වරකාපොල ෂෙඩ් එකෙදී හමුදා නිලධාරියෙක්  පොලිස් නිලධාරියාට පහරදීලා

249

වරකාපොල දුම්මලදෙනිය ඉන්ධන පිරවුම්හලේ ආරක්‍ෂාවට යොදවා සිටි හමුදා ලුතිනන්වරයකු විසින් එහි රාජකාරියේ නිරතව සිටි රථවාහන පොලිස් නිලධාරියකුට පෙරේදා (22 දා) රාත්‍රි පහරදී ඇති අතර පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබේ.

මෙහිදී පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා සිය රාජකාරි පිස්තෝලයද එළියට ගැනීමට ක්‍රියාකරන අයුරුද කැමරාවේ සටහන් වී ඇත. එහිදී ඉන්ධනහලේ ආරක්‍ෂාවට යොදවා සිටි තවත් හමුදා නිලධාරියෙක් සිය ලුතිනන්වරයාට ආරක්‍ෂාව සලසා දෙමින් කටයුතු කළ අතර ගිනිඅවිය පත්තු වූයේ නම් විශාල විනාශයක් සිදුවීමට ඉඩ තිබුණු බව එහි සිටි පිරිස් සඳහන් කළහ. මෙම පහරදීම සීසීටීවී කැමරාවේ සටහන්වී තිබිණි.

හමුදා නිලධාරිවරයාට පොලිස් නිලධාරියා යම් දෙයක් ප්‍රකාශ කිරීමෙන් පසු මෙම පහරදීම සිදුවන අතර එහි සිටි තරුණ පිරිසක් හා තවත් රථ වාහන පොලිස් නිලධාරියකු මැදිහත්වී ගුටිබැට හුවමාරුව නතර කර දමන අයුරුද කැමරාවේ සටහන්වී තිබිණි.

පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා වරකාපොල පොලිසියට අනුයුක්තව සේවය කරන අතර ඔහු ප්‍රතිකාර සඳහා වරකාපොල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ගැටුමට සම්බන්ධ හමුදා ලුතිනන්වරයා අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය පිළිබඳ පොලිසිය හා හමුදාව වෙන වෙනම විමර්ශන ආරම්භ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment