කෝටිය ඉක්මවූ බදු පැහැර හැරි පිරිස 4200ක්: – බිස්නස්කාරයන්ට කෝටි ලක්‍ෂයක බදු සහන දීලා

95

විපක්‍ෂ නායක

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්ට පසුගිය වසරේදී (2023) කෝටි ලක්ෂයකට අධික බදු සහන ලබා දී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18 දා) ප්‍රකාශ කළේය.

එම ව්‍යාපාරිකයන්ට එලෙස බදු සහන ලබා දුන්නේ කුමන පදනමකින්ද යන වග පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතු බවත් කී ඔහු විපක්ෂය බදු පරිපාලනය කාර්යක්ෂම කිරීමේ තදබල වැඩසටහනකට සහාය දීමට සූදානම් යැයි ද කීය.

එලෙස ව්‍යාපාරිකයන්ට බදු සහන ලබා නොදුන්නේ නම් සාමාන්‍ය ජනතාව වෙත බදු පනවා රුපියල් කෝටි 60000ක බදු ආදායමක් රජය බලාපොරොත්තු වන බව ද කී ඒ මහතා ව්‍යාපාරිකයන්ට බදු සහන ලබා නොදුන්නේ නම් සාමාන්‍ය ජනතාවට අලුතින් බදු පැනවීමට අවශ්‍ය නොවන බව ද සඳහන් කළේය.

මේ අතර රුපියල් කෝටි එක් ලක්ෂ විසි දහසක් බදු ගෙවීම් පැහැර හැර ඇති බව ද බදු නිසි පරිදි ගෙවීම, බදු ගෙවීම් පැහැර හැරීම සහ බදු සහන ලබා දීම් නිසි පරිදි ක්‍රියාත්මක කළේ නම් ජනතාව වෙත ‘බදු සුනාමියක්’ පැනවීමට අවශ්‍යතාවයක් නැතැයි ද ඔහු පැවසීය.

රුපියල් කෝටිය ඉක්ම වූ බදු ගෙවීම් පැහැර හරින ලද පුද්ගලයන්ගේ සංඛ්‍යාව 4200ක් බවත්, අරක්කු නිෂ්පාදනයෙහි නිරත ව්‍යාපාරිකයන් 05 දෙනකු බදු ගෙවීම් පැහැර හැර ඇති ප්‍රමාණය රුපියල් කෝටි 700ක් බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ බදු ගෙවීම් පැහැර හරින අයගේ තොරතුරු සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දෙන බවය.

මේ අතර “විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අද වාසි දවසක්. ඒකට හේතුව අනුර කුමාර දිසානායක මහතා එංගලන්තයේ සිටීම” යැයි ජනාධිපතිවරයා දේශපාලන විහිළුවක් ද කළේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment