ඒක ආත්මය දෙදරා ගිය කම්පනයක් – පියාගේ වියෝව ගැන දියණිය කියන කතාව

287

අප්පච්චිට, අපට සිදු වුණ හැමදේම ළඟදීම කියනවා…

වේදිකාවත්, සිනමාවත්, පුංචි තිරයත් දිග්විජය කළ ජැක්සන් ඇන්තනී, මෙරට කලා කෙත පෝෂණය කළ ප්‍රතිභාපූර්ණ රංගධරයෙක්, ගේය පද රචකයෙක්, අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක්, ගුරුවරයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක්, ඉතිහාස විශ්ලේෂකයෙක්, පරිසර ගවේෂකයෙක් මෙන්ම විශිෂ්ට මාධ්‍යවේදියකුද විය. සම්මාන පිට සම්මානයන්ට පාත්‍ර වූ මේ අසහාය රංගධරයාණන්ගේ නික්මයෑම අප රටට, කලාවට පිරවිය නොහැකි පාඩුවක් වුවද ඔහුගේ මතක අප සිත් සතන් තුළින් කිසිදා නික්ම නොයනු ඇත. ජැක්සන් ඇන්තනී යන නාමය සදා අමරණීයය. මේ ආදරණීය, උතුම් ගති පැවතුම් ඇති රංගධරයාණන් තම ප්‍රාණය හා සමානව ආදරය කළ, තම එකම දියණිය වන මාධවී ඇන්තනී තම ආදරණීය අප්පච්චිගේ වෙන්වයෑම පිළිබඳව “මීවිත” අපත් සමඟින් සෝ සුසුම් හෙළුවේ මෙලෙසිනි.

ඒක ආත්මය දෙදරා ගිය කම්පනයක් - පියාගේ වියෝව ගැන දියණිය කියන කතාව

ජැක්සන් ඇන්තනි සහ මාධවී ඇන්තනී කියන, තාත්තා සහ දුව අතර තිබුණු ඒ සහජීවනය ගැන කතා කළොත්?

‘මට තාත්තෙක් නෑනේ. මට ඉන්නෙ අප්පච්චි කෙනෙක්’ ඉස්සර තාත්තා ගැන ඇහුවම මම උත්තර දුන්නෙ එහෙමයි. අප්පච්චි කියන්නෙ මං මේ ලෝකෙ ආසම කෙනා. ඒ එයා මගෙ නිසා විතරක් නෙවෙයි. එයා මට හරි ළඟයි. අප්පච්චි හරි සුවඳයි. ඒ තමයි මේ ලෝකෙ මම ආසම ‘අප්පච්චි සුවඳ’. පුංචි කාලෙ අප්පච්චි මහන්සි වෙලා වැඩ කරලා ඇවිත් බිම වැටිලා ඉන්නකොට මම අප්පච්චිගෙ පිට උඩ නැගලා සුවඳ ඉඹිමින් ඉන්නවලු. ‘දාඩිය පුතා’ කියද්දි මම කියනවලු ‘ම්ම්ම්.. ඒ තමයි අප්පච්චි සුවඳ’ කියලා. මට අප්පච්චි දුව කිව්වෙ මට තරවටු කරන වෙලාවට. අනික් හැම වෙලේම එයා මට කිව්වෙ ‘පුතා’. මං අවුරුදු 16 වගේ වෙනකන්ම අප්පච්චිගෙ ඔඩොක්කුවට පැනලා හුරතල් වෙවී ඉන්නෙ. මම විභාග පාස් කළේ, ලස්සනට සිංදුවක් කිව්වෙ අප්පච්චිගෙන් හොඳ අහගන්න. ඉතිං ඒ යෙදුම හරි. සහජීවනය. මොකද අපිට අපි නැතුව බෑ!

ඒක ආත්මය දෙදරා ගිය කම්පනයක් - පියාගේ වියෝව ගැන දියණිය කියන කතාව

ජැක්සන් ඇන්තනී ඔබේ පියා වීම මොනතරම් වාසනාවක් විදියට ද දකින්නේ?

ඒක ඉතාම දුර්ලභ වාසනාවක්. අප්පච්චි හදපු පවුලේ එකම දියණිය වීමත්, ඒ පවුලේ වැඩිමල් දරුවා වීමත් තවත් සුවිශේෂී වුණා. අප්පච්චි හැදුණු පවුලත්, කොල්ලො පස් දෙනෙක් හිටපු නිසාත් පරම්පරා දෙකකටම උපන් පළමු කෙල්ල වීමත්, මම අප්පච්චි වගේ යුගපුරුෂයකුගෙත් අම්මා වගේ දක්ෂ සුන්දරියකගේ පෙම් කතාවෙ ප්‍රතිඵලයක් වීමත් මට මහඟු වාසනාවක් ගෙනාවා. ඒ අප්පච්චි, අම්මා නිසා මට හුඟක් තලෙන්තු ලැබුණා.

ඒක ආත්මය දෙදරා ගිය කම්පනයක් - පියාගේ වියෝව ගැන දියණිය කියන කතාව

අප්පච්චි අසනීප වෙලා රෝහලට ගෙනියන අවස්ථාවේ, ඒ හැඟීම මොන විදිහටද දැණුනේ?

මට ඒ ආරංචිය ලැබෙනකොට මම හිටියෙ කඩවත මහගෙදර.

අම්මා අඬමින් මට විස්තරේ කියද්දිත් අප්පච්චි අනතුරකට පත් වෙලා කියලා මට ආරංචි වෙලා තිබුණේ. ඒත් මම ඒක ඒ තරම් බරපතළ දෙයක් කියලා හීනෙකින් වත් හිතුවේ නෑ. අහිංසක මගෙ අප්පච්චිට එහෙම වෙයි කියලා මම ඇදහුවේ නෑ. අප්පච්චිව එක දවසක් හෝ මුණගැහුණු කෙනෙක් අප්පච්චිට ආදරේ නොවී තියෙන්නෙ නෑ. පෙනුමින් ප්‍රතාපවත් වගේම දැනුමෙන් මනා පෞරුෂයක් තියෙන කෙනෙක් වුණාට අප්පච්චි හරිම සානුකම්පිත, ළපටි හිතක් තියෙන පොඩ්ඩ බැරි වෙන්න බෑ කඳුළු උණන, අහිංසක කෙනෙක්.

ඔහු රංගනයෙන් දායක වුණු කලා නිර්මාණ තවත් එන්නට තියෙනවා. ඒ ගැන කතා කළොත්?

ඔව්, ඒ නිර්මාණ අතර “සීරුවෙන්” චිත්‍රපටය, ඉන්දියානු “ලක්නව්” චිත්‍රපටයට අමතරව අප්පච්චිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ “එකගෙයි සොකරි” සහ “දේවී සම්බුලා” චිත්‍රපටයත් තියෙනවා.

ජැක්සන් ඇන්තනී යන නාමයේ අඩුව පුරවන්නට මල්ලිලා දෙන්නාට පුළුවන් වෙයි කියලා හිතනවද?

ඒක නිකං වතුරවල අඩුව පුරවන්න පොල් තෙල් වලට හෝ සුවඳ විලවුන් වලට පුළුවන් වෙයිද කියලා ඇහුවා වගේ. මේ හැම දෙයක්ම තමුන්ට ආවේණික ආරයකට විශේෂයි. හැමෝගෙම අරමුණ වෙනස්. හැම කෙනෙක්ම ඔරිජිනල්. කාටවත් කාවවත් වෙන්න බෑ. හැමෝටම තමුන්ගේම අගයක් තියෙනවා.

රටම ආදරය කළ ආදරණීය පවුලක් විදිහට මේ වෙලාවේ ගෙදර මොනවගේ පාළුවක්ද ඇත්තටම දැනෙන්නේ?

ගෙයි පහන නෑ දැන්.

අප්පච්චි පුංචි කාලේ ඔයාලව බලා ගත්ත විදියත් මතක් කළොත්?

අප්පච්චිත් අපේ වයසට ඇවිල්ලා, අපිත් එක්ක සෙල්ලම් කරලා, කතන්දර කියලා දීලා, අපි තරුණ වයසට එනකොට කොයි වෙලෙත් එයාගේ වැඩ ගැන එයාගෙ දර්ශනය ගැන පාඩම් කියාදෙමින්, වයස නොබලාම ආදරේ කරමින්, තෑගි බෝග දෙමින්, රසමසවුළු ගෙනත් දෙමින්, අපිට අපේ ගමන යන්න උදව් කළා.

තම ආදරණීය අප්පච්චි අහිමිවීම, මාධවීට මොනතරම් කම්පනයක් ගෙනදුන්නාද?

ඒක ආත්මය දෙදරා ගිය කම්පනයක්.

අප්පච්චි රෝහල්ගතව ප්‍රතිකාර ලබන තුරුම අද හෝ හෙට සුවපත් වෙයි කියලා බලන් හිඳීමත්, හදිසියේම ඔහුගේ නික්මයෑමත් ඔබ දරා ගන්නේ කොහොමද?

දරාගත්තා නෙවෙයි, මං මාව ආත්මීයව නිර්වින්දනය කරගත්තා. මොකද අප්පච්චි මුහුණ දුන් මුල් අවාසනාවන්ත සිදුවීමත්, රෝහලේදී ගත් ඇතැම් ජීවක තීරණ ගණනාවක් ප්‍රශ්නකාරී ලෙස අවසානයේදී මගේ අප්පච්චිගෙ හුස්ම හිර කිරීමත්, සමාජ මාධ්‍ය සහ ඊර්ෂ්‍යායාකාරී, අවස්ථාවාදී, කෲර, මජර දේශපාලනික මුරුගයින් මගේ පියාගේ වේදනාව වාසියට ගෙන අමූලික බොරු ප්‍රචාර කරමින් ඔහු ගැනත්, අපි ගැනත් අශෝභන චිත්‍රයක් මවා පෙන්වීම වැනි දේවල් එක්ක ‘ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වාගේ’ වෙච්ච අපි කොහොම දරාගන්නද? දරාගන්න බෑ. උරාගන්නවා දුක.

ඇන්තනී පවුල වෙනුවෙන් අවසන් වරට ඔබට කියන්න දෙයක් ඇති?

විශේෂයෙන් මතක් කරන්න ඕනෑ අප්පච්චි කලකිරෙනකොට විහිළුවක් කරලා එයාගේ හිත හදපු, සතුටින් ඉද්දි එයත් එක්ක විහිළු කරලා ‘පුතා’ විරුධාවලිය දිනාගත් රෝහලේ හෙද කාර්යමණ්ඩලය සහ සාත්තු සේවක මහත්ම මහත්මීන් මගේ අප්පච්චිව බබෙක් වගේ බලාගත්තාට බොහෝ පිං. අප්පච්චිගෙ වියෝවෙන් පස්සෙ ඒ කටයුතු කරට අරන් වැඩ කරපු හැමෝටම ස්තූතියි. අප්පච්චිට ගෞරව දක්වන්න ආපු හැමෝටම ස්තූතියි. අප්පච්චි 2022 ජූලි 18 මොළයට හානි වූ සිද්ධියට පෙර 02 වැනිදා පළමු අනතුරින් පසු හොඳින් කතා කරමින් ඉද්දි නිතරම ඇහුවා ‘කෝ මගෙ ෆෝන් එක?, මට පෙන්නන්නකෝ පුතා. හැමෝම මට බනිනවද?’ කියලා. මොකද ඒ කාලේ අපේ ඇතැම් සහෝදර කලා ශිල්පීන් පවා ‘අලියාට ඉක්මන් සුව’ වගේ උපහාසාත්මක රිදවුම් ගුවන්ගත කරලා තිබුණා. ඒත් අප්පච්චි ඇස් පියාගත්තට පස්සෙ එයාලත්, අප්පච්චිගෙ රිදුම් බඩගෝස්තරේට ගත්තු social media දුශ්ටයෝ පවා අප්පච්චිගෙ ගුණ කිව්වා. ලිව්වා. අප්පච්චි ආදරේට කෑදර කෙනෙක්. එයා විශ්වාස කළා එයා මේ රටට ආදරේ නිසා මේ රටේ කවුරුත් එයාට වරදක් නොකරයි කියලා. අප්පච්චි කිව්වෙ ‘මල් රැගෙන එන්න මා ජීවත්ව සිටියදී’ කියලයි. අපි අන්ත අසරණව හිටිය කාලයක් ගෙවිලා ගියා. ඒ එක්කම අපට තිබුණු එකම එළිය නිවිලා ගියා. අප්පච්චිට, අපට වෙච්ච හැමදේම ගැන මගේ අවංක අත්දැකීම් ළඟදීම මම හැමෝටම කියනවා. මොකද දැන් අපට අහිමි වෙන්න ඊට වඩා වටින යමක් ඉතිරි වෙලා නෑ.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment