මට චෝදනාවක් නෑ!…චෝදනා තිබුණා නම් තව තනතුරක් දෙන්න කතා කරන්නෙත් නෑ! – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

95

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය හිටි හැටියේ අත්හිටුවීමට එහි සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා කටයුතු කළේය. ඒත් සමඟම ඔහුට තවදුරටත් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කිරීමට ඇති අවස්ථාව ද අහිමි විය. “මට අදහාගන්න බැරුව ගියා මොකක්ද මේ හේතුව කියලා” තමාගේ නෙරපීම ගැන මාධ්‍ය හමුවක් පවත්වමින් දයාසිරි මන්ත්‍රීවරයා පැවසුවේ එවැන්නකි.

මේ සිදුවීම් පෙළ සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මහතාගේ අදහස් විමසීම වෙනුවෙන් “දිවයින ඉරිදා සංග්‍රහය” සාකච්ඡාවක් සඳහා ඔහුව සම්බන්ධ කර ගත්තෙමු. පහතින් පෙළ ගැසෙන්නේ ඒ මහතා සමඟ කළ එම සාකච්ඡාවයි..

ප්‍රශ්නය – දයාසිරිට කළින් හිටපු ජනධිපති පක්‍ෂයේ සභාපති මෛත්‍රී ඉස්සර වුණා නේද ?

පිළිතුර – සම්පූර්ණ වැරදි වැටහීමක්. මම කවදාවත් කන්න දුන්න අත හපා කන මිනිහෙක් නෙමෙයි. මම කවදාවත් එතුමාට විරුද්ධව කිසිම ආකාරයේ කුමන්ත්‍රණයක් කරලවත් සභාපතිකම පැහැර ගන්නවත් උත්සාහ කරලා නැහැ. මම සිංහල බෞද්ධයෙක්. අපි අදහන ආගමක් තියෙනවා. අපි වැඩ කරන්නේ ඊට අනුව. අපි කුමන්ත්‍රණකාරයෝ නෙමෙයි. මේ කට කතා කේලම් ඇසීමේ ප්‍රතිඵල මිසක් වෙන අන් යමක් නෙමෙයි. එතුමාගේ අතින් මට දුන්න පත්වීම භාර අරගෙන එතුමාගේ බෙල්ල කපන්න මම කවදාක්වත් කටයුතු කරන්නේ නැහැ. කරලත් නැහැ. ඉතින් ඒක එතුමාට හොඳින් තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක තේරුම් ගන්නේ නැතුව එතුමාගේ ඔලුවට විෂබීජ දාපු අය තමයි මේවට වගකියන්න ඕනේ.

ප්‍රශ්නය – ඔබ ඇතුළු පක්‍ෂයේ ප්‍රබලයන් වන ශාන් විජයලාල්, සාරතී දුෂ්මන්ත මිත්‍රපාල සහ අන්ගජන් රාමනාදන් යන සිව් දෙනා පක්ෂයේ සභාපතිවරයාට රහසිගත ලිපියක් යොමු කර තිබුණා. ඒ ලිපිය තුළ මෛත්‍රීපාල සිරිසේන සභාපතිවරයාට එරෙහි චෝදනා, විවේචනය කිරීම ඇතුළු කරුණු ගණනාවක් අඩංගුව ඇතැයි සඳහන්. මේ ඉවත් කිරීම සහ ලිපිය අතර සම්බන්ධතාවයක් තිබෙනවා වෙන්න බැරිද?

පිළිතුර – නැහැ.. මම හිතන්නේ නැහැ. ඒක රහසිගත ලිපියක්. චෝදනා නෙමෙයි. අපි කරුණු ගණනාවක් එක්ක එතුමාට ලිපියක් යොමු කළා. ඒ ලිපිය කිසි වෙලාවක අපි මාධ්‍යවලට දාලා නැහැ. මාධ්‍යවල ගියයි කියන කාරණා සම්පූර්ණයෙන් බොරු. ඒක අපි දුන්නේ එතුමාට පමණයි. ඒ හැර මං ගාවත් කොපියක් නෑ. අපි ඒක දීලා පත්තරවලට දුන්නා නම් ඔන්න ප්‍රශ්නයක්. නමුත් කිසි වෙලාවක මාධ්‍යවලට අපි ඒක නිකුත් කරලත් නෑ. ඔය මාධ්‍යවල යන ඒවා සම්පූර්ණයෙන් බොරු. හැබැයි අපි එහෙම ලිපියක් එතුමාට දුන්නා. ඒ දුන්නේ කරුණු ගණනාවක් එතුමාට පැහැදිලි කරලා දීලා ඒ පිළිබඳව සාකච්ඡාවකුත් කරමු කියලා. මේ ඉවත් කිරීම හා ඒ අතර සම්බන්ධතාවයක් ඇතැයි මම හිතන්නේ නැහැ.

ප්‍රශ්නය – ඔබතුමාත් එක්ක හිටපු අනිත් මන්ත්‍රීවරුන්ගේත් සාමාජිකත්වය ඉවත් කරලද?

පිළිතුර – නෑ.. නෑ… ඒ අයව ඉවත් කරලා නෑ.

ප්‍රශ්නය – පක්ෂයේ සභාපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සඳහන් කර තිබුණා, ලේකම් ධුරය හැර වෙන ඕනම දෙයක් ඔබට දෙන්න කැමැති බව.

පිළිතුර – මට එකම එක තර්කයයි තියෙන්නේ. මට වෙන තනතුරක් දෙනවා නම් ඒකෙන්ම බොහොම පැහැදිලියි මට කිසිම චෝදනාවක් නැහැ කියලා. චෝදනා තියෙනවා නම්, මට වෙන තනතුරු දෙන්න බැහැනේ. මොකද ලේකම් කමට එක චෝදනාවකුයි, ලේකම්ට තව චෝදනාවකුයි තියෙන්න විදිහක් නැහැනේ. ඒ කියන්නේ මට චෝදනා මුකුත් නැහැ.

ප්‍රශ්නය – ඔබට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් ධුරය හිමිවන්නේ පක්‍ෂය අසීරු අඩියකට පත්ව ඇති මොහොතක. එය කළමනාකරණය කර ගනිමින් ඔබ පක්‍ෂයේ ජනප්‍රිය වීම කාටහරි ප්‍රශ්නයක් වුණා වෙන්න බැරිද ?

පිළිතුර – ඒක තමයි ප්‍රශ්නේ.. තවත් ජනප්‍රිය වේවි.. පක්‍ෂයේ බලය අල්ලාවි වගේ බයක් සමහරුන්ට තියෙන්න ඇති.

ප්‍රශ්නය – මෛත්‍රිපාල සිරිසේන මහතා කේලම් ඇසූ බව ඔබ මට පළමුව සඳහන් කළා. කේලම අසන්න තරම් හරි වැරද්ද තෙරුම් ගන්න තරම් ඔහු නායකත්ව ගුණාංග ඇති දක්ෂ චරිතයක් නෙමෙයිද?

පිළිතුරු – මම කියන්නේ නැහැ ඔහු අදක්‍ෂයෙක් කියලා. හැබැයි එතුමා පහුගිය කාලයේ කේලම් අසන තැනකට පත්ව තිබුණා. මන් ගැන විවිධ කාරණා කිව්වාට පසු ඒවා සියල්ල පිළිගන්න තැනට එතුමා පත්ව තිබුණා.

ප්‍රශ්නය – ඔබට විරුද්ධව කේලම් කිව්වේ කවුද ?

පිළිතුර – නම් වශයෙන් කියන්න මම කැමති නැහැ. හැබැයි මේ ක්‍රියාවලිය ආරම්භ වුණේ ආණ්ඩුවට ගිය පිරිස අතරින් බව කියන්න ඕනෑ. ඔහුන් මූලික ක්‍රියාකාරකම කළා.

ප්‍රශ්නය – තමාව මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම ශ්‍රීලංනිප ය එජාපයට හේත්තු කරන්න යන ගමනේ එක් පියවරක් බව ඔබ සඳහන් කර තිබෙනවා.

පිළිතුර – ඔය කණ්ඩායම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණයට සහ පක්‍ෂයේ නායකත්වයේ තීරණයට එරෙහිව ගොස් ආණ්ඩුවේ ඇමැති ධුර භාර ගන්නවා. මේ ආණ්ඩුවේ ඇමැතිකම් භාරගන්න කියලා තීන්දුවක් තවමත් මධ්‍යම කාරක සභාව අරගෙන නැහැ. එවැනි තත්ත්වක් තිබියදීත් ඔවුන් යනවා. ඔවුන් නඩු පවරයි කියලා බයට ඔවුන්ව පක්‍ෂයට ආපහු ගන්නවා. ඇත්තටම පසුගිය දවසක මහින්ද අමරවීර මහත්මයාලගේ ගෙදර ලන්සා කණ්ඩයම සමඟ මේ අය අතර සාකච්ඡාවක් පවත්වා තිබුණා. ඔවුන්ගේ අවශ්‍යතාව පක්‍ෂයට ඇවිත් මේ පක්‍ෂය රනිල් වික්‍රමසිංහ මහත්මයාල සමග සම්බන්ධ කරන්න. මේක තමයි ක්‍රියාවලිය. ආණ්ඩුවෙන් පැමිණි ජෝන් ඩොයිලිලා තමයි මේ සම්පූර්ණ කුමන්ත්‍රණය කළේ. මාත් ඒකේ ගොදුරක්. ඒගොල්ලෝ හදන්නේ මාව සජබට තල්ලු කරන්න. ඒගොල්ලෝ පක්ෂය යූ.එන්.පී. යට ඇදන් යන්න හදනවා. මම යූ.එන්.පී. යට යන්නෙත් නෑ. සජබට යන්නෙත් නෑ. අපි මේ පුළුල් සන්ධානේ අපේ එකම බලාපොරොත්තුව තවත් පක්ෂ එකට එකතු කරගෙන දැවැන්තම සන්ධානයක් මේ රටේ ගොඩනඟන එක තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ.

ප්‍රශ්නය – මෙහි කපුකම කරන්නේ ලන්සා මන්ත්‍රීතුමාද?

පිළිතුර – ඔහු විතරක් නෙමෙයි.. තව කට්ටිය ඉන්නවා. ඔහුට ඕන වෙලා තිබ්බ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එන්න. ඒකට මගේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම කියන්නේ ඒ සේරම අය භාර ගමු කියලා. හැබැයි ආණ්ඩුවට යනවද නැද්ද තීරණය කරන්න ඕන පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවයි පක්‍ෂයේ නායකතුමයි. එහෙම නැතිව පක්‍ෂය දාල ගිහින් ඇමැතිකම් ගත්ත අය නෙමෙයි. පක්‍ෂය වෙනුවෙන් වෙන අය මැරීගෙන කටයුතු කරද්දී ඇමැතිකමක් අරන් සැප ගත්ත අයට එහෙම කරන්න දෙන්න බැහැ. ඒක වැරදියි. ඒ නිසා ඒ ගැන අපේ විරෝධතාව දිගටම තිබුණා. එහෙම දෙයක් ඕනම නම් අපි කිව්වේ මෛත්‍රිපාල සිරිසේන මහත්මයා රනිල් වික්‍රමසිංහ මහත්මය සමඟ සාකච්ඡා කරන්න කියලා.

ප්‍රශ්නය – මේ ඉවත් කිරීම සම්බන්ධයෙන් ගන්න නීතිමය ක්‍රියාමර්ග කෙසේද?

පිළිතුර – ලබන සතියේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නාවා.

ප්‍රශ්නය – පක්‍ෂයෙන් ඉවත් කර දවසක් ගත වෙද්දී ඔබ නිදහස් ජනතා සන්ධානයේ රැස්වීමක ඉන්නවා. ඒ අලුත් ගමනක් එතැනින් පටන් ගන්න උත්සහයක්ද ?

පිළිතුර – නිදහස් ජනතා සන්ධායනයේ නායකයන් මට ආරාධනා කළා. ඔවුන් අපි අතර ළඟ සම්බන්ධතාවයක් තිබෙනවා. අපි වැටුණු වෙලාවේ මට ශක්තියක් වෙන්න තමයි ඒ රැස්වීම කැඳවලා තිබුණේ.

ප්‍රශ්නය – ඒ කියන්නේ ඔබ වැටිලද ඉන්නේ..?

පිළිතුර – නැහැ.. නැහැ.. අපි වැටෙන මිනිස්සු නෙමෙයි. මන් ඒ කිව්වේ කරදරයකට පත් වූ අවස්ථාවේ කියන අදහස. ඔවුන් එවැනි රැස්වීමක් කැඳවීම මට ගෞරවයක්.

ප්‍රශ්නය – පක්‍ෂය ඇතුළේ ඔබට එරෙහි යම් කටයුත්තක් වෙන බව ඔබ නොදන ඉන්න විදිහක් නැහැ. ඔබ පක්‍ෂයේ මහ ලේකම්. එවන් තත්ත්වයක් තුළ අනතුර වළක්වා ගන්න නොහැකි වීමම ඔබගේ අඩුපාඩුවක් බව හිතෙන්නේ නැද්ද?

පිළිතුර – එහෙම ක්‍රියාමාර්ග ගන්න දෙයක් නැහැ. වෙමින් පැවැති දේවල් ගැන මට අදහසක් තිබුණා. මේ ගැන මම පුද්ගලිකවම එතුමා ගාවට ගිහින් කිව්වා “සර් මේ වගේ තත්ත්වයක් තියෙනවා. ඔබතුමාවයි මාවයි කෙටවීම තුළ මේ පක්‍ෂය විනාශ වෙන්නේ. ඒ නිසා මගේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතාකරන්න කියලා. නමුත් ඉතින් අවසානයේ එතුමා කේලම් කියපු අයගේ ගොදුරක් බවට පත්වුණා. මේ පක්ෂය මගේ ආරම්භය. මගේ පළවෙනි දේශපාලන පක්ෂය. අදත් මම මගේ පක්ෂය වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරනවා. මට ලේකම් ධුරය ලැබුණ වෙලාවේ පක්ෂය සීයට දොළහකට වැටිලා තිබුණේ. 2019 දී මේ තනතුරු ලැබුණයින් පස්සේ පක්ෂෙට අලුත් වැඩපිළිවෙළක් සහිතව පක්ෂයේ ඡන්ද පදනම වැඩි කරගන්න අපිට පුළුවන් වුණා. එහෙව් කළ අපි අද පක්‍ෂයෙන් එළියේ.

අමාරු කාලවකවානුවේ පක්ෂය අල්ලගෙන හිටපු පක්ෂය ශක්තිමත්ව රඳවගෙන හිටපු, පක්ෂය වෙනුවෙන් හඬ අවදි කරපු මාව අද ලේකම්කමින් එලවලා දාලා තියෙනවා. ඉතින් මේකට මම කනගාටු වෙන්නේ නැහැ. මොකද හේතුව මෙවැනි තීන්දු තීරණ අපේ සභාපතිතුමා ඉතිහාසයෙත් අරන් තියෙනවා. අපි කවුරුත් දන්නවා ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට මම කියන්න කැමතියි මේ රටේ අති බහුතරයක් ප්‍රගතිශීලී ජනතාවට මම කියන්න කැමතියි මම හිටගන්නේ පක්ෂයත් එක්ක මිසක වෙන කොහෙවත් නෙමෙයි කියන කාරණය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක තත්පරයක්වත් මම දාලා යන්නේ නැහැ. මොකද දාලා යන්න මට හේතුවක් නැහැ. පක්ෂයේ තීන්දුවට පිටින් ගිහිල්ලා, ඇමැතිකම් ගත්ත අයට තියෙන අයිතිවාසිකම අද මට නැහැ. ඉතින් ඒ නිසා පක්ෂය අතහැරලා දාලා යන්න මගේ කිසි බලාපොරොත්තුවක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක මම දිගටම ඉන්නවා.

සාකච්ඡා කළේ
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment