එදා පිරිත් නූල අද පිරිත් කඹයක් ?

296

පොට ගණන වැඩිවන විට එහි බලය, ගුණය, ආනුභාවය ඉහළ නැංවෙන බවක් බුදු දහමේ, නූතන ජනප්‍රිය බුද්ධාගමෙහි තබා ජන සංස්කෘතියේ හතර මායිමකවත් නැත.

පසුගිය දිනයෙක අප රටේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයකු ගේ කතාවක් රූපවාහිනියෙන් විකාශනය වනු දුටු මගේ මිතුරෙක් අපූරු කතාවක් කීය. එනම් ඔහුගේ දකුණත දකින විට සිරිපා ගමන් මඟේ ගෙත්තම් පාන තම සිහියට නැංවෙන බවකි. ගෙත්තම් පාන හෙවත් ඉඳිකටු පාන යනු ශ්‍රීපාද වන්දනා මාර්ගයේ පිහිටි වන්දනාකරුවන් තමන් විසින් ගෙන යනු ලබන නූල්, ඉඳිකටු හෙළන ස්ථානයකි. එනිසා සිරි පා වන්දනා සමයට එම ස්ථානය නූල්වලින් ආකූල ව්‍යාකූලව ඇති බවක් දක්නට පුළුවන. මගේ මිතුරා ඉහත සඳහන් දේශපාලනඥයාගේ දකුණත ගෙත්තම්පානට උපමා කොට දැක්වූයේ එය ද එපරිද්දෙන්ම පිරිත් නූල්වලින් ආකූල ව්‍යාකූල වී තිබීම නිසාය. පිරිත් නූල යනු ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතියට අරුම හෝ ආගන්තුක දෙයක් නොවේ. ගම්බද නාගරික, බාල, තරුණ, මහළු, උගත් නූගත් ආදී භේදවලින් තොර ඕනෑම අයකුගේ සුරතේ පිරිත් නූලක් බැඳ තිබෙනු දැකීම ඉතා සාමාන්‍ය සුලබ දෙයකි. අතීතයේ කාන්තාවන් වෙතින් මෙම පිරිත් නූල දැකිය හැකි වූයේ ගෙළ පළඳනාවක් ලෙසිනි.

එහෙත්, එදා සමාජයේ පැවැති පිරිත් නූල මේ වන විට පිරිත් කඹයක් දක්වා විපරිනාමය වී ඇති බවක් පෙනේ. එහෙත් එහි ද විශේෂත්වයක් තිබේ. එනම් මෙම පිරිත් කඹ බැඳීම සමාජයේ සෑම තරාතිරමකම කෙනකු වෙතින්ම දක්නට නොලැබීම ය. ඒ අනුව මෙම පිරිත් කඹය ප්‍රභූත්වය නැතහොත් මහේශාඛ්‍ය බව පළ කරන සමාජ විලාසිතාවක් සේ ද හඳුනා ගන්නට අපට පුළුවන.

● ආරක්ෂක පළඳනා (Amulet)

“ඔය මිනිස්සු ඔහොම අතේ පිරිත් නූල් පුරවාගෙන ඉන්න පැහැදිලි හේතුවක් තියනවා. මොකද? සාමාන්‍ය මනුස්සයෙක් වගේ තුන් පොටක පිරිත් නූලක් බැන්දම ඒක දුරට පේන්නේ නෑනේ. දැන් ඔය මනුස්සයා ස්ටේජ් එකට නැගලා කතා කරන කොට ඔය පිරිත් නූල් පොදියත් ඈතම ඉන්න අයට වුණත් පේනවනේ. එතකොට අම්මෝ මේ මනුස්සයගෙත් බෞද්ධ කම උතුරනවනේ. පේන්නේ නැද්ද? අතේ තියන පිරිත් නූල් කන්දරාවම කියලා ඒ බලාගෙන ඉන්න අයත් හිතයි කියලා ඔය මනුස්සයා හිතනවා ඇති” මගේ මිතුරා ඒ සමඟම කීය.

බුදු සමයට අනුව පිරිත් නූල් වශයෙන් හැඳින්වෙන මෙම පළඳනා සමාජ විද්‍යාත්මක ලෙස හැඳින්විය හැක්කේ ආරක්ෂක පළඳනා ( Amulet) ලෙසිනි. කිනම් හෝ ගුප්ත බලයක් විසින් තමන්ට ආරක්ෂාවක් රැකවරණයක් ලබා දෙන අතරේ තමන් වෙත වාසනාව ද උදා කරතැයි යන විශ්වාසය මත බොහෝ දෙනෙක් මේවා පළඳිති. එහෙත්, යුරෝපා, ඇමරිකා, ඔස්ට්‍රේලියා යන මහාද්වීපවලට සාපේක්ෂව ආසියා සහ අප්‍රිකා මහාද්වීපවල වෙසෙන ජනතාව මෙවන් ගුප්ත විශ්වාස මත පදනම් වන ආරක්ෂක පළඳනා කෙරෙහි වැඩි නැඹුරුවක් පළ කරන බව ප්‍රකට කරුණකි. නමුදු මේවා පිළිබඳව මානව විද්‍යාත්මකව සිදුකරනු ලබන විමසුම්වලදී තහවුරු වනුයේ මෙම ගුප්ත විශ්වාස ලොව ආගම් ආරම්භ වීමටත් පෙර සිටම මිනිස් සිත් සතන් තුළ පැවැති බවකි. එමෙන්ම ඒවා මගින් ලොව මූලික ආගම් සඳහා අවශ්‍ය සමාජ මනෝවිද්‍යාත්මක පසුතලය නිර්මාණය වූ බව ද මානව විද්‍යාත්මකව පිළිගැනීමට ලක්ව තිබේ.

● තිස් පැයේ පිරිත

මේ අතරේ අප ජන සංස්කෘතියේ එන පිරිත් නූලට සමාන නූල් වශයෙන් භාවිතා කරන ආරක්ෂක පළඳනා (Thread amulet) ද තිබේ. ඒ අනුව මෙම පිරිත් නූල හා මූලික බුදු සමය ඇති සම්බන්ධය ද විමසා බලනු වටී.

පිරිත යනු ශ්‍රී ලාංකික බෞද්ධ ජන සමාජයට කිසිසේත් නුහුරු, ආගන්තුක දෙයක් නොවේ. තිස් පැයේ පිරිත්, තුන් තිස් පැයේ පිරිත්, සති පිරිත්, වරු පිරිත්, සෙත් පිරිත් ආදී වශයෙන් මෙම පිරිත් විවිධාකාර ය. නූතන සමාජයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා නමින් ජනප්‍රිය පිරිත් විශේෂය සාම්ප්‍රදායිකව හැඳින්වෙනුයේ ‘තිස් පැයේ පිරිත’ යනුවෙනි. සිංහල පැය ක්‍රමය අනුව දවසක් පැය හැටකින් යුතු වීම ඊට හේතුව ය.

භික්ෂුන් මෙම පිරිත් නූල් ගැට ගසන එක්තරා ක්‍රමවේදයක් ද තිබේ. එනම් පිරිත් කරන ලද නූල් පන්දුවෙන් අඩි දෙක තුනක් දිග නූල් කැබැල්ලක් කඩා ගෙන එය තුන් පටක් වශයෙන් සකසා ගැනීමෙනි. මෙම තුන් පොට සහිත නූලක් පැළඳවීම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සංකේතනය කරවන්නක් බවට විශ්වාසයක් අපගේ පැරණි ජන සමාජයේ විය. නමුත් අද බොහෝ දෙනකු මෙම පිරිත් නූලේ තුන් පොටේ කතාව වත් නොදන්නා බවක් පෙනෙයි. මෙම ක්‍රියාව හඳුන්වනුයේ “තුන් නූල් කිරීම” යනුවෙනි. නමුදු මෙසේ නූල් පන්දුවෙන් වෙන් කර ගනු ලබන කොටස අඩි තුන හතරක් දිගට ඇදගත හැකි නම් පළමුව එය තුන් පටක් කොට යළි එය ද දෙකට නවා සය පටක් ලෙස යමකුගේ සුරතේ බඳින්නට පුළුවන. මේ ආකාරයට එය යළි නවා දොළොස් පටක් කිරීමට නම් සැලකිය යුතු දිගකින් යුතු නූල් කොටසක් ඒ සඳහා භාවිත කළ යුතු ය. එහෙත්, පොට ගණන වැඩිවන විට එහි බලය, ගුණය, ආනුභාවය ඉහළ නැංවෙන බවක් බුදු දහමේ, නූතන ජනප්‍රිය බුද්ධාගමෙහි තබා ජන සංස්කෘතියේ හතර මායිමකවත් නැත.

බෞද්ධ සූත්‍ර පිටකයේ සූත්‍ර දහ නව දහස් ගණනක් තිබේ. ඒ අතරින් පිරිත් වශයෙන් දේශනා කළ බව පැවසෙන එකම සූත්‍රයක් වත් නැත. අඩුම තරමින් මූලික බුදු දහමෙහි පිරිත් යන අරුත පළවන ‘පරිත්ත’ යන වදනවත් නැත. ඒ වදන මුල් වරට අපට හමුවනුයේ පසුකාලීනව ලියැවුණු සූත්‍ර අටුවාවලිනි.

සූත්‍ර පිටකයට අයත් ඛුද්දක නිකායේ, සුත්ත නිපාතයේ චුල්ල වග්ගයේ එන රතන සූත්‍රය එවන් පිරිත් දේශනාවක් බවට අප ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජය තුළ සුවිසල් පිළිගැනීමක් තිබේ. එනමුදු බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා 25 දරන වෙලුමේ 68 . 73 පිටු මගින් රතන සූත්‍රය එහි නිධාන කතාව ද සමඟ කියැවිය හැකි අතර එහි ‘පිරිත් කතාවක්’ ඇත්තේම නැත. රතන සූත්‍රය පිරිතක් බව පැවසෙනුයේ සුත්ත නිපාත අටුවාව වැනි පසුකාලීන ලේඛනයන්හි ය.

පිරිත් දේශනාවන් හැඳින්වීම පිණිස යෙදෙන මෙම ‘පරිත්‍රාණ’ යන වදන සංස්කෘත සහ මරාති යන භාෂාවල ද එලෙසින්ම දක්නට ලැබේ. ඒවායේ පොදු අරුත ‘ආරක්ෂාව’ යනුවෙනි. ඒ අනුව බෞද්ධ සූත්‍රවලින් තෝරාගත් කොටසක් පසුකාලීනව පිරිත් වශයෙන් භාවිත වන්නට ඇත. ‘පරිසමන්ත තායස්සු රක්ඛත ති පරිත්තං’ යනු අටුවාව මගින් පිරිත විස්තර කොට ඇති අන්දම ය. ‘හාත්පස උවදුරුවලින් වලකාලන්නේ යමක් විසින් වේද, ඒ පිරිත් නම් වේ.’ යනු එහි සිංහල අදහස ය.

අසව්! ධාරණය කර ගනිව්!. (ඒ අනුව) හැසිරෙව්

ශ්‍රී ලාංකිකයන් අතරේ බුදුසසුන ව්‍යාප්ත වූ මුල් සමයේම ඔවුන් තම ලෞකිකත්වය මත පදනම් කරගත් ශාන්තිකර්ම අවශ්‍යතාව සපුරා ගනු පිණිස සූත්‍ර පිටකයේ සූත්‍ර ධර්මවලින් කොටසක් එක්තරා සංඛ්‍යාන ක්‍රමයකට අනුව චතු භාණවර පාලි හෙවත් සතර බණවර වශයෙන් වෙන් කොට ගත් බව පෙනේ. වසර සිය ගණනක් තිස්සේ ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයේ ශාන්තිකර්ම අවශ්‍යතා සපුරන ‘පිරුවානා පොත් වහන්සේ’ ජනතාව අතර ව්‍යාප්ත වනුයේ ඒ පසුබිම යටතේ ය. මූලික බුද්ධ දේශනා අඩංගු ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව පවා ‘වහන්සේ’ යන ගෞරවාන්විත නාමයෙන් නොහඳුන්වන ශ්‍රී ලාංකීය බෞද්ධයන් පිරිත් පොත එලෙස “වහන්සේ” යනුවෙන් හඳුන්වා ඇත්තේ ගෞරවාදරය, පක්ෂපාතීත්වය මත පදනම් වූ විශේෂ භක්තියක් ඒ සඳහා තිබූ බැවින් විය යුතු ය. පරිවහන හෙවත් කට පාඩම් කිරීම යන අදහස ගෙන දෙන බැවින් මීට ‘පිරුවානා’ යන නම ලැබී තිබේ. භික්ෂුන් සඳහා වන අධ්‍යාපන ආයතන හැඳින්වීම පිණිස ‘පිරුවන’ යන වදන භාවිත වන්නේ ද මෙම මූලය අනුව බව පෙනේ.

චිත්ත දමනය මුල් කොට ගත් සදාචාර පද්ධතියක් හඳුන්වා දී ඇති ආචාර විද්‍යාත්මක දර්ශනයක් වන මූලික බුදු දහමේ යමක් ශ්‍රවණය කිරීමෙන් පමණක් යම් පිහිටක්, ඉෂ්ටාර්ථ සිද්ධියක් සැලසෙන බව සඳහන්ව නැත. බුදු දහමෙහි ඉගැන්වෙන අන්දමට යමකුට ධර්මයෙන් පිහිටක් ලබා ගත හැක්කේ එය ඇසීමෙන්, ධාරණය කිරීමෙන් හා ඒ අනුව හැසිරීමෙනි. (සුනා ථ ධාරේ ථ චරා ථ ධම්මේ) යනුවෙන් එහි දී බුදුන් විසින් කොට ඇත්තේ සෘජු අණ කිරීමකි. මක් නිසාද යත් ඉහත සඳහන් පාලි වැකියේ සිංහල අරුත ‘අසව්! ධාරණය කර ගනිව්!. (ඒ අනුව) හැසිරෙව්’ බැවිනි.

එහෙත්, බුදුන් හැඳින්වීම පිණිස කට පුරා ‘බුදුරජාණන් වහන්සේ’ යැයි පවසන අපගේ බෞද්ධයෝ බුදුරජාණන් වහන්සේ නිකුත් කොට ඇති එවන් ‘රාජාඥාවන්’ තුට්ටුවකට වත් මායිම් නොකරන අවස්ථා බොහෝ ය. අඩුම තරමින් මෙම ‘බුදුන්ගේ අණ’ යන ශාසනික අර්ථ නිරූපණයක් සහිත වදන භික්ෂුවකගේ මුවින් නිකුත් වනු මට නම් අහම්බෙන්වත් ඇසී නැත. නමුදු බලි, තොවිල්, ශාන්ති කර්ම සිදුකරන ඇදුරන් නම් මෙම ‘බුදුන්ගේ අණ’ යන වදන පවසනු මා සිය දහස් වරක් අසා තිබේ.

ශ්‍රී ලාංකීය ජන සමාජයේ පිරිත් නූල ව්‍යාප්ත වන්නට ඇත්තේ හින්දු, වෛදික ආභාසයෙනි. එම සංස්කෘතියට අනුව හින්දු පුරාණෝක්තිවල පැවසෙන මිථ්‍යා සංකල්ප පදනම් කොට ගත් රතු සහ කහ නූල් පැළඳීමක් සිදුකෙරේ. හින්දි බසින් මේවා කෞතුක්, කෝතුක් යනුවෙන් හැඳින්වේ. මෙම වදනෙහි අරුත විස්මිත, ආශ්චර්යමත් යන්නය. නූල් වශයෙන් සහ ආරක්ෂක පළඳනා වශයෙන් සකස් කොට ඇති මේවා බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ අත්වල ද තිබෙනු මා දැක තිබේ.

තත්ත්වය මෙසේ තිබිය දී තුන් පටකින් යුතු නූලක් විය යුතු පිරිත් නූල ඇතැමුන්ගේ සුරත්වල කඹ ලෙස දැකිය හැක්කේ කවර කරුණු පදනම් ව දැයි මම නොයෙක් වර සිතා ඇත්තෙමි. මූලික වශයෙන් ඉන් හැඟී යන්නේ ඒ තැනැත්තා නිතර නිතර භික්ෂූන් විශාල සංඛ්‍යාවක් බැහැදැක ආශීර්වාද ලබා ගෙන ඇති තැනැත්තෙකු බව ය. නමුදු අපගේ ජන සම්මතයට අනුව පිරිත් නූලක බලය රඳා පවතිනුයේ තුන් වරුවකි. මෙහි ‘වරුව’ යනු කාර්යාල ජීවිතයේ වරුව නොවන දවසේ පැය දොළහක කාලයකි. අපගේ ජන සම්මතය අනුව පිරිත් නූලක වලංගු කාලය පැය තිස් හයකි. ඒ අනුව එම පිරිත් නූල් ප්‍රමාණය අනුව අපට වැටහී යනුයේ මෙම පිරිත් කඹ දරන මහේශාඛ්‍ය ප්‍රභූන්ට භික්ෂූන් බැහැදැකීම හැරුණු කොට අන් කිසි දෙයකට කාල වේලාවක් නොමැති බවකි. නව ලිබරල්වාදය න්‍යායාත්මකව පිළිනොගන්නා නමුත් එහි ප්‍රධාන පුරුෂාර්ථයක් වන ජනකාන්තවාදය ඉස් මුදුනින් පිළිගන්නා ඇතැම් දේශපාලනඥයන්ගේ අත්වල ඇති පිරිත් කඹ ගලවා එහි ඇති තුන් නූල් ගණන පරීක්ෂා කිරීමෙන් වුව ඔහු ගත වූ පැය තිස් හය තුළ බැහැ දැක ආශීර්වාද ලබා ගත් භික්ෂුන්ගේ ගණන දැන ගත හැකිව තිබිණ. ඇතැම් විට එම ගණනයට අනුව එම භික්ෂූන්ගේ සංඛ්‍යාව සිය ගණනක් වීමට ද පුළුවන. ඒ අනුව ඔවුන්ගේ මෙම පිරිත් නූල් භාවිතය මුල් කොට විධිමත් විමසුමක් කළ හොත් ඉන් අපට ඉතා පැහැදිලිව කිව හැක්කේ මේවා ද අහිංසක ජනතාව මුලා කිරීම පිණිස ඔවුන් විසින් යොදනු ලබන අනේකවිධ උප්පරවැට්ටිවල තවත් එක් අංගයක් පමණක් බවය. ඒ කෙසේ වුව යමෙකු තම ආගමික භක්තිය, විශ්වාසය පෙරදැරිව සාම්ප්‍රදායික පිරිත් නූලක් සුරතේ බැඳගැනීම පිළිබඳ කිසිදු විවේචනයක් මෙහිදී එල්ල නොවන බව ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

තිලක් සේනාසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment