ආණ්ඩුවට අසීමිත බලයක් දීමේ පීඩනය අද ජනතාව අත්විඳිනවා

97

ආණ්ඩුවට අසීමිත බලයක් දීමේ පීඩනය අද ජනතාවට විඳින්න වී ඇති බවත් ඉන් එන පීඩනය අද වන විට මුළු රටේ ජනතාව අත්විඳිමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කීය.

ජන හද ගැස්ම නොතේරෙන හිතුවක්කාර පාලනයක් රට තුළ බිහිව ඇති බවද පේ‍්‍රමදාස මහතා මිනුවන්ගොඩ සහ කඩුවෙල පැවැති විරෝධතාවලට එක් වූ ජනතාව අමතමින් කීවේය.

මිනුවන්ගොඩ විරෝධතාවට ශ‍්‍රීලනිප හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් රණතුංග, හිටපු පළාත් සභා මන්ත‍්‍රී ජෝර්ජ් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා, සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත‍්‍රික් සංවිධායක, කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ආචාර්ය ධනවර්ධන ගුරුගේ,

මිනුවන්ගොඩ සංවිධායක චමින්ද සිල්වා ඇතුළු මහජන නියෝජිතයන්ද කඩුවෙල විරෝධතාවට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියහ. එම විරෝධතාවලදී පේ‍්‍රමදාස මහතා මෙසේද කීවේය.

රටට අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් මිස චණ්ඩිකමින් ගෙන යන පාලනයක් නොවන බවයි. රටට කොඩිවිනයක් වී ඇති පාලනයට තිත තබා, ජනහිතකාමී ජනතාවාදී පාලනයක් මේ රට තුළ බිහි කිරීමේ අරගලය සමගි ජන බලවේගය, පොදු ජනතාව සමග එක්ව ආරම්භ කරන බවද ඒ මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුව යටතේ මෙරට භූ දේශපාලනය තුළ බලපුළුවන්කාර රටවල සූදු පිටියක් බවට පත් වී ඇති බව පැවසූ විපක්‍ෂ නායකවරයා, එදා ජාතික ආරක්‍ෂාව පිළිබඳව වහසි බස් දෙඩූ ආණ්ඩුව මේ පිළිබඳව තුට්ටුවකට මායිම් නොකරන බවද පැවසීය.

ජනතාව වෙනුවෙන් කැප විය හැකි නම්, ජනතා දුක්ගැනවිලි ඉදිරියේ සංවේදී විය හැකි නම්, රට ගොඩන`ගන්නට අවංක උවමනාවක් ඇත්නම් එවැනි සියලූදෙනාට සමගි ජන බලවේගයේ දොරටු විවෘත බව ද විපක්‍ෂ නායකවරයා එහිදී පැවසීය.

පසුගිය ජනාධිතිවරණයේදී තමන් රටෙන් ඉල්ලා සිටියේ මනුස්සකම, සංවේදීකම රජයන රටක් බිහි කරන්න තමන්ට ඡන්දය දෙන ලෙස බව පැවසූ විපක්‍ෂ නායකවරයා, නමුත් එදා බොහෝ දෙනා පුහු වීරත්වයට ඡන්දය ලබාදුන් බවත් එහි ආදීනව අද මුළුමහත් රටටම අත්විඳින්නට සිදුව ඇති බවත් පැවසීය. අද රටම ඉල්ලා සිටින්නේ මනුෂ්‍යත්වය බවත් සංවේදී පාලනයක් බවත් පැවසූ විපක්‍ෂ නායකවරයා, ඒ උදෙසා ඇපකැප වන්නේ දේශපාලනය වෙනුවට දේශ සේවය ලබා දෙන සමගි ජන බලවේගය බවද පැවසීය.

මිනුවන්ගොඩ ටෝනි කරුණානායක – කඩුවෙල සුගත් පේ‍්‍රමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment