අරුත් පිරි ප්‍රියමනාප නමක් තියන හැටි

527

550 ජාතකයේ 82 වැනි ජාතකය කාළකණ්ණි ජාතකය ලෙස නම්කර තිබේ. 96 වැනි ජාතක කථාව නාමසිද්ධි ජාතකය ලෙස නම්කර තිබේ. කාලකණ්ණි ජාතකයෙන් කියැවෙන්නේ නම කාලකණ්ණි වුවද එම පුද්ගලයා රජු නොමැති අවස්ථාවක මුළු රජ වාසළම ආරක්‍ෂා කිරීම පිළිබඳව සිද්ධියක්ය. එනම්, නම කාළකණ්ණි වුවත් ඉතාම සෞභාග්‍ය සම්පන්න කටයුත්තක් ඉටුකළ බවකි.

නාමසිද්ධි ජාතකයෙන් කියැවෙන්නේ ඊට වඩා වෙනස් සිදුවීමකි. තක්ෂිලා නුවර දිසාපාමොක් ආචාරින් ළඟ 500 ක් සිසු පිරිස අතර පාපක නමින් ශිෂ්‍යයෙක් සිටියේය. මේ පාපක තමන්ගේ නම ගැන කලකිරී ඇදුරු හමුවී මට ලස්සන නමක් අවශ්‍ය බව කීවේය. එවිට ඇදුරු කීවේ “ඔබ මේ ජනපදය පුරා ඇවිද ඔබගේ හිතට ගැළපෙන යහපත් නමක් හොයාගෙන එන්න. මම ඔබට පාපක නාමය ඉවත් කර එම යහපත් නාමය තබමි.” යන පිළිතුරයි. ඒ අනුව පාපක ජනපදය පුරා ඇවිදින්නට විය. ඔහුට මුලින්ම හමුවුණේ මියගිය පුරුෂයකුගේ දේහයක් රැගෙන යන පෙරහැරකි. පාපක මියගිය පුරුෂයාගේ නම කුමක්දැයි, යන පිරිසගෙන් විමසා සිටිවිට දැනගන්න ලැබුණේ ඔහුගේ නම ජීවක බවයි. ඒ අනුව ජීවක මියගොස් තිබේ. ජීවයේ රැඳී සිටින්නා මියගොස් තිබීම නමින් කියැවෙන ගණාත්මයට වඩා වෙනස් දෙයකි.

තවදුරක් යන විට නිවසක බැල මෙහෙවර කරමින් සිටි දාසියක් හමුවිය. ඔහු ඇයගේ නම විමසූ විට ඇයගේ නම ධනපාලි බව දැනගන්නට ලැබිණි. ධනය පාලනය කරන අර්ථය ඇති කාන්තාව හෙවත් ධනපාලි වෘත්තියක් ලෙස කළේ අනුන්ට බැල මෙහෙවර කිරීමයි. මේ ගැන වැඩිදුර සිතමින් තවදුරටත් ඉදිරියට යනවිට පාර වැරදී අතරමංවූ මිනිසෙක් හමුවුණේය. ඔහුගේ නම විමසූ විට ඔහුගේ නම පන්ථක යන්න බව දැනගන්නට ලැබිණි. පන්ථක යන්නෙහි තේරුම “මාර්ගය හරිහැටි දන්නා” යන්නයි. මාර්ගය හරිහැටි දන්නා යන අර්ථය ඇති පන්ථකටත් පාර වැරදුණා නම් නමක විටිනාකම කුමක් දැයි ඔහු තම සිතින්ම නැවත විමසුවේය. ඒ අනුව වැදගත් වන්නේ කෙනකුගේ නාමය නොව ඔහු කරන කටයුතු බව මොහුට ඒත්තු ගියේය. ඒ අනුව මොහු නම වෙනස් නොකර තවදුරටත් “පාපක” යන නමින්ම පෙනී සිටියේය.

මා, මේ කථා දෙක මුලින්ම සඳහන් කළේ ජාතික පොත් වහන්සේට කරන ගෞරවයක් වශයෙනි. එහි ඇති හැම කථාවකම ඇත්තේ මනෝවිද්‍යාත්මක සිද්ධාන්තයයි. එබැවින් අපිත් වටහා ගත යුත්තේ වැදගත් නොවැදගත් හෝ යහපත් අයහපත් වන්නේ කෙනකුගේ නාමය නොව ඔහු කරන කටයුතු බවයි.

උපදින සෑම දරුවකුටම නමක් තැබීම සිරිතකි. තම දරුවාට අර්ථාන්විත වුත් අනන්‍යතාවය ආරක්‍ෂා කරන්නාවවූත් ප්‍රියමනාප වූත් නමක් තැබීම සැමගේ අරමුණයි. මෙහිදී ජ්‍යොතිර් විද්‍යාව අනුව එක් එක් පුද්ගලයන්ගේ අනාගතය දියුණුවට අදාළ වන්නා වූ නම් තැබීමේ ක්‍රමයක් ඇත.

විජයාගමනයට පෙර රාවණා, විභීෂණ, කුවේර, පුලස්ති, කුම්භකර්ණ, සුපර්ණ ආදී නම් භාවිත වූ බව පෙනේ. අනුරාධපුර යුගයේදී උච්චාරණයට පහසු වූ හෙළ නම් භාවිතා කර ඇත. ලෝක උරුමයක් වූ සීගිරි කැටපත් පවුරේ අතීතයේ භාවිතා වූ නම් ලිඛිතව ඇත. සීගරියේ බිතුසිතුවම් වලින් දැක්වෙන ලලනා රූපවල සෝබන බව අගය කරමින් කැටපත් පවුරේ සනිටුහන් කළ කුරුටුගී අතර පහත සඳහන් නම් ලියැවී තිබේ.

මෙයල් බත

සඳ ගැමුණු

සඟල

අඩ ගැමුණු

අක් බෝයි

අනුරා

වජිරා

දේවා

මහනා

සුලු නා

බුදල්

මෙහි අනුරා, වජිරා සහ දේවා යනු ස්ත්‍රී නාමයන්ය. එකල ගිරිදුර්ග තරණය කරමින් පිරිමින් හා කරට කර සිටිමින් කාන්තාවන් ද සොබාසිරි වන්දනීය කළ බව මෙම වැකි සාක්‍ෂි දරයි.

සමාජයීය වශයෙන් බැලූ කල නමක ගුණාත්මක අංග පහකි.

  1. අර්ථාන්විත විය යුතුයි.
  2. කාලානුරූප විය යුතුයි.
  3. ප්‍රසන්න විය යුතුයි.
  4. අන්ධානුකරණයෙන් වැළකිය යුතුයි.
  5. නමේ සුසංයෝගය උපහාසයට ලක් නොවිය යුතුයි.
  6. අර්ථාන්විත වීම

අතීතයේදී බොහෝ නම් අන්වර්ථව හෙවත් අර්ථයකට අනුකූලව තබා තිබේ. සිතේ ඉලක්කයට බාධාවක් වූ හෙවත් රාහුලයක් වූ උපතකදී ඒ දරුවා රාහුල විය. කළුවන්තිස්ස කාවන්තිස්ස විය. කළු බැවින් කාල වූද, මිටි බැවින් ගෝලවූද, තැනැත්තා කාලගෝල විය. නාසය නැවුණු අය වංශනාසික තිස්ස නම් විය. සාරි බැමිණියගේ පුතා සාරිපුත්ථ විය. කළු හෙවත් කු වර්ණ වූ යුවතිය කුවණ්ණා හෙවත් කුවේණි ය. සුදු දුව සුදු මැණිකේය. ලොකු දුව ලොකු මැණිකේය. බාල දුව බාල මැණිකේය. මෙලෙස කලු බණ්ඩා සහ සුදු බණ්ඩා නම් කෙරිණි. එසේ අර්ථය අනුව නම් තැබිණි. නවීන ලෝකයේදී මේ ක්‍රමය භාවිතා කෙරුණු අවස්ථා ඇත. රවිගේ දියණිය ඉන්ද්‍රචාපා විය. සූර්ය එළියක් වැස්සක් නිසා දේදුන්න හෙවත් ඉන්ද්‍රචාපය ඇතිවන නිසා එසේ නම් කෙරිණි. ඒ ආකාරයට අර්ථාන්විත නම් අතීතයේ වර්තමානයේ මෙන්ම අනාගතයේද යෙදෙනවා ඇත.

  1. කාලානුරූප වීම

අතීතයේ චූලෝදර පසුව පොඩි බණ්ඩා විය. උඩරට පොඩි අප්පුහාමි මැද රටදී පොඩි මහත්තයා විය. පහත රටදී පොඩි සිංඤෝ විය. පොඩි බණ්ඩාගේ සහෝදරිය පොඩි හාමිනේය. පොඩි හාමිනේ පහතරටදී පොඩි නෝනා විය.

  1. ප්‍රසන්න වීම

කාළකණ්ණි ජාතකයේ මහ රජුගේ හිතවතකු වූ කාළකණ්ණි නැමැත්තාට තම නම නිසා බොහෝ දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදුවිය. කට්ටහාරි ජාතකයේ කොසොල් රජුගේ පුතාට ශාක්‍ය නමක් වුවමනා වූ විට ඇසීමේ දෝෂයක් නිසා තබා ඇත්තේ විඩූඩබ යන නමයි. ගුත්තිල කාව්‍යයේ මූසිල යන නම ප්‍රසන්න නොවේ. අද්විතීය ගායකයකු වන ඇල්බට් පෙරේරා, අමරදේවයන් බවට පත්වූයේ එහි ප්‍රසන්නභාවය නිසාය. ජෝසප් පෙරේරා සුනිල් ශාන්ත බවටත්, ඉයුස්ටස් රෙජිනෝල්ඩ් ඩී සිල්වා එදිරිවීර සරච්චන්ද්‍ර බවටත්, ලුවී හැමිල්ටන් සාමි කීරෝ බවටත්, කෝමල වල්ලී ජයලලිතා බවටත් පත් වූයේ එම නම්වල ප්‍රසන්නභාවය නිසාමය. ආර්යසේන ආසුබෝධ එම අර්ථයෙන්ම හෙළයෙන් අරිසෙන් අහුබුදු වූයේද එලෙසමයි.

  1. අන්ධානුකරණය

වෙනත් ජාතියක් සතු අනර්ඝ නමක් තවත් භාෂාවකින් ගත්කල නමකට නුසුදුසු අර්ථයක් ගෙනදීමට ඉඩ තිබේ. පොක්ස්, වුල්ෆ් වැනි නාමයන් සිංහල අපට සුදුසු නැත. කලකට ඉහතදී “දිවංගත” යන නමින් කෑගල්ල ප්‍රදේශයේ පාසල් සිසුවකු විය. මෙම නාමය දැමීමට පාදක වූ කරුණු විමසීමේදී අනාවරණය වූයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ මරණය හා බැඳි සිදුවීමක් බවයි. එකල මුලු ලංකාවාසී සියල්ලෝම කම්පාවට පත්වූ මෙම මරණය සම්බන්ධයෙන් විවිධ පෝස්ටර් ජනමාධ්‍ය මගින් එළිදක්වා තිබිණි. දිවංගත බණ්ඩාරනායක මහතාට නිවන් සැප ලැබේවා යන මැයින් ද පෝස්ටරයක් විය. පෙර කී සිසුවාගේ පියා “දිවංගත” යන වචනය මීට පෙර අසා නොතිබිණි. ඔහු සිතුවේ “දිවංගත” යනු බණ්ඩාරනායක මහතාට අයත් මුල් නමේ “ඩී” අකුරෙන් හෙළිවන නම බවයි. මෙය හිතේ තබාගත් ඔහු පසු කලකදී තම පවුලේ බාල දරුවාට “දිවංගත” යන නම යෙදුවේය. කරුණු හරිහැටි වටහා නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි දෑ දැක්විය හැකිය.

  1. නමේ සුසංයෝගය උපහාසයට ලක්නොවීම

නමක් සාදන විට වාසගම් අනුව නම යොදන ආකාරය ගනැ ද කල්පනා කළ යුතුය. දසරු ඔමෙත් ගවේෂ පෙරේරා යන නම මුල් අකුරු සහිතව ලිව්වොත් ඩී. ඕ. ජී පෙරේරා හෙවත් ඩෝග් පෙරේරා වෙයි. බිපුල ආදිත්‍ය දිල්සර පෙරේරා යන නම මුල අකුරු සහිතව ලිව්වොත් බී. ඒ. ඩී. පෙරේරා හෙවත් බෑඩ් පෙරේරා වෙයි. මනුමිත අනුහස් දනුජ පෙරේරා නම මුල් අකුරු සහිතව ලිව්වොත් එම්. ඒ. ඩී. පෙරේරා හෙවත් මෑඩ් පෙරේරා වෙයි. මේ නම පසු කලකදී සමකාලීනයන් අතර උපහාසයට ලක්විය හැකියි. බලු පෙරේරා, නරක පෙරේරා, මෝඩ පෙරේරා වැනි නම් ආදේශ විය හැකිය.

නම් තැබීමේදී ඉහත කරුණු අවධානයට ගන්න.

ජ්‍යොතිෂය අනුව දවස් 7 ටද, ලග්න 12 ටද, එහි පාද අනුව ද අකුරු නියම කර තිබේ. එම අකුරු චත්‍රයන් නැකත අතිරේකයේ දෙවැනි පිටුවේ සඳහන් කර ඇත. එය උපයෝගී කර ගන්න. උපතකදී දවස අනුව ලැබෙන අකුර ද, ලග්න අනුව ලැබෙන අකුර ද, ගෙන එය උපන් නැකතට ගැළපෙනවා දැයි බලන්න. එසේ සපැමිණි අකුරක් ජන්ම, විපත්, ප්‍රත්‍යාරි, වද යන ගුණාත්මයට වැටේ නම් එම අකුරු නොගන්න. දරුවා උපන් නැකතට ක්‍ෂේම, සාධක, මෛත්‍රි, පරම මෛත්‍රි යන ගුණාත්මය ඇති ඕනෑම අකුරක් නමේ මුලට එන පරිදි දරුවාට නමක් තැබිය හැක.

ගණ විද්‍යාව අනුව සුබ ගණ 4ක් ද, අසුබ ගණ 4 ක්ද ඇත. භූමි ගණය, දේව ගණය, චන්ද්‍ර ගණය, ජල ගණය සුබයි. සූර්ය ගණය, අග්නි ගණය, ආකාශ ගණය අසුබයි.

භූමි ගණය යනු

ගුරු 03 ක් එකතුවීමෙන් සෑදන නමකි. හේමන්තා එවැනි නමකි. ලඝු 03 කින් දේව ගණය සෑදේ. විජය එවැනි නමකි. ගුරු 01 ක් සහ ලඝු 02 කින් චන්ද්‍ර ගණය සෑදේ. චන්දන එවැනි නමකි. ලඝු 01 ක් හා ගුරු 02 කින් ජල ගණය සෑදේ. සුජාතා එවැනි නමකි.

ලඝු 01 ක් හා ගුරු 01 ක්ද, නැවත ලඝු 01 ක්ද ගැනීමෙන් සූර්ය ගණය සෑදේ. උදාර එවැනි නමකි. ගුරු 01 ක්ද, ලඝු 01 ක්ද නැවත ගුරු 01 ක්ද යෙදීමෙන් අග්නි ගණය සෑදේ. ගීතිකා එවැනි නමකි. ලඝු 02 ක්ද ගුරු 01ක්ද යෙදීමෙන් වායු ගණය සෑදේ. හේමන්ත එවැනි නමකි.

පෞද්ගලික කේන්ද්‍ර අනුව අසුබ ගණ ද නාමකරණයට ගැළපේ. ධනු සහ කුම්භ යන ලග්න හිමියන්ට වායු ගණය ද, මකර සහ මීන ලග්න හිමියන්ට ආකශ ගණය ද, වෘශ්චික ලග්නයට සූර්ය ගණය ද අනුව නම් තැබීම සුදුසු බව ජ්‍යොතිෂයේ පැහැදිලිව දක්වා ඇත.

මා වටහාගෙන ඇති පරිදි සුබ ගණ බැලිය යුත්තේ පුද්ගලිකව නොව පොදු නාමයන් සඳහාය. ලංකාවේ පොදු නාමයන් යනු ජනමාධ්‍ය හා දේශපාලන පක්‍ෂවල නම්ය. ජනමාධ්‍ය ගැන බැලූ විට ජනතා සිතුවම්, යොවුන් ජනතා, කොළඹ යන පත්‍ර පාඩු නිසා මුද්‍රණයෙන් ඉවත්වී ඇත. ඒවා අසුබ ගණවලට අයත්ය. දේශපාලන පක්‍ෂ ගැන බැලූවිට මෙතෙක් බලයේ පැවැති හා පවතින සියලුම පක්‍ෂ සුබ ගණ වලට අයත්ය. තරමක් කතාබහට ලක්වන ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ අසුබ ගණයකි. එහි කථිකයන්ගේ කතා ජන්දදායකයන් ඇසුවත්, ඔල්වරසන් දුන්නත්, අත්පොළසන් දුන්නත්, විසිල් ගැහුවත්, මැතිවරණයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ වැටී ඇත. එසේ වීමට හේතු පසුකලකදී කොමිටියක් අනුව බැලුවත් නියම පිළිතුර ලැබුණේ නැත. මා දකින්නේ ඒ කොමිටියට අසු නොවුණු වායු ගණය සහිත පක්‍ෂයේ නම් මේ වින්නැහිය ඇතිකළ බවයි.

කාන්තාවන් සඳහා නම් තැබීමේදී සැලකිය යුතු කරුණු කිහිපයක් ගැන මනුස්මෘතිය නමැති ග්‍රන්ථයේ සඳහන් වේ. මනුස්මෘතිය ලියා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 200-300 අතරමැදි කාලය තුළයි. එහි සඳහන් ආකාරයට කාන්තාවන් සඳහා

  1. ග්‍රහ තාරකා වල නම්
  2. ගස්වල නම්
  3. ගංගා නදී සහ ජලය අඟවන නම්
  4. පක්‍ෂීන්ගේ නම්
  5. සර්පයන්ගේ නම්
  6. පර්වත වල නම්

මේවායින් නම් තැබීම සුදුසු නැත. එවැනි නම් ලෞකික දියුණුවට යහපත් නැත. නමුත් ප්‍රේමයේදී හා විවාහයේදී දෛවයේ සරදම් යෙදේ. ග්‍රහ තාරකාවන්ගේ නමක් යෙදුණු ‘මන්ද්‍රි’ දේවියට ද ගස්වල නමක් යෙදුණු “උදුම්බරා” දේවියට ද ජලය අඟවන නමක් යෙදුණු “සමුද්‍රා” දේවියට ද ප්‍රේමයේදී හා විවාහයේදී දෛවයේ සරදම් යෙදුණි. “මයුරි” වැනි පක්‍ෂීන්ගේ නම් ද “නාගිනා” වැනි සර්පයන්ගේ නම් ද ඇති අය ගැන විමසන්න.

නාමකරණයේදී තවත් සැලකිය යුතු වැදගත් කරුණක්

පයිතගරස් හඳුන්වා දී ඇත. පයිතගරස්ගේ අවසන් කාලය පිළිබඳව ප්‍රසිද්ධ පොත්පත්වල ලියැවී ඇත. ග්‍රීසියේ සිටි තරුණ පයිතගරස් බුදුදහම කෙරෙහි පැහැදී පසුකලකදී ‘පුන්න’ නමින් මහණ වූ බවට අප්‍රකට තොරතුරු ඇත. එකල ග්‍රීසිය හා අරාබිය හඳුන්වා ඇත්තේ මහා අපරන්ත දේශය” යනුවෙනි. මහා අපරන්ත දේශයේ “පුණ්ණ” යනු පයිතගරස්ය. බුදුන් වහන්සේ අවුරුදු 80 දී පිරිනිවන්පාන විට පයිතගරස් හෙවත් මහා අපරන්ත දේශයේ පුණ්ණ යනු පතිතගරස්ය. බුදුන් වහන්සේ අවුරුදු 80 දී පිරිනිවන්පාන විට පයිතගරස් හෙවත් මහා අපරන්ත දේශයේ පුණ්ණ තෙරුන් වහන්සේට අවුරුදු 48 ක් බව තවදුරටත් කරුණු හෙළි කරයි.

මෙකී විද්‍යාඥයා ඉංග්‍රීසි අක්‍ෂර වලට සංඛ්‍යා ආදේශ කර තිබේ. ඒ මෙසේය.

A B C D E F G H I J K L M
1 2 3 4 5 8 3 5 1 1 2 3 4
N O P Q R S T U V W X Y
5 7 8 1 2 3 4 6 6 6 5 1 7

ඉහත ආකාරයේ නමක් ඉංග්‍රීසියෙන් ලියූවිට එයට සුබ පයිතගරස් අංකයක් ලැබිය යුතුය. නාමකරණයේදී මේ ගැන ද බලන්න. “හේලි” නම කිහිප ආකාරයකින් ලිවීමට පුළුවන. තාරකා විද්‍යාඥයන් ‘හේලි’ නම ලියන්නේ Hely යනුවෙනි. ඉහත සඳහන් චක්‍රය අනුව එම නමට ගැළපෙන සංඛ්‍යාත්මක අංගය 14 වේ. ප්‍රසිද්ධ වෙළෙඳ ආයතනයක් තම “හේලි” නම ලියන්නේ Hayley යනුවෙනි. මෙහි පයිතගරස් අංකය 16 වේ. අසුබ අංකයකි. එම නමට S අකුර ආදේශ කර ලිවීමේදී S අකුරට අංක 03 එකතුවේ. එවිට එහි අගය 16+3=19 වේ. එය ඉතාම සුබ අංකයකි. වෙළෙඳ ආයතනය ‘Hayley’ නම ‘Hayleys’ යනුවෙන් නම්කර ඇත. මේ නම පයිතගරස් විද්‍යාවට අනුකූල වේ. එම විද්‍යාව අනුව,

සුබ අංක මෙසේය.

03, 05, 06, 09, 10, 14, 15, 17, 19, 21, 23, 24, 25, 27, 30, 31, 32, 33, 36, 37, 42, 45, 46, 47, 49, 50

අසුබ අංක මෙසේය.

04, 08, 11, 12, 13, 16, 18, 20, 22, 26, 28, 29, 34, 38, 39, 43, 44, 48

මිශ්‍ර අංක මෙසේය.

07, 35, 40, 41

මා ඉහතින් විස්තර කළ මනුස්මෘතියේ සඳහන් කරුණු වලට සමාන දේශනයක් ඇසීමට අවස්ථාව මට ලැබුණි. ආයුර්වේද වෛi විද්‍යාවේදී කථිකාචාර්ය මහතෙකු විසින් පවත්වන ලද එම දේශනයේදී නාමකරණයේදී කාන්තාවන් සඳහා නොගත යුතු නම් වර්ග 09 ක් ගැන කියැවුණි. උපුටා ගැනීම කුමන පොතකින්දැයි නොදනිමි.

  1. දේවතා නාම
  2. භුජංග හෙවත් සර්ප නාම
  3. නදී හෙවත් ජල නාම
  4. පර්වත නාම
  5. වෘක්‍ෂ නාම
  6. පක්‍ෂි නාම
  7. නක්‍ෂ්ත්‍ර නාම
  8. හීන කුල නාම
  9. ගිෂරා හෙවත් බය හිතෙන නාම

එබැවින් ඔබේ දරුවාට නම තබන විට මේ සියලු කරුණු අවධානයට ගන්න.

හේළි සරත් රාජකරුණා,
විද්‍යා ජ්‍යොතිෂ,
දලුග්ගල, රඹුක්කන.
දුරකථන 035-2262837

advertistmentadvertistment
advertistmentadvertistment