අලුත් ගෙදරකට යනවානම් මුලින්ම කළ යුතු දේ…..

636

දුර පළාතක නිවසක් පරීක්‍ෂා කර ආපසු මාගේ නිවසට එන අතරමග එක්තරා ලොකු පළතුරු වෙළෙඳසැලක් අසල මා මෝටර් රථය නතර කර කඩය අසලට පැමිණියෙමි. ඒ අසල කීපදෙනෙකුම කතාබස් කරමින් සිටියහ. එවලේ කන හිරිවට්ටන ශබ්දයකින් මෝටර් බයිසිකලයක් පැමිණ පළතුරු කඩය සමීපයෙහිම තම මෝටර් බයිසිකලය නතර කළ අතර, අර කතාබහ කරමින් සිටින කීපදෙනාගේම අවධානය ඒ වෙතට යොමු විය. බයික් එකෙන් පැමිණි පුද්ගලයා විදේශ රටක සේවය කර පැමිණි අයෙක් බව ඔහුගේ හා ඔහු හැඳපැලඳ සිටි අයුරින්ම පැවසිය හැකිය.

“හා කුමාර අයියා ඔයා නම් අන්තිමයි හොඳේ. අපිව හලලාම දැම්මා නේ.”

“පිස්සුද බං මල්ලී ආපු දා ඉඳන් කොහෙවත් ගියේ නෑ. යන්තං ගෙදර වැඩ ටික ඉවර වේගෙන එන්නේ. ලබන සතියේ ගෙට ගෙවදිනවා. එදාට මං ඔක්කෝටම බොන්න නොවේ නාන්න දෙනවා… ඉවසපල්ලා..”

ඉහත කතාබහෙන් තේරුම් යන්නේ අර පුද්ගලයා විදේශගතව පැමිණ තමන් ඉදිකළ නිවසේ අවසන් අදියරේ වැඩ අවසන් කරමින් නිවසට ගෙවැදීමට සූදානම් වීමයි. ඇත්ත, නිවසකට ගෙවැදීම මංගල කරුණකි. තමන් උපයාගත් ධනය, ශ්‍රමය, කාලය වැයකර ජීවිතයේ තවත් එක් සන්ධිස්ථානයකට, හැරවුම් ලක්‍ෂයකට තමන්ව යොමුකරවන නව නිවසක පදිංචිවීම සුබ සිද්ධියකි. ඒ වාසනාව ජීවිතයේ හැමෝටම ලැබිය නොහැකිය. ඒ සඳහා තමන්ගේ කුසල් ශක්තිය පැවතිය යුතුය. උපන් සෑම අයෙකුටම මුදල් තිබුණද පින නැතිනම් නිවසක් සාදාගැනීම ජීවිත කාලයට කළ නොහැක.

නමුත් එය සැමරීම මත් වතුරෙන් කාබී විනෝදවීම පමණක් කර ගැනීම සුදුසු නොවේ. ගෙයකට මංගල ප්‍රවිෂ්ටය චාරිත්‍ර වාරිත්‍ර වලට මුල්තැන දෙමින් සිදුකර අනෙක් කටයුතු පසුවට යොදාගැනීම වැරදි නොවේ. මක් නිසාද අප මනුෂ්‍යයන් වන හෙයිනි. එසේ නම් නිවැරදි ගෘහ ප්‍රවේශයක් සිදුකරගන්නා ආකාරය කළයුතු වත් පිළිවෙත් මොනවාද යන්න බොහෝ නොදන්නා අයට කරන මග පෙන්වීමක් නිසාය.

නව නිවසකට ගෙවැදීමට ප්‍රථම ජෝතීර්වේදියකු හමුවී ශුභ රාශියක් තෝරාගත යුතුය. එහිදී කෝණ මාසයන් යෙදෙන කාලවලදී ගෘහ ප්‍රවේශය අශුභ වන කරුණක් බවත් එසේ සිදුකළ හොත් එම නිවෙසහි වැඩි කාලයක් සතුටින්, නිරෝගීව සිටීමට නොහැකි බවත් මෙයට කලින් ලිපියක මා විසින් සඳහන් කර තිබුණි. එම නිසා ඒ සඳහා ශුභ රාශියක ශුභ මාසයක දිනයක් වගේම ශුභ නැකතක්ද අවශ්‍ය වේ. අස්විද, රෙහෙණ, මුවසිරස, පුනාවාස, පුෂ, හත, සා, අනුර, මුල, සුවන, දෙනට, රේවතී යන නැකැත් හෝරාවක පුර තිථියක් 2, 3, 5, 7, 10, 11, 12 තෝරාගෙන නැකතක් පිළියෙල කරගෙන නියමිත නැකැත් දිනයට පෙර දිනයේ ගේ අවට හොඳින් පිරිසිදු කළ යුතුයි. විශේෂයෙන්ම උතුරු, ඊශාන,

නැගෙනහිර ප්‍රදේශ ඉතාමත් පිරිසිදුව කුණු කසළ නොතබා පිරිසිදු කරගත යුතුය. ඉන් පසුව නිවස තුළ තිබෙන සියලු දේ එළියට තබා ජනෙල් දොරවල් වසා දැමිය යුතුය. නිවසේ සතර කොණ සතර වරම් දෙවිවරුන් වන දශරාෂ්ඨ, විරූඩ, විරූපාක්‍ෂ, වෛශ්‍ය වෙනුවෙන් පහන් පැල් සිටවා මල්, බුලත්, පඬුරු, සුවඳ ධූප තබා පහන් දල්වා එම පහන් පසුදා එළිය වැටෙන තුරා තිබිය යුතුය.

මෙම නිවසට බහිරව පූජවක් තබා නොමැති නම් බහිරව පූජාවක් තබන තුරු බහිරවයන් වෙනුවෙන් ගේ මිදුලේ අඩි 1 1/2 විෂ්කම්භයට වළක් හාරා එහි එළිය වැටෙන තුරු පනනක් නොදල්වා එළිය වැටීමට ප්‍රථම එම වළ වසා දමන්න. මෙය පුරාණයේ කළ චාරිත්‍රයක්ද වන්නේය. ගෙයි මෙපමණ දිනක් පදිංචි වී සිටි පෙනෙන, නොපෙනෙන ජීවීන්ට හෙට සිට වෙනත් ස්ථානයකට යෑමට කරන සංඥාවක් ලෙසද කරන්නකි. තවද පිරිසිදු කළ නිවස දොරවල් වසා දැමීමට ප්‍රථම කහවතුරෙන් සෝදා සුවඳ දුම් අල්ලා පසුව වැසීම කළ යුතුය.

තමන් මහත් කැපකිරීම් කර ගොඩනගාගත් ගෘහයට සුබ මුහුර්තයට ගෙවැදීම කළයුතු වන්නේ තමන්, බිරිඳ, දරුවන්, මව්පියන් පමණි. පිටස්තර කිසිම අයෙකු මෙම අවස්ථාවට සම්බන්ධ නොකළ යුතුය. හේතුව කොපමණ නැදෑ හිතමිතුරන් වුවද පෘථග්ජන මනුෂ්‍යයන් වන ඔවුන්ගේ සිතුවිලි විවිධාකාර නිසාය. ගෘහ හිමියා විසින් නියමිත හෝරාවෙදී බුදු පිළිමයක් දෝතින් රැගෙන පිළිමයේ මුහුණත නිවස දෙසට හරවා දකුණු පය පෙරට තබා ප්‍රවිෂ්ට විය යුතු අතර, බිරිඳ විසින් කුල්ලක් ගෙන එයට සහල්, තුනපහ, ලුණු, පොල් ගෙඩියක්, කැකුළු හාල්, ලුණු, මිරිස් ද ඇතුළත්ව එළකිරි මුට්ටියක් රැගෙන පැමිණිය යුතුය. බුද්ධ ප්‍රතිමාව අදාළ ස්ථානයේ තබා මල් වට්ටියක් තබා පහන් හඳුන්කූරු දල්වා සියලුදෙනා පන්සිල් ගෙන ගින්දර දල්වන හෝරාවට නිවස මැද තහඩු කැබැල්ලක් මත තැනූ ළිප්ගල් මත ගෙනා කිරිමුට්ටිය තබා ගින්දර මොලවා කිරි මුට්ටිය ඉතිරෙන තුරු පවුලේ අය සමගින් ජය පිරිත, දස දිසා පිරිත, තුන් සූත්‍රය සජ්ජායනා කළ යුතුය.

කිරි ඉතිරවීමේදී මුට්ටියෙන් තුන්කාලක්වත් කිරි පිරවිය යුතු අතර ගිනි දැල්වීමට සඳුන්, කුරුදු ආදී දැව අගනේය. කිරි ටික ඉතුරුව පසුව දෙහි අතු කැබැල්ලකින් නිවසෙහි සෑම තැනම ඇතුළත පිටත කිරි ඉසින්න. ඉන්පසු කිරිබත් කැවිලි අනුභව කරන්න. ආගමික චාරිත්‍ර වතාවත් කළ පසු කවුරුන් පැමිණියත් ගැටලුවක් නැත. ගෙට ගෙවදීමෙන් පසුව පිරිත් දේශනයක් කර පසුදින සාංගික දානයක් දීමට හැකිනම් ඉතා හොඳය. ඒ වගේම නව නිවසට ගෙවැදීමෙන් පසුව සතියක් යනතුරු නිවසෙහි දොර ජනෙල් වසා තබා සියලුදෙනා පිටව නොයා යුතුයි. එසේ කිරීමෙන් නිවස තනිවීමකට ලක්වෙතැයි මතයක් පවතී.

නිවස ඉදිකිරීම්දී කටයුතු කළ මේසන් බාස්වරු වඩු කාර්මිකයන් ඇතුළු සියලුම කාර්මික ශිල්පීන්ට සහයකයන්ට තෑගි බෝග ආහාරපාන දී සංග්‍රහ කිරීම හොඳ කටයුත්තකි. එමගින් ඔවුන්ගේ සිත් සතුටු වේ. නිවසට ගෙවැදි මුල් දිනයේ නිවසේ සාමාජිකයන් නිවස තුළ මස් මාංශ පිසීම හා එදින ආහාරයට ගැනීම නොකළ යුතුය. එදින දවස පුරා ආගමික වතාවන්ට මුල්තැනදී කටයුතු කර නිවසට ගෙවැදීමේ ප්‍රීතිය අසල්වාසී හිතමිතුරන් සමග එයට පසුදින සිදුකිරීම වරදක් නොවේ. නිවසකට ගෙවැදීමේදී කුල්ලක් රැගෙන යෑමේ මූලික අරමුණ නිවසට පැමිණෙන ඇස්වහ කටවහා දෝෂ දුරුකර ගැනීම සඳහාය. නිවසට ඇතුල්වන මොහොතේ බුදු පිළිමයට තබන පහන නිවසේ දරුවෙකු අතට පීරිසියක් තබා දල්වා ආලෝකයක් සමග රැගෙන යෑම උචිතය.

නව නිවසකට ගෙවැදීමේදී මංගල කාර්යේදී බොහෝ තැන්වල බිරිඳගේ දෙමාපියන්, සැමියාගේ දෙමාපියන් සිටී නම් (ජීවතුන් අතර) මෙම දෙපාර්ශවය එම කාර්යයට සහභාගිකරගත යුතුය. ඔවුන්ගේ පැමිණීම වදයක්, මූසලකමක් යැයි නොසිතන්න. දෙපාර්ශ්වයම නියෝජනය කරන්නේ තමන්ගේම දරුවාගේ ශුභ කටයුත්තයි. දෙමාපියන් කිසිම විටක කිසිම අවස්ථාවක දරුවන් කෙරෙහි ඊර්ෂියා සහගත නොවේ. ඔවුන්ට එම කටයුත්තට කතා නොකිරීම නිසා ඔවුන් සිතින් හඬා වැටීම දෝෂයකි, කරගන්නා අවැඩකි. ඔවුන්ව සහභාගි කරගනිමින් ඔවුන්ගෙන් ලැබෙන්නා වූ ආශිර්වාදය දේව ආශිර්වාදයට වඩා ප්‍රභලය. තවද නිවසකට ගෙවැදීමට ප්‍රථම විහාරස්ථානයකට ගොස් බෝධි පූජාවක් තබන්න. (දින 03ක් – 07 ක් නම් ඉතා හොඳයි.) විෂ්ණු – කතරගම දෙවිවරුන්ට පින් පමුණුවන්න. කාබී මතින් මත්ව පරුෂ වචන කීමෙන්, කෑකෝ ගසා වමනය දමන තුරු අරක්කු පොවා විනෝදවීමට ප්‍රථම ආගමික වතාවන්ට මුල්තැන දෙමින් ගෘහයට අධිපති දෙවියන් ඇතුලු දේව සමූහයාට පින් පෙත් අනුමෝදන් කරන්න.

අලුත් ගෙදරකට යනවානම් මුලින්ම කළ යුතු දේ…..

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment