බිරිඳට කළ සිසේරියන් සැත්කමින් පසු කිලෝ එකක ගෝස් කැබැල්ලක් බඩේ තිබියදී තුවාලය මහලා

480

මුලතිව් රෝහලේ නොසැලකිලිමත්කම ගැන වහා පරීක්‍ෂණයක් කරන්න – සැමියා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂගෙන් ඉල්ලයි

මුලතිව් රෝහලේදී සිදුකළ සැත්කමකින් පසුව මවකගේ උදරයේ තිබී කිලෝග්‍රෑම් එකක් පමණ බර ගෝස් කැබැල්ලක් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ස්වාමි පුරුෂයකු උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් 27 දා ඉල්ලීමක් කොට තිබේ.

දරු ප්‍රසූතියක් සදහා මුලතිව් රෝහලට ඇතුළත් කළ තම බිරිඳ රෝහලේදී සිසේරියන් සැත්කමකට භාජනය කළ බවත්, ඉන් පසුව ඇගේ උදරයේ හටගත් වේදනාව දින

ගණනාවක් යන තුරුත් පහව ගොස් නොමැති නිසා ඇයව වාර 12 ක්ම මුලතිව් රෝහලට රැගෙන ගිය බව ස්වාමිපුරුෂයා සඳහන් කරයි.

පසුව එක්ස්රේ පරීක්ෂණයකින් පසුව උදරයේ කිලෝග්‍රෑම් එකක පමණ ගෝස් කැබැල්ලක් තිබියදී සිය බිරිඳගේ උදරය මසා ඇති බව හෙළිවීමෙන් පසුව එම ගෝස් කැබැල්ල ගැනීමට යළි ශල්‍ය කර්මයක් කළ බව පවසන ස්වාමිපුරුෂයා, වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා තමාටත් තම බිරිඳටත් සිදු වූ මානසික කම්පනය හා බිරිඳගේ ශාරීරික වේදනාව වෙනුවෙන් වහාම පරීක්ෂණයක් පවත්වා ඊට වග කිව යුතු වෛද්‍යවරුන්ට කිසියම් දඬුවමක් ලබාදිය යුතු බව එම ස්වාමිපුරුෂයා විසින් කළ පැමිණිල්ලෙන් ඉල්ලීමක් කොට තිබේ.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට වෛද්‍යවරු තුන්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් පත්කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment