැංකුව කියයි. අදාළ හුවමාරු යෝජනාවේ සඳහන් කර ඇති පරිදි නව භාණ්ඩාගාර බැඳුම්කරවල මූල්‍ය කොන්දේසිවලට අනුව 2026 වසරේ පළමු අර්ධ වාර්ෂික කූපන් පොලී ගෙවීම ඇතුළත්ව සෑම කාණ්ඩයක් සඳහාම සියයට 12 ක කූපන් පොලීයක් අර්ධ වාර්ෂිකව ලැබෙනු ඇති අතර ඉන් අනතුරුව, එනම් 2026 වසරේ දෙවන අර්ධ වාර්ෂික කූපන් ගෙවීමේ සිට ඉදිරියට සියයට 9 ක කූපන් පොලීයක් ලබා දීම සිදුවන බවත් සිය නිවේදන මගින් මහ බැංකුව ප්‍රකාශ කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment