අධික වැස්සෙන් මන්නාරමේ එමිල් නගරය යටවේ

57

මන්නාරම් ප්‍රදේශයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මන්නාරමේ එමිල් නගරය ඇතුළු ප්‍රදේශ කීපයක් ජලයෙන් යට වී ඇති අතර ධීවරයන්ට මුහුදු යෑමට නොහැකි තත්ත්වයක් 8 දා වන විට උද්ගත වී තිබුණි.

වැසි ජලයෙන් යටවීම නිසා මන්නාරමේ නිවාස 13 කට සම්පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 38 කට අර්ධ වශයෙන් හානි සිදුව තිබේ. මන්නාරමේ පේසාලේ මන්නාරම තාවුල්පාඩු සිලාවතුර යන ප්‍රදේශවල ධීවරයන්ගේ ධීවර බෝට්ටු හතරක් අධික වර්ෂාවත් සමග හටගත් සුළං හේතුවෙන් මුහුදට ගසා ගෙන ගොස් තිබේ.

මේ තත්ත්වය මත නාවික හමුදාව හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් මන්නාරමේ ධීවරයන්ට මුහුදු නොයන ලෙස උපදෙස් දී ඇත. මේ හේතුවෙන් මන්නාරමේ ධීවරයන් 4000 ක් පමණ දෙනා සිය ධීවර යාත්‍රා මන්නාරම මුහුදු වෙරළේ නවතා දමා මුහුදු යෑමෙන් වැළකී සිටිති.

නිවාස යට වීම නිසා විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මන්නාරම දිසාපතිනිය අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ. දින හතරක් මුළුල්ලේම මන්නාරමට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව මේ දක්වා නැවතී නොමැත.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment