බදුදීලා ඇත්තේ කිසිම විනිවිදභාවයකින් තොරවයි
රූපවාහිනී සංස්ථාවට අයත් චැනල් අයි නාලිකාව විකුණා දැමීමට ආණ්ඩුව සූදානම් බවත් මේවන විට එය කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් හා විනිවිදභාවයකින් තොරව පෞද්ගලික අංශයට එය බදුදී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
නිසි ක්‍රමවේදයෙන් බැහැරව රජයට හිතෙන ආකාරයට රාජ්‍ය සම්පත් විකුණා දමන සූදුවක් මේ වන විට ක්‍රියාත්මක වන බවත් පැවසූ ඒමහතා මේ ආකාරයට රජයේ පාසල් හා රෝහල් වුවද පෞද්ගලීකරණය කිරීමටද රජය ක්‍රියා කරනු ඇතැයිද හෙතෙම පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (14දා) අම්පාර සමන්තුරේ මුස්ලිම් මහ විද්‍යාලයට සක්වල බස් රථ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබාදීමේ අවස්ථාවට එක් වෙමිනි.
එහිදී විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රටේ ලක්ෂ 39කට සාමාන්‍ය ආහාර සුරක්ෂිතභාවයක් නොමැති හා දරුවන් ලක්ෂ 29කට හරියාකාර ශක්තියක් නොමැති බවට යුනිසෙෆ් සංවිධානය කිව්වත් මේ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් සොයා නොමැති බවත් ජනාධිපති අගමැති ඇමැතිවරු සිටියත් රටේ දුප්පතුන් ලක්ෂ 70ක් පමණ සිටින බවත් මේ වගේ රටක අන්ධකාරයක ජීවත් වන ජනතාවට නව එළියක්වීමට සමගි ජන බලවේගය සූදානම් බවත්ය.
මේ මොහොත් පවා අප රට බංකොලොත් වී ඇති හෙයින් මේ අවස්ථාවේ රටට වැදගත් වන්නේ සුහුරු බලය බවත් ඒ සඳහා පාසල් පද්ධතිය ශක්තිමත් කළ යුතු බවත් පැරණි විෂය නිර්දේශ නවීකරණය කර අධ්‍යාපන ක්‍රමයේ දැවැන්ත වෙනසක් සිදුකළ යුතු බවත් ඉංග්‍රීසි භාෂා ක්‍රමයට පරිගණක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට මුල් තැන ලබාදිය යුතු බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා පාසල් දූදරුවන්ට දිවා ආහාරය සහ නිල ඇඳුම් ලබාදුන්නා සේ සමගි ජන බලවේග රජයක් තුළ කුමන ගැටලුවක් තිබුණත් නැවතත් දිවා ආහාරය ලබාදීමට කටයුතු කරන බවත් ඊට අමතරව සුහුරු පරිගණකයක්, ටැබ් යන්ත්‍රයක් හෝ හිමිකර දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ඒ තුළින් සුහුරු සිසුවෙක්, සුහුරු තාරුණ්‍යයක්, සුහුරු රටක් හා සුහුරු බලයක් රට තුළ ගොඩ නගන බවත් කීය.