අවදානමට ලක් වූ ජනතාව පිළිබඳ රජය විධිමත් සමීක්‍ෂණයක් කර නෑ – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

100

අස්වැසුම මුළු සමාජයම අවුල් ජාලාවක් කරන වැඩසටහනක්

මෙරට වර්තමානයේ අවදානමට ලක් වූ ජනතාව සම්බන්ධයෙන් විධිමත් සමීක්ෂණයක් වර්තමාන රජය හා ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ යුතු වුවත් ඔවුන් එවැන්නක් සිදු කර නොමැති බවත් එහෙත් එවැනි සමීක්ෂණයක් එක්සත් ජාතින්ගේ UNDP සංවිධානය හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නිසි සමීක්ෂණයකින් තොරව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ නොහැකි බවත් වත්මන් රජය අස්වැසුම වැනි වැඩසටහන් පවා ක්‍රියාත්මක කරන්නේ එවැනි විධිමත් සමීක්ෂණයකින් තොරව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ නිසා සමාජය තුළ මහා අවුල් ජාලයක් නිර්මාණය වී ඇති බවත් සවිබල නොවූ ජනතාව තුළ වාද භේද පවා ඇතිව තිබෙන බවත් ඒ නිසා සමාජය තුළ අවුල් ජාලා ඇති වී රට කෑලි කැලිවලට බෙදන වැඩසටහනක් බවට අස්වැසුම පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ (31 දා) එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් අප රට සම්බන්ධයෙන් සිදු කරන ලද Understanding Multidimensional Vulnerability Impact on People of Sri Lanka සමීක්ෂණ වාර්තාව විපක්ෂ නායකවරයාට බාරදීමට එම සමීක්ෂණය සිදු කළ පුද්ගලයන් පැමිණි අවස්ථාවේ දීය.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ දරිද්‍රතාවයට විසඳුමක් ලෙස අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක වුවත් ඉන් පැහැදිලි විසඳුමක් ලැබී නොමැති බවත් ඒ නිසා රට තුළ බෙදීමක් ඇතිව තිබෙන බවත්ය.

එසේම මේ බංකොලොත් රටේ රජය විසින් හොරකම දූෂණය සිදු කරන බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පවා රටට බාල බෙහෙත් ගෙන්වූ බවට පිළිගත් බවත් පැවසීය. රජයේ මුදල් යොදවා බාල බෙහෙත් රටට ගෙන්වීමට කටයුතු කළ පුද්ගලයන් හෙළිදරව් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධ විශ්වාසභංග යෝජනාව ගෙනඑන විට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති කට ඇරි නමුත් මෙතෙක් කල් නිහඬ වී සිටියේ ඇයිදකියා විමසන බවත් පැහැදිලිවම ජනාධිපතිවරයා පුමුඛ රජය ඊට වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ නේවාසික නියෝජිත Ms Azusa Kubota, Dr Sabina Alkire Director -Oxford Poverty and Human Development Initiative (OPHI), University of Oxford), සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා, Mr’ Fadhil Bakeer Markar (Team Leader” UNDP) සහ Ms’ Tshokey Zangmo, Researcher, (OPHI) එක් විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහනේ වැඩපිළිවෙළක් ලෙස බහුමාන අවදානම් දර්ශක හඳුනා ගැනීමේ වැඩසටහන අප රටට අත්‍යාවශ්‍ය වැඩපිළිවෙළක් බවත් විශේෂයෙන් අප රටේ අවදානමට ලක් වී සිටින ණය බරින් පීඩිත ජනතාව, ආබාධිත ජනතාව, කාලගුණ දේශගුණ විපර්යාස නිසා, අධ්‍යාපනයට ප්‍රවේශ වීමට නොහැකි ජනතාව, දුප්පත්කම නිසා අවදානමට ලක්වූ ජනතාව ආදී ජනතාව සම්බන්ධයෙන් නිවැරදි සමීක්ෂණයක් සිදු කර ඇති බවත් එය රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට යොදා ගත හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment