ඊශ්‍රායල පලස්තීන යුද්ධය අපේ සංචාරක කර්මාන්තයටත් බලපානවා – උදය ගම්මන්පිල

106

ඉන්ධන මිලත් ඉහළ යාවි

ඊශ්‍රායල පලස්තීන යුද්ධය නිසා ලෝක ආර්ථිකය ඇකිලිය හැකි බවත් ඉන්ධන මිල ද ඉහළ යා හැකි බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඊයේ (13දා) පැවසීය. පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ අදහස් දැක්වීය. ඔහු මෙසේ ද කීවේය.

අරාබි රටවලුත් මේ පලස්තීන ඊශ්‍රායල් ගැටුමට මැදිහත් වෙන්න පුළුවන්.

එහෙම වුණොත් ඊශ්‍රායලය තෙල් ළිං ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාර එල්ල කිරීමට ඉඩ තිබෙනවා. ඉන් තෙල් නිෂ්පාදනය බිඳ වැටෙනවා. දෙසැම්බර් ජනවාරි කියන්නේ යුරෝපයේ ශීත කාලය හෙවත් තෙල් මිල ඉහළ යන කාලය. මේ ගැටුමත් සමග යුරෝපය තෙල් තොග එක් රැස් කිරීම ඉඩ තියෙනවා. ඒ වගේම මේ යුද කලාපයේ ගමන් කරනා නැව් සිය රක්ෂණ වාරිකද ඉහළ දමා තියෙනවා. ඒ පිරිවැයත් අවසානයේ තෙල් මිලට එකතු වෙනවා. මේ කාරණා නිසා තෙල් මිල ඉහළ යන්න පුළුවන්. එමගින් සියලු භාණ්ඩවල මිල ඉහළ යනවා.

මේ නිසා ලෝක ආර්ථිකය හැකිලෙනවා. අපේ සංචාරක ව්‍යාපාරය, මෙරටට ලැබෙන විදෙස් ආයෝජන කඩා වැටෙනවා. අපට ඇති විදෙස් රැකියා අවස්ථා අඩු වෙනවා. ඒ වගේම අපේ අපනයන භාණ්ඩවලට ඇති ඉල්ලුමද අඩු වෙනවා. මේ යුද්ධය දිග්ගැස්සුනොත් අපේ ආර්ථිකය වර්ධනය වීමේ අවස්ථාව අපට අහිමි වෙනවා. මෙම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ ප්‍රචාරක ලේකම් අංජන උදාර, මහරගම ආසන සංවිධායක කිංස්ලි නිහාල් යන මහත්වරුන්ද එක්වූහ.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment