චීනය බලවත් වන මකර නව වසර – 2024

392

මනුෂ්‍යයාගේ සංස්කෘතිය හෞතික සහ අභෞතික වශයෙන් කොටස් ද්විත්වයකට ප්‍රධාන වශයෙන් බෙදා දැක්විය හැකිය. එහිදී සෑම ශිෂ්ඨාචාරයක් පුරාවටම මනුෂ්‍යයාගේ ජීවිතයේ සුවිශේෂී නියෝජනයක් මෙම අභෞතික සංස්කෘතිය සිදු කරයි. මෙය ආසියාතික රටවල ප්‍රබල ලෙස නිරීක්ෂණය කළ හැකි වන්නකි.

ලග්න පලාපල, කේන්ද්‍ර බැලීම, නිමිතිකරණය ආදී විවිධ වූ අභිචාර විධි ඇතුළත් මෙම කුලකය නවීන තාක්ෂණික විශ්වීය මානවයාගේ යුගයට නොගැළපෙන්නේ යැයි ඇතැම් පිරිස් තර්ක කළත් ඉන්දියාව, චීනය ඇතුළු රටවල් ගණනාවක අදට ද කේන්ද්‍ර රාශි චක්‍ර යනාදිය විශ්වාස කරයි. අලුතින් යමක් කරන විට එය සුබ නැකතක් බලා ආරම්භ කිරීම, විවාහ මංගල උත්සවවලදී චාරිත්‍ර අනුගමනය කිරීම ආදී සාම්ප්‍රදායික පාරම්පරික විශ්වාසයක් අප රටේ ද උත්කර්ෂයෙන් සිදු කරන අතර අප්‍රේල් මාසයේ අපට උදාවන අලුත් අවුරුද්ද හඳුන්වන්නේ ද සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමක් වශයෙනි. ආසියාතික රටක් වන චීනයේ දින දර්ශනයට අනුව ඔවුන්ගේ රාශි චක්‍රය මීට සාපේක්ෂව මඳක් වෙනස් වේ. චීන අවුරුද්ද උදා වන්නේ ජනවාරි හෝ පෙබරවාරි හෝ මාසවල දිනයක ය. චීනයේ චන්ද්‍ර මාස සහ සූර්ය ලෙස දින දර්ශන දෙකක් භාවිත වන අතර ඔවුන්ට ද අපට මෙන්ම රාශි 12ක් ඇති නමුත් ඒවා හඳුන්වන්නට ඔවුන් සංකේත ලෙස උපයෝගි කරගන්නේ සතුන් ය.

චීනය බලවත් වන මකර නව වසර - 2024

මෙම රාශි චක්‍රය තුළ එක් එක් වර්ෂය සඳහා එක් සත්වයෙක් නියෝජනය වේ. රාශි චක්‍රය තුළින් නියෝජනය වන සත්වයන් දොළොස් දෙනා ලෙස මීයා, හරකා, කොටියා, හාවා, මකරා, සර්පයා, අශ්වයා, බැටළුවා, වඳුරා, කුකුළා, බල්ලා සහ ඌරා හඳුන්වයි. එසේම මෙම රාශි චක්‍රයට අදාළ සත්වයාගේ වර්ෂයෙන් උපන් පුද්ගලයන්ගේ පෞරුෂය එම සත්වයාගේ ගුණාංගවලට සම්බන්ධ වන බව චීන ජනප්‍රවාදවල සඳහන් වෙයි. දිනකට තිබෙන පැය 24ත් මෙසේ එක් සතකුට පැය දෙක බැගින් වෙන ලෙස වෙන් කර ඇති චීන ජනතාව ඒ තුළිනුත් ඒ හෝරාව කුමන සතාගේද යනුවෙන් සොයා යම් යම් නිගමනවලට එළඹේ.

2024 වර්ෂය මෙම රාශි චක්‍රයට අනුව එහි පස්වන සත්වයා වන මකරාගේ වර්ෂයයි. චීන ජනප්‍රවාදවලට අනුව මිනිසාගේ පරිකල්පනයේ සංකේතයක් ලෙස රාශි චක්‍රයේ නිරුපණය වන එකම සත්වයාද මකරා යි. මිනිසාගේ පරිකල්පනයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවුන මකරාගේ සැබෑ පෙනුම කිසිවකු දැක නැති වුවත් මෙම මකර සංකල්පය චීනය ට අමතරව සෙසු රටවලද භාවිතා වේ. ඇතැම් රටවල මකරා යනු භයානක අනතුරුදායක සංකේතයක් ලෙස හුවා දැක්වුවද සම්ප්‍රදායික චීන ජන සංස්කෘතියට අනුව මකරා සුබ සහ වාසනාවේ සංකේතයක් ලෙස සැලකේ. එපමණක් නොව සම්ප්‍රදායික චීන සංස්කෘතිය තුළ මකරාට සුළඟ වර්ෂාව සහ සුළඟේ බලය පාලනය කළ හැකි බව විශ්වාස කෙරේ. එබැවින් මකරා තුළින් අස්වැන්න, සෞභාග්‍යය සහ මිනිසාගේ යහපැවැත්ම සංකේතවත් කෙරේ. එපමණක් නොව මකරාගේ රූපය අධිරාජ්‍ය බලයේ ප්‍රබල සංකේතයක් ලෙස භාවිතා කර ඇති අතර ඉතිහාසයේ මකරා තුළින් නිරූපණය වී ඇත්තේ එකල අධිරාජ්‍යවරුන්ගේ බලය සහ අධිකාරියයි. එමෙන්ම මකරා මගින් බලය මහිමය සහ වංශවත් බවද නිරුපණය වේ.

එම නිසා 2024 මකරාගේ වර්ෂය චීන ඉතිහාසයේ වඩාත්ම ප්‍රබල සහ බලගතු වර්ෂවලින් එකක් ලෙස සලකනු ලැබේ. මකරා මගින් නිරුපණය වන මෙම සුබ නිමිති නිසාම එළඹෙන නව වසර පිළිගැනීමට චීන ජාතිකයන් තුළ පවතින්නේ මහත් උනන්දුවකි. මේ වන විටත් මකරා ගේ රූපය යෙදූ නව වසර සඳහා වන අලංකාර සැරසිලි සඳහා වෙළෙඳපොළේ පවතින්නේ මහත් ඉල්ලුමකි. චීන රජය විසින් මකරාගේ නව වසර වෙනුවෙන් ඒ සඳහා සමරු කාසි නෝට්ටු සහ සමරු මුද්දරයක් ද මේ වන විට එළිදක්වා තිබේ. චීන සංස්කෘතිය තුළ මකරා යනු ස්වභාව ධර්මයේ සංකේතයක් වන අතර, මකරා තුළින් මිනිසා සහ සොබාදහම අතර ඇති සහජීවනය ද පිළිඹිබු කරයි. 2024 වර්ෂයේ මකරාගේ පැමිණීම තුළින් මිනිසා සහ සොබාදහම අතර සුහද සහජීවනය වර්ධනය වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. මේ අනුව බලන කල එළඹෙන මකරාගේ නව වසර අනෙකුත් වසරවල්වලට සාපේක්‍ෂව චීනයේ සංස්කෘතික සමාජීය සංවර්ධනය සඳහා මෙන්ම පාරිසරික යහපැවැත්ම සඳහා ඔවුන් හට වැදගත් වේ. 2024 වර්ෂයේ උපත ලබන දරුවන් ඉතා විශේෂ ලෙස සලකනු ලබන අතර මකරාගේ වර්ෂයේ උපත ලබන දරුවන් හට සුවපහසු ජීවිතයක් උසස් පරමාදර්ශ සහ ඉලක්කවලින් යුතු ජීවිතයක් ලැබෙනු ඇතැයි චීන ජනතාව විශ්වාස කරයි. චීන ජනතාවගේ විශ්වාසයන්ට අනුව, මෙම මකරාගේ වර්ෂය තුළ පුද්ගලයන් තිදෙනෙක් විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර නව වසරේදී ඔවුන් රතු වර්ණයෙන් සැරසීම ඉතා යෝග්‍ය ලෙස සැලකේ. ඉන් පළමුවැන්නා වන්නේ ගැබිනි මවුවරුන්ය. ගැබිනි මවක් යනු චීන සම්ප්‍රදාය තුළ “නව ජීවිතයක් ලබා දෙන්නියක්” ලෙස සලකනු ලබන නිසා ඇය මෙම නව වසරේ රතු වර්ණයෙන් සැරසීම තුළින් නිරෝගිමත් ආරක්ෂාකාරී දරු උපතක් ලබා ගත හැකි වෙතැයි විශ්වාස කෙරේ. දෙවැන්නා ලෙස අලුත විවාහ පත් වූවන් සලකනු ලබන අතර සැමියා සහ බිරිඳ රතු වර්ණයෙන් සැරසීම තුළින් ඔවුන්ගේ නව ජීවිතයේ සුබ අපේක්ෂාවන් සහ අනාගත සතුට අපේක්ෂා කෙරේ. මෙහි තුන්වන පුද්ගලයා ලෙස වැඩිහිටි පුද්ගලයන් සැලකෙන අතර වැඩිහිටි පුද්ගලයන් රතු වර්ණයෙන් සැරසීම නිසා දීර්ඝායුෂ සහ නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේ යැයි විශ්වාස කෙරේ.

මේ සියල්ල අතරන් වැදගත් ම කාරණාව වන්නේ මේ ඩිජිටල් යුගයේ පවා චීන ජනයා තුළින් මෙම සාම්ප්‍රදායික රාශි චක්‍රය ගැන වූ විශ්වාසය පළුදු නොවීම යි. ඒ අනුව ව්‍යාපාර කටයුතු අලුත් සොයාගැනීම් ආදී දේ සඳහා ද මෙම සතුන් ඇතුළත් රාශි චක්‍රයේ පිහිට ආරක්ෂාව චීන ජනතාව ලබා ගන්නා අතර අපි නම් ඔය හනමිටි අදහස් විශ්වාස කරන්නේ නෑ යැයි ඔවුන්ගෙන් ඇතැමෙන් පැවසුවත් දරුවකු ලබාගැනීමේදී ශක්තිමත් වසරකදී සිය දරුවා ලබාගැනීම බොහෝ චීන දෙමාපියන්ගේ අපේක්ෂාවයි. එසේම සහකරුවෙක් හෝ සහකාරියක සොයාගැන්මේදීත් චීන ජනයා අනෙකාගේ ගතිගුණ ආදිය බලාගැනීමට මෙම රාශි චක්‍රය මිනුමක් ලෙස භාවිතා කරයි. මේ අනුව වසර සිය දහස් ගණනක් තිස්සේ පටන් පැවත එන මෙම චීන ජනයාගේ රාශි චක්‍රය නූතන යුගයේදීත් ඔවුන් බොහෝ දෙනකුගේ සිත් සතන්හි ගැබ් වී පවතින විශ්වාසයක් බව නොරහසකි. එබැවින් මෙම මකරාගේ නව වසර ලෝක බලවතා වීමේ සීතල යුද්ධයක නිතර වන ඔවුන් හට කෙසේ වේදැයි අපි බලාසිටිමු.

සචිත්‍රා කුමාරි බණ්ඩාර
ආචාරිනි – සිංහල භාෂා අධ්‍යයන අංශය,
හර්බෙයි විදේශ භාෂා විශ්වවිද්‍යාලය, චීන මහජන සමූහාණ්ඩුව.

සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment