කෘෂිකර්ම හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසකට නව සැලසුම් ක්‍රියාත්මක කරනවා

54

ජනපති ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ 117 වැනි වාර්ෂික සැසිය අමතමින් කියයි

කෘෂිකර්ම හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් නව සැලසුම් ක්‍රියාත්මක කරන බවත්, එහිදී මෙරට ඉංජිනේරුවන්ට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තායිලන්තය සහ මැලේසියාව වැනි රටවල කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශ ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කරමින් නව සැලසුම් ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා බාහිර විශේෂඥ දැනුම ලබා ගැනීමට ඇති හැකියාව සොයා බලන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (25 දා) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ 117 වැනි වාර්ෂික සැසිය අමතමිනි.

ඉංජිනේරුවකු ලෙස රට වෙනුවෙන් ඉටු කරන ලද මහඟු මෙහෙවර අගයමින් ජීවිතයට එක්වරක් පමණක් පිදෙන “විශ්වලිංගම්” සම්මානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී ඉංජිනේරු කේ. එල්. එස්. සහබන්දු මහතා වෙත පිරිනැමීය.

ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ සභාපති තිලක් ද සිල්වා මහතා විසින් භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කරන ලද “”Hand book for Electricians˜ කෘතිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ආචාර්ය කමල් ලක්සිරි මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් පිළිගන්වනු ලැබීය.

උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තාක්ෂණික නවෝත්පාදනයන් සහ කෘෂි නවීකරණය සමඟ ශ්‍රී ලංකාව නව ආර්ථිකයක් කරා ගෙන යෑමට සක්‍රීයව එක්වන ලෙස තමා ඉංජිනේරු ක්ෂේත්‍රයේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

තරඟකාරිත්වය, ඩිජිටල් පරිවර්තනය සහ හරිත ආර්ථිකය යන ක්ෂේත්‍රය තුළ අද ඉංජිනේරුවන් විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවත්, එම අංශ සංවර්ධනය කිරීම තුළින් රටට ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් උදාකර ගත හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම මෙරට විවිධ ක්ෂේත්‍රවල ඉහළ තරඟකාරීත්වයක් ඇති කිරීමට ඉංජිනේරුවන්ගේ නිපුණතාවන් ඉවහල් කරගත හැකි බවත්, රටේ ආර්ථිකයට එය ඵලදායී ලෙස දායක කර ගැනීමට ඉදිරි දශකය තුළ සැලසුම් සහගතව කටයුතු කරන බවත් පැවසීය. මහවැලි කලාපයේ සහ වතුකරයේ මෙතෙක් භාවිතයට නොගත් ඉඩම් අක්කර ලක්ෂ 7ත් – 10ත් අතර ප්‍රමාණයක් පවතින බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී එම ඉඩම් භාවිතයට ගැනීම පිළිබඳ අවධානය යොමුකර තිබෙන බවද පැවසීය.

එසේම දිවයිනේ විවිධ ප්‍රදේශවල තිබෙන කෘෂිකර්ම පර්යේෂණ ආයතන සියල්ල ඒකාබද්ධ කර කෘෂිකර්ම තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන බවද ඔහු සඳහන් කළේය.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු සඳහා පෞද්ගලික අංශයේද දායකත්වය ලබා ගැනීම අරමුණ බවත්, එය කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට ඉවහල් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

1970 වසරේ සිට විෂය ක්ෂේත්‍ර දෙකක් යටතට පත් කර තිබූ වැවිලි කර්මාන්ත සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍ර දෙක ඒකාබද්ධ කිරීමට තමන් පියවර ගත් බවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

ණය ප්‍රශස්තකරණය සහ තිරසර ආර්ථිකයක් ගොඩනැඟීම යන අරමුණු ඉටුකර ගැනීමේ දී නව දැක්මක් සහ ශක්තිමත් ප්‍රවේශයක අවශ්‍යතාවයද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මෙරට ආර්ථිකයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කෙරෙන හරිත හයිඩ්‍රජන් අපනයනය සඳහා ඇති හැකියාව පිළිබඳව සොයා බලා එය ක්‍රියාත්මක කිරිමට හැකි තාක්ෂණික ක්‍රමවේද සොයා ගැනීමේ හැකියාව ඉංජිනේරුවන් සතුව පවතින බවද එතුමා පෙන්වා දුන්නේය.

ඉතා කෙටි කාලයක් තුළ සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ මහනුවර මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය, මහවැලි ව්‍යාපාරය වැනි දැවැන්ත ව්‍යාපෘති මෙරට ඉංජිනේරු තාක්ෂණයේ විශිෂ්ටත්වය ලොවට ප්‍රදර්ශනය කළ බව පෙන්වාදුන් ජනාධිපතිවරයා ජාතික ආර්ථිකය වෙනුවෙන් මෙරට ඉංජිනේරුවන් ලබාදුන් දායකත්වය තමා ඉතා අගය කරන බවද පැවසීය.

ඉංජිනේරු තාක්ෂණයේ දායකත්වයක් නොමැතිව රටේ ආර්ථිකය ගොඩනැඟීම අභියෝගයක් බවත්, එහිදී නිපුණතා සහිත ඉංජිනේරුවරුන් බිහිකිරීමේ ක්‍රමවේදයක අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙම තාක්ෂණික ප්‍රගතිය සඳහා අවශ්‍ය මානව සම්පත් හිඟයට පිළියම් යෙදීමේදී තාක්ෂණික අධ්‍යාපනයේ සහ වෘත්තීය ඉංජිනේරු කුසලතාවල වැදගත්කමද පෙන්වාදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි අයවැයේ දී රජය මේ පිළිබඳ නව්‍ය විසඳුම් යෝජනා ඉදිරිපත් කරන බව කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස්, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ආචාර්ය කමල් ලක්සිරි, මහාචාර්ය මෛත්‍රී පනාගොඩ යන මහත්වරු සහ විද්වතුන්, ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රවිණයන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment