කුලී ගමන් මුවාවෙන් ගොස් ත්‍රිරෝද උස්සන කල්ලි රට පුරාම

15

හයර් යන්න එන අය ගැන විමසිල්ලෙන් ඉන්න – පොලිසිය රියැදුරන්ට කියයි

රට පුරා කුලී ගමන් සඳහා යන ත්‍රිරෝද රථ මංකොල්ලකන සංවිධානාත්මක කල්ලි කීපයක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ත්‍රිරෝද රථ රියැදුරන් කුලී ගමන් සඳහා කැඳවාගෙන ගොස් පාළු ස්ථානවලදී පිහි පෙන්වා ඔවුන් බියකර ඔවුන් සතු රන් භාණ්ඩ, මුදල් පසුම්බි සහ ජංගම දුරකථන පැහැරගෙන අනතුරුව ඔවුන්ට පහර දී ඇද දමා ත්‍රිරෝද රථ මංකොල්ලකා පලායන බවට පොලිසියට මේ වනවිට පැමිණිලි රැසක් ලැබී තිබේ.

එහි ආසන්නතම සිදුවීම පෙරේදා (05දා) රාත්‍රී මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පාළු ස්ථානයකදී සිදුවී තිබිණි.

ග්‍රෑන්ඩ්පාස්, කොස්ගස් හන්දිය ප්‍රදේශයෙන් කුලී ගමනක් යෑමට ත්‍රිරෝද රථයකට ගොඩ වූ පුද්ගලයන් තිදෙනකු කුලී ගමනක් යන මුවාවෙන් ගොස් මාලඹේ, චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී ත්‍රිරෝද රියැදුරුට ආයුධයක් පෙන්වා ඔහුගේ ජංගම දුරකථනය, මුදල් පසුම්බිය බලහත්කාරයෙන් ලබාගෙන ඔහුට පහරදී ත්‍රිරෝද රථය කොල්ලකාගෙන ගොස් තිබූ බව කඩුවෙල පොලිසිය පවසයි.

පසුව අදාළ ත්‍රිරෝද රථය ඔරුගොඩවත්ත පාලම ආසන්නයේ දමාගොස් තිබියදී සොයාගත් අතර ඊට ආසන්නයෙන් අතහැර ගිය තවත් ත්‍රිරෝද රථයක් තිබී සොයාගත් බව ද පොලිසිය කියයි.

අදාළ ත්‍රිරෝද රථයේ බැටරිය ද ගලවාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

එබැවින් ත්‍රිරෝද රථවලට කුලී ගමන් යෑමට ගොඩවන අය සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතා ‘දිවයින’ ට පැවසීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගස්හන්දිය ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරීක්ෂාවට ලක්කරමින් ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

මෙම ත්‍රිරෝද රථ මංකොල්ලකන බොහෝ දෙනා මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහි වූවන් බවට සැකකරන බවත් මොවුන් කොල්ලකන ත්‍රිරෝද රථවල කොටස් ගලවා අමතර කොටස් අලෙවිසල්වලට අලෙවි කරන බවට සැකකරන බවත් කඩුවෙල පොලිසියේ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment