උපැවිද්ද හා නූතන භික්‍ෂුත්වයේ අභියෝග

383

බුද්ධ චීවරය තරම් උතුම් වස්ත්‍රයක් නොමැති බව අමුතුවෙන් කිව යුතු වූවක් නොවේ. චීවරය හා එය දරණ භික්‍ෂුව ශාසන සම්ප්‍රදායට අනුව ඉතා වටිනා අමිල වස්තුවකි. ඒ අන් කිසිවක් නිසා නොව සියල්ල හැර දමා මිනිසුන් උදෙසා සිදුකරන උදාර සේවාව නිසාම භික්ෂූන් වහන්සේ බෞද්ධ සමාජය තුළ බොහෝ දෙනාගේ දුකට හා සැපතට අමතක කළ නොහැකි චරිතයකි. රටේ පාලකයා පවා දණ නමා වන්දනා කිරීමට තරම් භාග්‍ය ලබා ඇති බෞද්ධ භික්‍ෂූන් ලාංකික සමාජයෙහි කැපී පෙනෙන කඩිසර හා ගාම්භීර චරිතයකි. එහෙත් බොහෝ කලක් පටන් අන්‍යයන්ගේ යහපත උදෙසා තම දිවියම කැප කරන ඇතැම් භික්‍ෂූන් වහන්සේලා සිවුරු හැර යෑම හෙවත් උපැවිදි වීම සුලබව දැකිය හැකි දසුනකි. මෙයට හේතුව කුමක්ද යන්න ගැඹුරින් විමසා බැලිය යුතු හා නූතනයට ද බෙහෙවින් ගැලපෙන කරුණක් වන්නේ යැයි සිතන්නෙමු. ඒ අන් කිසිවක් නිසා නොව බොහෝ දෙනා තුළ තිබෙන විවිධ මතවාද හා ආකල්ප යම් දුරකට හෝ වෙනස් කොට ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරවීම උදෙසාය.

‘සම්බෝධායං ඝරාවාසො රජස්සායතනං ඉති-අබිභෝකාසෝව පබ්බජ්ජා ඉති දිස්වාන පබ්බජී’ යනුවෙන් පැවිදි ජීවිතය සම්බාධක කරදර බාධකවලින් තොරවූ හිස් ආකාශය වැනි නිදහස් දිවියකි. එලෙස බෞද්ධ සාහිත්‍ය තුළ විග්‍රහ කොට ඇති අයුරු විශේෂයෙන් ගිහියාට වඩා නිවන් මඟට ළංවූ තැනැත්තා වන්නේද භික්‍ෂූන් වහන්සේය. එවැනි උතුම් ජීවිතයක් ලෙස අර්ථ ගන්වන පැවිදි දිවියට පත්වන බොහෝ දෙනා කුඩා අවධියේ පටන් තම මව්පිය සහෝදර ඥාති සමූහයා හැර දමා පූරණය කරනුයේ සැබැවින්ම ‘නෙක්ඛම්ම’ පාරමිතාවයි. මෙකී කැප කිරීම හැම දෙනාටම සිදුකළ නොහැක්කකි. එලෙස පැවිදි දිවියට එළැඹීමෙන් පසුවද අනේක දුක් වේදනා විඳිමින් ලෙඩක් දුකක් යම් වේදනාවක් ඇතිවූ පසුවද ඒ සියල්ලම තනියම විඳ දරා ගැනීමට පැවිදි ජීවිතය තුළ භික්‍ෂුව හුරුවීම විටෙක පුදුමසහගතය.

නිවසක කුඩා දරුවෙකු අසනීප වූ විට මවුපියන් ළඟින්ම සිට සැනසුවද සාමණේර පුංචි හාමාදුරුවන් වහන්සේ නමකට එසේ ළඟින් සිටින්නේ කවුරුන්ද? මෙලෙස නොයෙක් දුක් ගැහැටවලට හුරුවන පැවිදි දිවිමග අතිශයින්ම දුෂ්කර වූවකි. මන්දයත් පාන්දර 4 ට පමණ අවදිව සිදුකරන වතාවත් වැනි බොහෝ දේ මෙන්ම රාත්‍රී සැතපෙන්නට යනතුරුම සිදුකරනුයේ අන්‍යයන්ගේ යහපත සඳහා වූ ක්‍රියා සමුදායකි. ඒ සියල්ල මතින් තම අධ්‍යාපනය ද ගොඩනඟා ගැනීමට උත්සාහ දරන භික්‍ෂුව බණ, පිරිත, දානය, පාංශූකූලය, බෝධි පූජාව ආදී බොහෝ සත් ක්‍රියාවන්ට තම කාලය ශ්‍රමය කැප කරන්නේ ස්වකීය දායක ප්‍රජාවගේ දෙලොව දියුණුව උදෙසාමය. මෙලෙස අනේක දුක් වේදනා විඳිමින් තම ළමා තරුණ දිවිය ගිහි දරුවෙක් කැප කරන්නේ නම් එය තම දියුණුවම හැර අන් කවරෙකුගේ යහපත සඳහා නොවනු ඇත. විහාරස්ථාන උදේ හවස අමදමින් සියලු කුදු මහත් වතාවත් නොපිරිහෙළා සපුරමින් පරාර්ථය උදෙසා කැප කරන භික්‍ෂුවට නිතරම පාහේ විඳීමට සිදුවන්නේ නොයෙක් නින්දා අපහාස ආදියයි. එක දිගට වසර ගණනාවක් මිනිසුන්ට සේවාවන් සිදුකළද එක් දිනක් යම් කටයුත්තක් අතපසුවුවහොත් සියල්ල විනාශය. එදාට නින්දා අපහාසවලින් අඩුවක් නොමැත.

මෙවැනි සමාජ වටපිටාවක තරුණ භික්‍ෂුව මුහුණ දෙන අභියෝග බොහෝය. දායකයාගේ පමණක් නොව ඇතැම් විට ස්වකීය විහාරස්ථානයෙහි වැඩවසන ගුරුවරයාගේ මෙන්ම සද්ධි විහාරිකයන්ගේද බොහෝ පීඩනයන්ට පත්වීමට සිදුවී ඇති අතර එවැනි අවස්ථා අතර විශේෂයෙන් අධ්‍යාපනයේ පටන් විවිධ හැකියා දැන උගත්කම් හේතුවී ඇත.

පෘථග්ජන මානසික මට්ටම නිසා කුහක පළිගැනීම්වලට ගොදුරුවීමට ඇතැම් තරුණ හිමිවරුන්ට සිදුවීම අතිශය කනගාටුවට කරුණකි. මෙවැනි ක්‍රියාදාමයන් හමුවේ බොහෝ භික්‍ෂුන් වහන්සේලා කලකිරීමට පත් වෙනවා පමණක් නොව ජීවිතය පවා එපා වෙන මානසික මට්ටමට පත්වේ. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ සියල්ල දමා සිවුරු හැර යෑම හෙවත් උපැවිදිවීමයි. එයින් පසුවද ගිහි සමාජයෙන් ඔවුන්ට සැනසීමක් නැත. කුඩා කල පටන් බොහෝ දෙනා වෙනුවෙන් තම වටිනා ළමා, තරුණ දිවිය කැප කළ එවැනි මිනිසුන් අගය කිරීමක් සිදුවුවද සමාජය විසින් කොන් කර දමා නොයෙක් අයුරින් පහත් මට්ටමට ඇද දැමීමම අතිශය පිළිකුල්සගතය. තායිලන්තය, ජපානය වැනි රටවල්වල පැවිදිව සිට උපැවිදි වූ තැනැත්තන්ට සෑම සමාජ ස්ථරයක් තුළම ලබාදෙන්නේ ඉතා ඉහළ පිළිගැනීමකි.

එහෙත් අවාසනාවට මෙන් අපේ රටේ මිනිසුන් බුද්ධියෙන් බැහැරව ක්‍රියා කරන අයුරු දකින විට හදවතට දැනෙන්නේ මහත් දුකක් මෙන්ම වේදනාවකි. සැබවින්ම උපැවිදිවීම පවක් හෝ වරදක්ද යන්න විමසා බැලීම අතිශය වැදගත් වූවකි. එය බොහෝ පරාස ඔස්සේ සාකච්ඡා කළ හැකි කරුණකි. කෙටියන් කිවහොත් අනුන් වෙනුවෙන් මුළු දිවියේ සරුම කාලය කැප කරන තරුණ භික්‍ෂුවට නිදහස් තීන්දු තීරණ ගැනීමේ හැකියාව ඉතා මැනවින් බුදුසමය තුළ ඉඩ අවකාශ සලසා ඇත. කාලාම, වීමංසක වැනි සූත්‍ර දේශනා තුළ සිතීමේ විමසීමේ හා තීන්දු තීරණ ගැනීමේ නිදහස බුදුරදුන් ඉතා කදිමට පෙන්වා දෙනු ලබයි. ‘නා චින්ත යන්තො පුරිසො විසේස මධි ගච්ඡති’ යනුවෙන් ඒ බව කදිමට තහවුරු කොට ඇත.

ඒ අනුව තමන්ට සුදුසු නොමැති නම් සිවුරු හැර යෑම වරදක් ලෙස නොපෙනෙන අතර එය පවක්ද යන්න විනය පිටකයට අනුව විමසා බැලීම ඉතා වැදගත්ය. චීවරයේ රැඳී සිට වැරදි සහගත ක්‍රියා සිදුකරනවාට වඩා උපැවිදිවීම පවක් වන්නේ කෙසේද මෙයද ගැඹුරින් විග්‍රහ කළ යුතු කරුණකි.

කෙසේ වුවද හදවතට එකඟව නූතන සමාජයේ ඇතැම් භික්‍ෂූන් සිදුකරන යම් ක්‍රියාවන් නිසා පහර ගසනු ලබන්නේ මුළු මහත් සංඝ සමාජයටමය. මිනිසුන් තුළ බොහෝ විට නිසි අවබෝධයක් නොමැතිවීම මෙම අවාසනාවන්ත තත්ත්වය සඳහා බෙහෙවින් ඉවහල් වී ඇත. බුද්දිමත් තැනැත්තා පැවිදි දිවියේ කටුක හා එහි ශ්‍රේෂ්ඨත්වය හොඳින් අවබෝධ කර ගනියි. කුඩා කල සියල්ල හැර දමා ළමා දිවියද මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කැප කරන භික්‍ෂුව තරුණ අවධිය තුළ සිදුකරනුයේද එම ක්‍රියාවලියමය. එහෙත් බොහෝ දෙනා සිව්පසය ලැබෙන නිසා මහණවෙලා ඉන්න එක මොකක්ද? මොන බරක්ද? යනුවෙන් සැහැල්ලුව සිතති. මෙවැනි අනවබෝධය නිසාම නූතන බොහෝ දෙනා භික්‍ෂු සමාජයෙන් වෙන්ව උපැවිදි වීම කෙසේවත් වැළැක්විය නොහැක්කකි.

දායකයා පමණක් නොව ඇතැම් විට සංඝ සමාජය තුළ තිබෙන්නා වූ විවිධ වැරදි ආකල්පද මේ සඳහා බෙහෙවින් හේතු සම්පන්න වී ඇත. විවිධ වෙනස්කම්, කුහකකම් පමණක් නොව සංඝ සමාජය තුළ යම් ගැටලුවක් ඇති වුවහොත් ඒවා විසඳීමට කිසිදු භික්‍ෂුවක් ඇතැම් විට ඉදිරිපත් නොවීම අතිශය කනගාටුවට කරුණකි. කොතරම් නම්බුනාම තිබුණද කළ යුතු දේ නිසි තැනදී සිදුනොකිරීමද මෙම විනාශය සඳහා බෙහෙවින් හේතුවී ඇත. ‘සමග්ගා හෝථ මා විවධත-සමඟි වව් විවාද නොකරව්’ යනුවෙන් ද ‘සුඛා සංඝස්ස සාමග්ගී-සංඝයාගේ සමගිය සැපයක් බව’ බුද්ධ දේශනාව තුළ මැනවින් පෙන්වා දෙනු ලැබුවද සමහර අවස්ථා තුළ තම ගුරුවරුම තීන්දු තීරණ ගන්නා අයුරු දකින විට තරුණ හදවත් ඇති භික්‍ෂුවට සිවුර එපා වීම සාධාරණය. මෙවැනි සමාජ අසාධාරණවලට ගොදුරුවීම හරහා බෞද්ධ සමාජය තුළ ඇති වන ආකල්පයද යහපත් ඒවා නොවෙති.

ගිහි සමාජයට ගියද ඔවුන්ට නින්දා අපහාසවලින් නම් අඩුවක් නොමැත. මේ නිසා වත්මන් සමාජයෙහි භික්‍ෂුව පිළිබඳ විවිධ මතවාද ගොඩනැඟී ඇති යුගයක චීවරය හා භික්‍ෂුවගේ ශ්‍රේෂ්ඨත්වය අප මනාව හදවතින් අවබෝධ කර ගැනීම අතිශය වැදගත් වන්නේ අප බෞද්ධයන් වන නිසාමය. එය ගිහි පැවිදි දෙපක්‍ෂයම හිතට ගත යුත්තක් වන අතර, තරුණ භික්‍ෂූන් වහන්සේලා තවදුරටත් සසුන තුළ රඳවා ගැනීමට සියලුදෙනා වගබලාගත යුතුය.

තරුණ හදවත් ඇත්තන් අතින් යම් වරදක් වුවද ඒවා මනාව අවබෝධ කරදී නිසි මඟ යැවීමේ හැකියාව භික්‍ෂු සමාජයෙහි වැඩිහිටියන්ට පැවරී ඇති යුතුකමක් හා වගකීමකි. ඇතුළේ ප්‍රශ්න ඇතුළේ විසඳා ගන්නවා හැර ඒවා එළියට ගෙන මුළු මහත් සමාජයම ගඳ ගස්වා විනාශ කිරීම නොව තරුණ යතිවරුන් රැක ගැනීම නොපමාව සිදුකළ යුත්තකි. ‘සබ්බ දුක්ඛ නිස්සරණ…’ යනුවෙන් චීවරය පොරවා ගත් අප මීට වඩා අවබෝධයෙන් ක්‍රියා කළ යුතු අතර, නොමැති නම් සිදුවන්නේ බුද්ධ ශාසනය විනාශ වීම පමණි. එය රැක ගැනීම ගිහියන්ගේද ප්‍රබල වගකීමකි. නූතනයෙහි සිවුරු හැර යෑම මෙවැනි පීඩන හමුවේ වරදක් හෝ පවක් කෙසේ වෙතත් එය මානවයාගේ අයිතියකි.

ඒ නිසා ඇත්ත ඇති සැටියෙන් අවබෝධකර ගැනීම මිස අඳුරට ආ වැඩීම සිදුනොකොට තුවාලයට බෙහෙත් නිසි ලෙස දමා තුවාලය සුවපත් කිරීම සියලු දෙනාගේ පරම යුතුකමක් සේම වගකීමක් වනු ඇත. නොමැති නම් සිදුවන්නේ අඳුරේ සිට අඳුරේම අතපතගාමීන් මිථ්‍යාවෙහි ජීවත්වීම පමණි.

සංඝ සමාජයට විවිධ අයුරින් පහර ගසන මෙවැනි කාල සමයක බෞද්ධ අප සැවොම නිසි අවබෝධයෙන් යුතුව ක්‍රියා කිරීම අතිශය වැදගත් වනු ඇත. නොමැතිනම් සිදුවන්නේ දිනෙන් දින සසුන් කෙත පාළුවීම පමණි. උපැවිදිවීම අනුමත කිරීමක් නොව එලෙස වීමට හේතු අප විමසා බලා ක්‍රියා කිරීම අතිශය වැදගත් සාධකයකි. බුදුදහමට නොයෙක් අභියෝග හමුවේ එල්ලවී ඇති කාල සමයක බෞද්ධ අපේ වගකීම ‘චීවරය’ සමග කෙසේ ඉටුකළ යුතුද? යන්න මනාව නුවනින් අවබෝධ කොටගෙන ක්‍රියා කිරීමේ කාලය එළැඹ ඇති බව නම් සැබෑවකි.

නොමැති නම් හෙට දවසෙහි ශාසනයෙහි ඇතිවන පිරිහීම සුළු පටු නොවන්නකි. පුහු ආටෝප නම්බුනාම වලින් පිම්බී දේශපාලන ආදී නුසුදුසු අංශ පසුපස ගමන් කරන භික්‍ෂුව නූතනය වන විට බුද්ධ ශාසනයට එල්ල වී ඇති අභියෝග මනාව හඳුනාගත යුතුය. එසේ හඳුනා ගනිමින් සසුන් කෙත පාළු වීමට ඉඩනොදී තරුණ යතිවරුන් රැක ගැනීම හා නිසි ලෙස සෘජු තීන්දු තීරණ ගැනීමේ වගකීම භික්‍ෂු සමාජයට ඇති අතර එය යුගයේද ප්‍රබල අවශ්‍යතාවයක් වනු ඇත.

ගාල්ල ශ්‍රී ලංකා ධර්මදූත මහ පිරිවෙනේ ආචාර්ය
දර්ශනපති – කනංකේ විජිත නන්ද හිමි
සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment