ගම්පහ පිට පිට 8 වැනි වරටත් ශූරයෝ වෙති – ජාතික යෞවන ක්‍රීඩා උළෙල

46

34 වැනි ජාතික යෞවන ක්‍රීඩා උලෙළේ සමස්ත ශූරතාව පිට පිට 8 වැනි වරටත් හිමි කර ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කය සමත් විය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති එම ක්‍රීඩා උලෙළේදී ගම්පහ දිස්ත්‍රික්කය ලකුණු 166ක් ලබාගත් අතර, ලකුණු 96ක් ලැබූ කොළඹ දිස්ත්‍රික්කයට අනුශූරතාවත් හිමි විය.

ගම්පහට ශූරතාව සමඟින් රුපියල් ලක්ෂ 2ක මුදලක් පිරිනැමුණු අතර, කොළඹට එක් ලක්ෂ පනස්දහසක තෑගි මුදලක් ද හිමි විය.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව ක්‍රීඩා උළෙල සංවිධාන කර තිබුණි.

මෙවර ක්‍රීඩා උලෙළේ අවුරුදු 20න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ අයෝමාල් අකලංක සහ ක්‍රීඩිකාව ලෙස නාගරික තරුණයා දිස්ත්‍රික්කයේ ඔෂිනි කොඩිකාර සම්මාන දිනාගත් අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ ජනිඳු ලක්විජය සහ එම දිස්ත්‍රික්කයේම බී.එස්. ලක්ෂිමා අවුරුදු 20න් ඉහළ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්හ. මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවුදෙනාට රුපියල් 250,000 බැගින් මුදල් ත්‍යාග හිමි විණි.

මෙවර ක්‍රීඩා උලෙළේදී නව තරග වාර්තා 8ක් බිහි කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූ අතර, එක් වාර්තාවකට රුපියල් 10,000 බැගින් පිරිනැමිණි. එහිදී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ ජනිඳු ලක්විජය අවුරුදු 20න් ඉහළ කඩුලු පැනීමේ තරග වාර්තාව දෙවරක් අලුත් කිරීම කැපී පෙනිණි. එම ඉසව්වේ මූලික වටයේදී තත්පර 14.07ක කාලයක් වාර්තා කළ ඔහු අවසන් තරගයේදී නව තරග වාර්තාව පිහිටුවූයේ තත්පර 13.72කිනි.

ක්‍රීඩා උලෙළේ ජය සංකේත ප්‍රදානය ජාතික තරුණ සේවා සභා අධ්‍යක්ෂ ජනරාල්/ සභාපති සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ සභාපති පසිඳු ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ අතර, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි මහතා ඇතුළු පිරිසක් ද එක් වූහ.

මෙවර ක්‍රීඩා උලෙළේ බිහි වූ නව තරග වාර්තා

අවුරුදු 20න් ඉහළ පිරිමි මීටර් 110 කඩුලු පැනීම මූලික වටයේ ජනිඳු ලක්විජය (ගම්පහ තත්. 14.07)

අවුරුදු 20න් ඉහළ පිරිමි මීටර් 110 කඩුලු පැනීම අවසන් තරගයේදී ජනිඳු ලක්විජය (ගම්පහ තත්. 13.72)

අවුරුදු 20න් පහළ පිරිමි මීටර් 100 සහාය මූලික වටයේදී තත්පර 41.38 (මාතර)

අවුරුදු 20න් පහළ පිරිමි මීටර් 400 එච්. නෙත්සර (නාගරික තරුණයා තත්. 48.64)

අවුරුදු 20න් පහළ පිරිමි දුර පැනීම කේ.එම්.කේ. චතුමික (පොලොන්නරුව මී. 7.42)

අවුරුදු 20න් ඉහළ පිරිමි උස පැනීම තරිඳු දසුන් (ගාල්ල මී. 2.15)

අවුරුදු 20න් ඉහළ පිරිමි හෙල්ල විසි කිරීම ආර්. තරංග (කළුතර මී. 77.58)

අවුරුදු 20න් ඉහළ කාන්තා මීටර් 400 බී.එස්. මෙන්ඩිස් (ගම්පහ තත්. 54.24)
වස්කඩුව – අනිල් ටී. සිරිවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment