ඔන්ලයින් ගිනි පොලීකාරයන්ගෙන් ජනතාවට අපහාස හා තර්ජන – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

85

විවිධ විදේශීය කූට ව්‍යාපාරිකයන් විදේශයේ සිට සහ ලංකාවට පැමිණ මාර්ගගත ණය ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ගිනි පොලියක් අය කර සිටින බවත් මෙහි දී ඇපය ලෙස පුද්ගලයන්ගේ ඡායාරූප, පවුලේ ඡායාරූප ලබා ගන්නා බවත් දවසක් හෝ දෙකක් ණය නොගෙවන්නේ නම් සමාජ මාධ්‍ය උපයෝගි කර ගෙන තර්ජනය සහ අපහාස කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (12 දා) සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා දැනුවත් කළ අවස්ථාවේ නෛතික ගැටලුවක් පවතින නිසා මෙවැනි දේ සිදුවන බව පැවසූ බවත් ඒ අවස්ථාවේදී මහ බැංකු අධිපතිවරයා පැය 2ක පමණ කාලයක් මෙම ණය උගුලට හිරවූ පුද්ගලයන් සමඟ සාකච්ඡා කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර මෙම ණය මෝරුන් සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් මොවුන් සියයට 300ක පොලියක් අය කර සිටින බවත් ණය ගෙවීම දවසක් හෝ පමා වුවහොත් දුරකථනයෙන් තර්ජනය කිරීම මෙන්ම පවුලේ ඡායාරූප අසභ්‍ය රූප සමග සංස්කරණය කර සමාජ මාධ්‍ය හරහා අපහාස කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී සඳහන් කළේය.

නව නීති ගෙන ඒමේදී මෙවැනි කූට ව්‍යාපාර සිදු කර ගෙන යෑම වළක්වාලමින් කටයුතු කරන ලෙසත් මොවුන් මෙරටට පැමිණි වීසා කොන්දේසි සොයා බලා වැරදි ආකාරයට සිටී නම් රටින් පිටුවහල් කරන ලෙසත් ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙවැනි කූට ව්‍යාපාරවලින් ණය ගත් පුද්ගලයන් එම ණය නොගෙවන ලෙසත් ඉල්ලා සිටින බවය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment