පැරදුණේ බොරු පොරොන්දු නොදී ඇත්ත කිව්ව නිසයි – රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් දේශපාලන වාසි ගන්නෙ නැහැ

76

එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ගාලු දිස්ත්‍රික් සම්මේලනයේදී කියයි

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වශයෙන් දේශපාලන වාසි නොගන්නා බවත් ඔහු මැතිවරණ වෙනුවෙන් පරාජයට පත්වූයේ ජනතාවට බොරු පොරොන්දු නොදී ඇත්ත කිව්ව නිසා බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ පෙරේදා (13දා) එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් සම්මේලනය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා,

ලංකාව පුරාම මෙවැනි සම්මන්ත්‍රණ පවත්වමින් සියලු‍ දෙනාම රැස්කරගෙන ජනාධිපතිවරයා මේ යන ගමනට සහාය දක්වන්න අප සූදානම් වෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා විදිහට දේශපාලන වාසි ගන්න සූදානම් වුණේ නැහැ. පසුගිය කාලේ අපිත් ඒ විදිහටම දේශපාලන වාසි නොගෙන ජනතාව වෙනුවෙන් අපේ සේවය ලබා දුන්නා.

විස්සයි විස්ස වසරේදී අපි එක්සත් ජාතික පක්ෂය විදිහට පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළා. අපි මැතිවරණයට පෙර සමීක්ෂණයක් සිද්ධ කළා. ඔවුන් ප්‍රකාශ කළේ ඉල්ලන්න නම් එපා, පරාදයි කියලයි. දෙවන වරටත් සමීක්ෂණයක් කළා. ඒකෙදිත් කිව්වෙ පරාද වෙනවා කියලයි. අපි පරාජය වුණා. හැබැයි ඇත්ත කිව්වා. අපි ඇත්ත කිව්වොත් පරාද වෙනවා. ඒ කාලේ මැතිවරණයට වැඩ කරපු කණ්ඩායමත් අපෙන් ඇහුවා ෂුවර් එකට දෙකක්වත් අපිට ගන්න පුළුවන් වෙයිද කියලා. මම කිව්වා පුළුවන් කියලා. එදා ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිශතය තුනයි දශම හතයි. පැරදුණාට පස්සේ මං ජනාධිපතිතුමාගෙන් ඇහුවා දැන් මොකද කරන්නේ කියලා. එතකොට කිව්වා බයවෙන්නේ නැතුව ඉන්න කියලා. මම කිව්වා අපිට දෙකක් නැහැනේ එකයි තියෙන්නේ කියලා. එතකොට ජනාධිපතිතුමා කිව්වා එක ඉහටත් උඩින් බය වෙන්නේ නැතුව ඉන්න කියලා. ඒ වගේම අපි එතුමාව ගෙනල්ලා කිව්වා ඔබතුමාම පාර්ලිමේන්තුවට යා යුතුයි කියලා. එතුමා දේශපාලනඥයෙකුට එහා ගිය ආර්ථික විශේෂඥ දේශපාලනඥයෙක්. එතුමා දැනගත්තා මේක ගෙනියන්න බැහැ වැටෙනවා. වැටෙන කොට ගන්න ලෑස්ති වෙන්න ඕන කියල එතුමා දැනගෙන හිටියා.

මාගේ සාකච්ඡාවකදී මගෙන් මාධ්‍යවේදයක් ඇහුවා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අරන් යන්නේ විපක්ෂ නායක කරන්නද කියලා. මම කිව්වා නැහැ සියලු‍ දෙනාම එකතු කරගෙන එතුමාව අගමැති කරලා ජනාධිපති කරන්නයි කියලා. එදා හැමෝම කිව්වා වජිරට පිස්සු කියලා. අන්තිමේදී එතුමා පාර්ලිමේන්තු ගියා. අගමැති වුණා. ජනාධිපති වුණා. ඊට කලින් එතුමා දැක්කා නැව් තියෙනවා වරායේ ඩොලර් තිබුණේ නැහැ මිලදීගන්න. මිනිස්සු පෝලිම්වල දින ගණන් ගෑස් නැතුව තෙල් නැතුව හිටියා. ඩොලර් මිලියන 24යි තිබුනේ. නැව්වලට ගෙවන්න මුදල් තිබුණේ නැහැ. තෙල්බවුසරයක් දැක්කහම අත්පොළසන් දෙන සමාජයක් බිහිවුනා. මේ කතාව කියන්නේ කාටවත් බනින්න නෙමෙයි. කාටවත් බැනලා වැඩක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බනින්න එපා. ජනතා විමුක්ති පෙරමුණට බනින්න එපා. මේ හැමෝම ඕන මේ රට ගොඩ ගන්න නම් කියලා තමයි කියන්න කියන්නේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා

අද බොහෝ අය අහනවා අප යන්නේ මොන වාදයේද කියලා. ඔය කිසිදු වාදයකට නොවෙයි මේ රට ගොඩ නගන්න හැකි වෙන්නේ රනිල්වාදයට පමණක් බව මම කියනවා. එදා බි්‍රතාන්‍ය ගොඩ නැගීමේදී තැචර්වාදය පිළිබඳව කතා කළා. ඒ වගේ අනාගතයේදී ඉතිහාසය ලියැවේවී, අපේ දරුවෝ අනාගතයේ ඉගෙන ගනීවි මේ රට ගොඩ නැගුවේ රනිල්වාදය නිසා බව.

ජනතාව පාරට බැහැලා ඉල්ලා සිටියේ මේ රටේ ක්‍රම වෙනසක්. ඒ සිස්ටම් චේන්ජ් එක ඔළු ගෙඩි මාරු වීමක් නෙවෙයි. ජනතාව බලාපොරොත්තු වූ සිසිටම් චේන්ජ් එක කරන හා කරන්න පුළුවන් එකම නායකයා විතරක් නෙවෙයි දැනටත් එය කරමින් සිටින එකම නායකයාත් රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ විතරක් නෙවෙයි මිනිස්සුන් හිතන විදියත් වෙනස් කරනවා. බදු ගෙවා මේ රට ‍ගොඩ නගන්න දායකත්වය දිය යුතුයි කියන තැනට ජනතාව පත් කරනවා. ඡන්දයක් අත ළඟ තියාගෙන බදු ගහන, වැට් ගහන ඒ සියල්ල දේශපාලනිකව නොසිතා, රටේ ජනතාව වෙනුවෙන් කටයුතු කරනවාය කියන පණිවිඩය දෙන නායකයා, සැබෑ ලෙසින්ම සිස්ටම් එක වෙනස් කරනවා. ඒ වෙනුවෙනුයි අප සියලු‍ දෙනා එකතු විය යුත්තේ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා

අද රතු මුහුදේ නැව් යන්න බාධා තිබියදීත්, සීත සෘතුව නිසා ලෝකයේම ඉන්ධන අවශ්‍යතාව වැඩි වී තිබෙන මොහොතකදීත් ගෑස් හෝ ඉන්ධන කිසිම හිඟයකින් තොරව මුළු රටටම ලබාදිය හැකි දක්ෂ නායකයෙක් මේ රටේ නායකත්වය බාර ගත්තා. ඒ නිසා අද ඔබට අපට මේ ලෙස සතුටින් ඉන්න ලැබී තිබෙනවා. අපගේ දිනන සටන අද මෙ‍තැනින් ආරම්භ කිරීමට පෙර සජිත් ප්‍රේමදාසගේ සටන ගව් ගණනක් ගිහින් හමාරයි. අනුර කුමාර දිනලත් හමාරයි. ඔවුන් සටන අවසන් කරන්න සූදානම් වෙද්දී තමයි රනිල් වික්‍රමසිංහ දිනන සටන මෙසේ ගාල්ලෙන් ආරම්භ කරන්නේ. 2024 නොවැම්බර් මාසයට පෙර ලක්ෂ 100ක ජනවරමක් සමඟ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත් කරනවාමයි. එමගින් මේ රට ගොඩ ගන්නත්, බේරගන්නත් පුළුවන් එකම නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා පමණක්ම බව නැවතත් තහවුරු කරමු.

එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා

මේ රටේ තිබෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නොවන බව මම කියන්න කැමතියි. මේ රටේ තිබෙන එකම ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයයි. දේශපාලන ප්‍රශ්න ගැන කතා කරන්න, කතා පවත්වන්න පුළුවන් ඕන තරම් අය මේ රටේ ඉන්න පුළුවන්. නමුත් මේ රටේ ආර්ථික ප්‍රශ්නය විසඳිය හැකි දෙන්නෙක් නෑ. ඉන්නවා නම් ඉන්නේ එකම එක්කෙ‍නයි. ඒ ඔබෙත් මගෙත් නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.

මේ රටට තවත් දේශපාලන පොරොන්දු හෝ

සුරංගනා කතාවලින් ඉදිරියට යාමට නොහැකියි. ජාතික වැඩපිළිවෙලක් සකස් කර එය මෙහෙයවිය හැකි නායකයකුට මේ රට බාර දීමෙන් පමණයි. අපේ නායකයා කිසි ‍විටෙක දේශපාලනය නිසා එතුමාගේ ප්‍රතිපත්ති වෙනස් කළේ නැහැ.
චමින්ද සිල්වා, ගාල්ල ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment