අපල දුරු වෙන්න ග්‍රහයන්ට අයිති ගස්වලට සාත්තු කරන්න

4725

අපල කාල යනු අප විසින් සසරේ කරන ලද අකුසල කර්මවලට විපාක ලැබෙන කාල වේ. බලාපොරොත්තු ඉටු නොවීම, නොසිතු අයහපත් දේ සිදුවීම,රෝග පීඩා ආදී විවිධ කරදර මෙම අපල කාල වලදී ඇති වේ. සසරේ විවිධ ආත්මවලදී අප විසින් එක්රැස් කරගත් පින් පව් දෙක අපගේ විඤ්ඤාණය තුළ තැන්පත්ව පවතින අතර ඒ ඒ ගුණාංග සහිත කිරණ අපගේ සිරුරට ඇතුළු වී මනසේ සූක්ෂම කොටස වූ එම විඤ්ඤාණයට සිදුකරන බලපෑම ජ්‍යෙතිෂ්‍ය ලොවට දායාද කළ පුරාණ සෘෂිවරුන් විසින් හඳුනා ගෙන ඇත.

අප විසින් පෙර පින් කර ඇත්නම් ඊට අදාළ චුම්භක ශක්තිය, ඇදගැනීමේ බලයක් අප තුළ ඇති වන අතර එය සැපයට මුල් වේ. වස්තුව, මිල මුදල් ආදී ලෞකික දියුණුවට හේතු වන දේවල් එමගින් හිමි වේ. ග්‍රහයන්ගෙන් සුබඵල ලෙස දැක්වෙන්නේ එයයි. පෙර කරන ලද පවක් අවදි වන විට ඇති වන චුම්භක හෙවත් ඇද ගැනීමේ ශක්තිය වන්නේ පාප විපාක වන අතර

එමගින් ලෙඩදුක්, ධන හානි, බලාපොරොත්තු කඩවීම, විවිධ කරදර, බාධක, විපත් ආදිය ඇති වේ. එවිට ඒවා ග්‍රහයින්ගෙන් පැමිණෙන අපල ලෙස දැක්වේ.

කෙනෙකු මව්කුසින් මෙලොවට බිහි වන මොහොතේ ඒ ඒ ග්‍රහයින්ගේ පිහිටීම, රාශි, නැකැත් ආදිය අනුව එම පුද්ගලයාගේ දෛවයේ ආරම්භක අවස්ථාව ජනක කර්මයේ ස්වභාවයට අනුරූපීව සකස් වන අතර ඒ මොහොතේ සිටම එම ග්‍රහ ලෝකවල විශ්ව කිරණ ජාලයේ ක්‍රියාකාරීත්වයට ජන්මියා යටත් වේ. රවි, චන්ද්‍ර, කුජ, බුද, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන එම නව ග්‍රහයින් මිනිසා ඇතුළු සියලු සත්ත්වයාගේම පැවැත්ම සම්බන්ධව බලපෑම් ඇති කරන බලපෑම “කම්ම නියාමය” යනුවෙන් බුදු දහම තුළ පෙන්වා දී ඇත. මෙම නියාමයන් ක්‍රියාත්මක වන්නේ නොපෙනෙන, නොදැනෙන, නොඇසෙන විශ්ව ශක්තිය මගිනි.

විශ්වයේ නායකයා වන සූර්යයා ප්‍රධාන කොට ගත් සඳු,කුජ, බුද, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු ආදී ග්‍රහ ලෝක තමා වටාද කරකැවෙමින් සූර්යයා වටා ඉලිප්සිකාර ගමනක යෙදේ. සූර්යයාගේ යුරේනියම් ශක්තිය දවාලමින් විශ්වය පුරා ආලෝකය පතුරුවන අතර, ඉහත ග්‍රහයින් මතටද එම ආලෝකය පතිත වෙයි. මෙහිදී රාශි, නැකැත් වලට මිශ්‍ර වන සූර්යාලෝකය ග්‍රහලෝක මත පතිතව ඒ සියල්ල තුළින් විවිධ ගුණාංග මිශ්‍රව ආපසු පරාවර්තනය වී විශ්වය පුරා ගලා යන අතර අප ජීවත්වන පෘථිවියටද පතිත වේ. මෙසේ පතිත වන සූර්යාලෝකයේ ප්‍රබල ස්වයංක්‍රීය ක්‍රියා කාරිත්වයක් ඇති අතර එම සොබාදහමේ නියමයට අනුව මෙලොව සියලු දේ සිදු වෙයි. එම සූර්යාගෙන් ජීවය හා පෝෂණය ලබාගන්නා තුරු ලතා ද ඔවුන් තුළින් හටගන්නා තවත් ප්‍රබල කිරණ විශේෂයන් විශ්වයට මුදා හරියි. ඒ අනුව අපල කාල වලදී මෙම ගස්, වැල් වලින් සහනයක් ලබාගත හැකි බව පුරාණ සෘෂිවරු තේරුම් ගත්හ.

දුරාතීතයේ වනාන්තර බහුලව පැවති අතර මාර්ග පවා වැටී තිබුණේ වනාන්තර මැදිනි. වාසස්ථාන ඉදි කෙරුණේ ස්වභාවික පරිසරය තුළ ගස් කොළන් මැදය. එම නිසා එකල ජීවත් වූ මිනිසුන්ගේ සිරුරුවලට ගස්වල කිරණ නිරන්තර සම්බන්ධ වූ නිසා ඔවුන්ට ග්‍රහ අපලවලින් නොදැනීම වාගේ යම් ආරක්ෂාවක් ලැබුණි. අද වන විට ඒ තත්ත්ව වෙනස්ව ඇති හෙයින් අපල කාලවලදී අදාළ ගස්වලට සාත්තු කිරීමට, ස්පර්ශ කිරීමට සිදුව ඇත.

පුද්ගලයෙකු මෙලොව උපත ලබන අවස්ථාවේ ජන්ම කේන්ද්‍රයේ රවි අශුභ ස්ථානයක හෝ අශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලබා හෝ අශුභ ග්‍රහ සංයෝග ලබමින් හෝ සිටින විටත්, ග්‍රහචාරයේදී අශුභ ස්ථාන පසුකරමින් යන විටත් සූර්යයාගේ අශුභ කිරණ එම පුද්ගලයාට ස්පර්ශ වීමෙන් විවිධ අසුබතා ඇති වෙයි. එවැනි අවස්ථාවලදී ඉඹුල් ගස යට සිටීමෙන්, ඉඹුල් ගසට සාත්තු කිරීමෙන්, ඉඹුල් ගසක් ස්පර්ශ කිරීමෙන් එවැනි දෝෂ භංග වී යන බව ඈත අතීතයේ සිටම පිළිගැනුණි. රවි ඉරිදා දිනයට අධිපති බැවින් එය ඉරිදා දිනවල කිරීම වඩා යෝග්‍ය වේ.

ග්‍රහ මඩුල්ලේ මව ලෙස සැලකෙන සඳු ග්‍රහයාට හිමිව ඇත්තේ දිඹුල් වෘක්ෂයයි. මෙය ඖෂධීය වශයෙන්ද ඉතා වැදගත් රෝග නිවාරණ හා දීර්ඝායුෂ ලැබෙන ගුණයක් ද ඇති ශාකයකි.

කුජ ග්‍රහයාට අයත් වන්නේ ඖෂධීය ගුණයෙන් අනූන කොළොන් වෘක්ෂයයි. කුජ ග්‍රහයා රුධිරයට අධිපති බැවින් ලේ විෂවීම් ආදි රෝග ඇති වීමටද කුජ ග්‍රහයා හේතු වේ. කුජ ග්‍රහයාගේ අයහපත් කිරණ වලින් ආරක්ෂා වීමට කොළොන් වෘක්ෂය ස්පර්ශ කිරීම, සාත්තු කිරීම, එම ගස් සෙවණෙහි වැඩි වේලාවක් ගත කිරීම යෝග්‍ය වේ.

බුධ ග්‍රහයාගෙන් අපල ඇතිවූ විට එවැනි අය කොහොඹ ගසක් අසල සිටීමෙන්, කොහොඹ ගසට සාත්තු කිරීමෙන්, එම ගස ස්පර්ශ කිරීමෙන් එම අපල දුරු වේ. සිසිලස ගෙන දෙන ඖෂධීය ගුණයෙන් යුත් කොහොඹ ගස දෙවියන්ගේද ආකර්ෂණය ලබන ගසක් වේ.

ගුරු ග්‍රහයාට හිමි වෘක්ෂය වන්නේ බෝ වෘක්ෂයයි. සුරගුරු නමින්ද හඳුන්වන ගුරු ග්‍රහයා දෙවියන්ගේත් ගුරුවරයා ලෙස සැලකෙයි. මෙම ග්‍රහයාගෙන් අපල ඇති අය බෝ වෘක්ෂයට නැමදීම, වෘක්ෂය අතපත ගෑම, ආවතේව කිරීම, බෝ මළුව ඇමදීම, බෝධි පූජා පැවැත්වීම මගින් අපල වලින් සිදුවන අයහපත් ප්‍රතිඵල වළකා යහපත් ප්‍රතිඵල උදා කර ගත හැකිය. බෝ පත්‍රයෙන් පිටවෙන කිරණ ඔවුන්ගේ මනසට විශේෂයෙන් බලපෑමක් කරයි.

සිකුරාදා දිනයටද අධිපති වන සිකුරු ග්‍රහයාට හිමි වන්නේ කරඳ වෘක්ෂයයි. ආදර හැඟුම් ලියලන වෘක්ෂය ලෙසද කරඳ ගස හඳුන්වයි.

ග්‍රහලොව කම්කරුවා ලෙස හඳුන්වන සෙනසුරු ග්‍රහයාට හිමි වෘක්ෂය නුග ගසයි. නුග ගසට සත්කාර කිරීම සෙනසුරු අපලවලට සුබදායකය. ඖෂධීය ගුණය හා සිසිලස ලැබෙන මෙම වෘක්ෂයට පූජා පැවැත්වීමෙන් නිරවුල්, ශක්තිමත් මනසක්ද ඇති වේ.

ඡායා ග්‍රහයින් ලෙස සැලකෙන රාහු හා කේතු ග්‍රහයන්ට වැටකෙයියා හා කෙසෙල් ශාක නියම කර ඇත. බලි තොවිල් වැනි ශාන්ති කර්මවලදී කේතුට හිමි වෘක්ෂය වන කෙසෙල් ගසේ පතුරු භාවිත කරන්නේ වාත, පිත, සෙම යන කොටස් තුන කෙසෙල් පතුරුවල අඩංගු නිසාය. අපල කාලවලදී මෙම ඖෂධීය ගස්වලට ආවතේව කිරීම, ඇප උපස්ථාන කිරීම, වන්දනාමාන කිරීම මගින් ඒවායින් ඇති වන අයහපත් ප්‍රතිඵල දුරු කර ගැනීමට හැකි බව ජ්‍යොතිෂය තුළින් පෙන්වා දෙයි.

අපල දුරු වෙන්න ග්‍රහයන්ට අයිති ගස්වලට සාත්තු කරන්න

ජ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක
විදුහල්පති දේශමාන්‍ය දේශබන්දු
ආචාර්ය කපිල ඉන්ද්‍රික ගුණදාස
මාලිබොඩ දැරණියගල. 076 8248000

advertistmentadvertistment
advertistmentadvertistment