ගුවන්විදුලි මාධ්‍යයේ පෙළහර පෑ විශිෂ්ටයකුගේ නික්ම යෑම

306

ආරියසේන මිල්ලවිතානච්චි මහතා

වෘත්තීය ජීවිතයේ මුල් කාලයේ මම සහන පදනමේ නිවේදකයෙකි. වෙනත් වචනවලින් කියන්නේ නම් වැඩ කළොත් පමණක්ම ගෙවීම් ලැබෙන සේවකයකි. ඒත් ඒ කාලයේ හුඟක් දේවල් කරන්නට මට ලැබිණි. ගුවන් විදුලි සංස්ථාවේ බාහිර විකාශනවල නිවේදකයෙක් ලෙස කටයුතු කිරීම ඒ අතරින් විශේෂය. වරක් මම කතරගම ගම් උදා ගුවන් විදුලි සංස්ථා මැදිරියේ සේවය කරමින් සිටියෙමි. සහාය නිවේදකයා වශයෙන් එදා හිටියේ අති ජ්‍යෙෂ්ඨයකු වූ තිස්ස ජයවර්ධනය. ගම් උදා නිවේදක මැදිරියේ නිවේදන කටයුතු කරන ආකාරය ‘නරඹන්නන්ට’ බලාගත හැකියි. එමෙන්ම නිවේදකයන් හැටියට අපටද නරඹන්නන් දැකගත හැකියි.

මැදිරියේ වීදුරු කවුළුවෙන් අප දෙස බලා සිටින අය පෙන්වමින් අනෙක් නිවේදකයා ඇවිස්සීම මගේ සිරිත වී තිබිණි. මේ අනුව ගීතයක් ප්‍රචාරය වන අතරවාරයේ මැදිරිය එකම රස ගුලාවකි.

කුඩා දරුවකු මැදිරියේ වීදුරුවට තමුන්ගේ මූණ හේතු කර ගනිමින් අප දෙස බලා සිටියේය. වීදුරුවෙන් මෙපිට සිට ඔහු දකින අපට පෙනෙනුයේ විකෘති වූ මුහුණකි. මම එය තිස්ස අයියාට පෙන්නුවෙමි. එවිට දරුවා සිනාසුනේය. තවත් විකෘති හැඩයක් ඔහුගේ මුහුණේ මතුවිය. ගීතය අවසන් වීමටද ආසන්නය. තිස්ස අයියා වීදුරුව දෙස බලා

“පිස්සු +කයෙක්” කීවේය. මට ද සිනහව නතර කර ගත නොහැකි විය.

ඊළඟට සජීවීව වෙළෙඳ දැන්වීම් කියවිය යුතුය. මා අත වූ වෙළෙඳ දැන්වීම මම වහා කියවීමි.

“කටට රසයි.
රසට හැපෙයි
නිකාඩෝ ප….ඩම්.”

තිස්ස අයියා අතින් කට වසා ගත්තේය.

සමාවෙන්න කීවාදැයි මතක නැත. මම දැන්වීම යළිත් වරක් නිවැරදිව කියැවීමි.,

මේ සිදුවීමෙන් පසු එය නැවත කරලියට ආවේ මට ස්ථිර තනතුර ලැබෙන්නට යන විටය. නිවේදකයෙක් නොවන මහත්මයෙක්, ආරියසේන මිල්ලවිතානච්චි මහතා හමුවී පපඩම් කියාගන්න බැරි එකෙකුට පර්මනන්සිය දෙන්නේ ඇයි දැයි ප්‍රශ්න කර තිබේ.

මිල්ලේ මහතා ඔහුගෙන් අසා ඇත්තේ එක ප්‍රශ්නයක් පමණි. “තමුසෙට කවදාවත් වැරදිලා නැද්ද?” එතුමාට වුවමනාවක් තිබුණේ නම් එදා, මා ගුවන් විදුලි නිවේදකයකු වීම වළක්වන්නට පුළුවන් කම තිබිණි.

ගුවන් විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා පැවැති කටහඬ පරීක්ෂණයෙන් මම සමත් වී තිබිණි. ඒ අනුව මගේ නම ප්‍රවෘත්ති කියවන්නන්ගේ ලේඛණයට ඇතුළත් විය.

නමුත් අදාළ දිනයේ මම ගුවන් විදුලි බාහිර විකාශනයක් සඳහා සති දෙකක කාලයකට රාජකාරි නිවාඩු ලබා බැහැර ගොස් සිටියෙමි. ඒ බව දන්වා තිබුණත් පළමුවැනි දවසේ ආවෙ නැතැයි මා ප්‍රවෘත්තිවලින් කැපින.

සෑහෙන කාලයක් ගතවිය. මෙය දැනගත් මිල්ලේ මහතා අදාළ නිවේදක නැති දවසක බලහත්කාරයෙන්ම ප්‍රවෘත්ති ප්‍රකාශය මට පැවරීය.

“තමුසෙ කියවනවා. කවුරු ඇහුවත් කියනවා මමයි කිව්වේ කියන්න කියල. මං ඒක බලා ගන්නම්.”

එදා සිට ප්‍රවෘත්ති කියවීමට මට කවුරුත් බාධා කළේ නැත.

ගුවන් විදුලි මාධ්‍යයේ පමණක් නොව ඕනෑම ආයතනයක කැපිලිකාරයෝ සිටිති. ඒවාගේම කැපෙන අය බේරා ගැනීම සඳහා ක්‍රියාකරන පුද්ගලයෝද සිටිති.

අභාවප්‍රාප්ත ආරියසේන මිල්ලවිතානාච්චි මහතා දෙවන වර්ගයේ උත්තුංග පුද්ගලයෙකි.

එතුමාට නිවන් සුවයම ලැබේවා!

(අභාවප්‍රාප්ත ආරියසේන මිල්ලවිතානාච්චි මහතාගේ දේහය බොරැල්ල එෆ් රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (13දා) සිදු කිරීමට නියමිතය.)

● චන්දන තිලකරත්න
කෘතහස්ථ නිවේදක ආරියසේන මිල්ලවිතානච්චි මහතාගේ අභාවය වෙනුවෙන් මුහුණු පොතේ තැබූ සටහනකි.

advertistmentadvertistment
advertistmentadvertistment