දිනකට සීමා නොවූ ආදරය

909

සෑම වසරකම පෙබරවාරි මස 14 වන දින ලෝකයේ තරුණ ප්‍රජාවට විශේෂ දිනයකි. ඒ ආදරවන්තයන්ගේ දිනය හෙවත් ශාන්ත වැලන්ටයින් දිනය එදිනට යෙදී තිබීම නිසාය. මේ දිනය ආදරවන්තයන් ඉතා ප්‍රීතියෙන් සමරනු ලබයි. නමුත් මේ පිළිබඳව තිබෙන අතීත කතාව නම් ඒ තරම් සුන්දර නැත.

රෝමය පාලනය කළ දෙවන ක්ලෝඩියස් අධිරාජ්‍යයා යුදකාමී පාලකයෙකි. ඔහු අනෙකුත් රාජ්‍ය යටත් කර ගැනීම සඳහා නිරන්තරයෙන් යුද වැදීම සිදු කෙරිණි. නමුත් යුද්ධයට සම්බන්ධ වන සොල්දාදුවන් සංඛ්‍යාව දිගින් දිගටම අඩු විය. තරුණයන් විවාහ වීමෙන් පසුව දරුවන්, පෙම්වතිය වැනි ඔවුන්ගේ ආදරණීයන් දමා ඔවුන් යුද්ධයට සම්බන්ධ වීමට කැමැත්තක් නොදක්වන බව ඔහුට අනාවරණය විය. ඒ අනුව දෙවන ක්ලෝඩියස් අධිරාජ්‍යයා විසින් තරුණයන් සඳහා විවාහය තහනම් කරන්නට විය.

අධිරාජ්‍යයා ගත් මෙම ක්‍රියාමාර්ගය අසාධාරණ බව පිළිගත් එවකට රෝමයේ සිටි වැලන්ටයින් පූජකයා විසින් රජුගේ නීතිය බිඳ දමමින් යුග දිවියට ඇතුළත් වීමට අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් හොර රහසේම විවාහ කරන්නට විය. වැලන්ටයින් පූජකයා විසින් සිදු කරන මෙම ක්‍රියාව දැනගත් ක්ලෝඩියස් අධිරාජ්‍යයා පූජකවරයාව සිරගත කර මරණ දඬුවම ලබාදීමට නියෝග කරන්නට විය.

වැලන්ටයින් පූජකවරයා සඳහා මරණ දඬුවම ලබාදීම සිදුකර ඇත්තේ පෙබරවාරි මස 14 වන දිනයි. මෙලෙස ආදරයෙන් එකතු වීමට බලාපොරොත්තුවෙන් සිටින ආදරවන්තයන් වෙනුවෙන් ඔහු දිවි පිදීම නිසා මෙම දිනය වැලන්ටයින් දිනය ලෙස නම් විය.

නමුත් වර්තමානය වන විට මෙහි අතීත කතාව නොදන්නා බොහෝ පිරිසක් සිටියි. ඔවුන් එම දිනය ආදරවන්තයන්ගේ දිනය ලෙස සමරන ආකාරයද වෙනස් කර ඇත. එක් දිනයකට සියල්ල සීමා කරමින් ආදරය සහ එහි සුන්දරත්වය නොදන්නා බොහෝ පිරිස් තම ජීවිතයේ අමිහිරිම අත්දැකීම්වලට එම දිනයේදී මුහුණ දෙයි. වැලෙන්ටයින් දිනය සැමරීම සඳහාම පමණක් ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් සොයන තත්ත්වයට අද සමාජය පත්ව ඇත. ආදරය ලෙස ඔවුන් පිළිගන්නේ තම කාම ආශාවන් සංසිඳුවා ගැනීමයි.

දිනකට හෝ පැය ගණනකට කුලියට ගන්නා ලද කාමරයකට තම පෙම්වතිය රැගෙන ගොස් ඔවුන් ආදරවන්තයන්ගේ දිනය සමරයි. ඒ තුළ ඇත්තේ ආදරය නම් වූ පිවිතුරු හැඟීම නොවේ. සෑම වසරකම වැලන්ටයින් දිනයෙන් පසුව තරුණියන් විසින් සිදුකර ගන්නා සියදිවි නසා ගැනීම් දිගින් දිගටම වැඩි වෙමින් පවතී. මෙය නතර විය යුතුය. ඒ සඳහා ඔවුන් මුලින්ම ආදරය යන්නෙහි සැබෑ අර්ථය දැනගත යුතුය. ජීවිතයේ ඇත්තේ එකම සතුටකි. ආදරය හා ආදරය ලැබීමයි.

සචිනි චතුරිකා
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment