ඉදිරි වසර පහේ ආර්ථික ප්‍රතිපත්තිය මත රටේ අනාගතය තීරණය වෙනවා

21

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මන්නාරමේ තරුණ හා ව්‍යාපාරික හමුවකදී කියයි

ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මන්නාරම දිස්ත්‍රික් “තරුණ සමුළුවට” සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ හමුවකට පෙරේදා (16) එක් වෙමිනි.

මන්නාරම නගර ශාලාවේ “දීප්තිමත් අනාගතයක් සඳහා වූ ගමනක්” මැයෙන් මෙම තරුණ සමුළුව සංවිධාන කර තිබූ අතර 2023/2024 අපොස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ සිසුන්ට සහතික පත් හා මුදල් ත්‍යාග පිරිනැමීමද එහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම දිස්ත්‍රික් ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවක්ද මන්නාරමේදී පැවැත්විණි.

ඉදිරි වසර පහේ ආර්ථික ප්‍රතිපත්තිය මත රටේ අනාගතය තීරණය වෙනවා

වත්මන් ආණ්ඩුව හඳුන්වාදී ඇති ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නොකොට ඉදිරියට ගෙන යන්නේ නම් ඉදිරියේදී රටට ආයෝජකයන් විශාල පිරිසක් පැමිණෙනු ඇති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. කලින් කලට ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නොකොට එකම ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන යන්නේ නම් රටක් ලෙස ජයග්‍රහණය කළ හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ආර්ථික පරිවර්තන නීතිය හරහා නව ආර්ථික ප්‍රතිපත්තිය රට හමුවේ තබා ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඒ ඔස්සේ ඕනෑම ආණ්ඩුවකට රට ඉදිරියට ගෙන යාමට හැකියාව තිබෙන බවද සඳහන් කළේය. මෙරට ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලන විසඳුම් සෙවීමට උත්සාහ කළද ආර්ථික විසඳුම් සෙවීමට උත්සාහ කර නොමැති බවත්, රට ගොඩනැගිය හැක්කේ විධිමත් ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

බිඳ වැටී තිබූ රටේ ආර්ථිකය දෙවසරක් වැනි කෙටි කාලයක් තුළ දෙපයින් නඟා සිටුවීමට තමාට හැකි වූ බව පැවසූ ජනාධිපතිවරයා ක්‍රමයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරියේදී සියලු‍ පාර්ශව වෙත තවදුරටත් සහන සැලසීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

මන්නාරම දිස්ත්‍රික්කය තුළ පුළුල් සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී තරුණ ප්‍රජාව සහ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කළේය.

රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස් යන මහත්ම මහත්මීන් සහ පළාතේ දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment