අවාරයේ සිරිපා කරුණාව විදේශිකයන්ට පමණයි

168

ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියෝ කියති

ශ්‍රී පාද වන්දනා වාරය මේ මස 24 වැනිදා අවසන් වීමෙන් පසු ශ්‍රී පාදයේ සංචාරයට පැමිණීමට විදේශිකයන්ට පමණක් අවසර ලබාදෙන බවත්, දේශීය සංචාරකයන් හෝ වෙනත් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට අවසර ලබා නොදෙන බවත් ශ්‍රීපාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසූහ.

ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් ඒ බැව් කියා සිටියේ 2023 – 2024 වර්ෂය සඳහා ශ්‍රීපාද වන්දනා වාරය මේ මස 24 දායින් අවසන් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා ඉකුත් 03 දා පස්වරුවේ නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේදී වැඩිදුරටත් අදහස් දැක්වු බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ කියා සිටියේ අවාරයේ ශ්‍රී පාදයේ සංචාරය සඳහා පැමිණෙන දේශීය සංචාරකයන් ශ්‍රී පාද පුදබිමට සහ පරිසරයට විශාල ලෙස හානි සිදු කරන නිසා අවාරයේ ශ්‍රී පාදස්ථානය සංචාරය කිරීමට අවසර නොදීමට තීරණය කළ බවයි.

අවාරයේ ශ්‍රී පාදය සංචාරය සඳහා සියලුම මාර්ග ඔස්සේ පැමිණෙන දේශීය සංචාරකයන්ට අවසර නොදෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් සහ නල්ලතන්නිය පොලිසියෙන් ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලීමක්ද කළහ.

නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය අසල සංචාරක හෝටලයකට අලුතින් මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මතු වූ විරෝධයක් පිළිබඳව ද මෙම රැස්වීමේදී විශේෂ අවධානය යොමු කෙරිණ. මෙහිදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා කියා සිටියේ එම සංචාරක හෝටලයට මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදෙන බවත්, එහිදී විරෝධතා මතුවන්නේ නම් එම සංචාරක හෝටලයට මත්පැන් බලපත්‍රය නිකුත් කිරිම අහෝසි කරන බවත්ය.

මෙම සාකච්ඡාවට ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් රුවනි සිතාරා ගමගේ මහත්මිය සහ නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීහු රැසක් සහභාගි වූහ.
නුවරඑළිය – නාලක රත්නායක, කහවත්ත – සමරවීර නිරෝෂන්

advertistmentadvertistment
advertistmentadvertistment