කෝටි 38 ක ග්ලූකෝමීටර් පැටිකිරිය සොයයි – වැරදි වැඩේට අත්සන් නොකළ සහකාර අධ්‍යක්‍ෂවරියට මාරුවක්

588

රුපියල් කෝටි තිස්අටක මුදලක් වැයකර ප්‍රමිතියෙන් තොර ග්ලූකෝමීටර් තොගයක් මිලදී ගැනීමට යන බවට මාධ්‍යවල පළවී තිබෙන වාර්තා පිළිබඳ සොයා බලා වහාම ඒ පිළිබඳ සත්‍ය තත්ත්වය වාර්තා කරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ගෙන් විමසීමට උත්සාහ ගත්ත ද එය සාර්ථක වූයේ නැත. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරි පිරිසක් ඒ බැව් සනාථ කළහ.

මෙම ග්ලූකෝමීටර් තොගය මිලදී ගැනීමට සකස් කර තිබෙන ලියකියවිලිවලට අත්සන් නොකළ බව කියන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්‍ෂකවරියක වහාම වෙනත් අංශයකට මාරුකර යවා ඇත. එම තනතුරට කඩිමුඩියේ වෙනත් අයකු පත්කර තිබෙන අතර ඔහුට එරෙහිව චෝදනා රැසක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේම උසස් නිලධාරීහු පවසති.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් තිදෙනකුගේ අවශ්‍යතාව මත මෙම ග්ලූකෝමීටර් තොගය මිලදී ගන්නට යන්නේ මෙරට ලියාපදිංචි නැති ඉන්දීය සමාගමකින්ය. ඉන්දීය ණය ක්‍රමය යටතේ මෙම ග්ලූකෝමීටර් මිලදී ගැනීම සඳහා කැඳවූ ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වූයේ මෙම සමාගම පමණක් යැයි කියමින් ඉන්දීය සමාගමට මෙම අවස්ථාව ලබාදීම මේ වනවිට දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇත.

විවෘත ටෙන්ඩර් පටිපාටිය යටතේ ග්ලූකෝමීටර් සැපයීමට ලියාපදිංචි සමාගම් පහක් ඉදිරිපත්ව සිට ඇත. ඔවුන් එක් ග්ලූකෝමීටරයක් රුපියල් 12 ත් 32 අතර මිලකට ලබාදීමට මිල ගණන් ඉදිරිපත් කර තිබියදී ඉන්දීය සමාගමෙන් එකක් මිලදී ගැනීමට යන්නේ රුපියල් 38ක මිලකට යැයි අමාත්‍යාංශ උසස් නිලධාරීහු පවසති.

රුපියල් කෝටි තිස්අටක ගනුදෙනුවක් වන මෙම සිද්ධිය පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයට ලද තොරතුරු මත මෙම වාර්තාව කැඳවා ඇත.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment