කෙසෙල්වත්තේ ගෙයක් ඇතුළේ පස්දරු පියකු කපා කොටා මරලා

306

කඩු කල්ලිය සොයා මෙහෙයුම්

කොළඹ කෙසෙල්වත්ත මාටිස් පටුමගේ නිවසකට පෙරේදා (11 දා) රාත්‍රී කඩාවැදී පස්දරු පියකුට කඩුවලින් කොටා ඝාතනය කර පලාගිය සිව් දෙනකුගෙන් සමන්විත කල්ලිය සොයා කෙසෙල්වත්ත පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්වී තිබුණේ මොහොමඩ් ෆාරුක් එම්මානුවෙල් හසන් නමැති 48 හැවිරිදි අයෙකි.

පලාගිය සැකකරුවන් පැමිණි බව කියන ත්‍රිරෝද රථයක් සහ ලේ තැවරුණු කඩුවක් කොළඹ සොන්ඩර්ස් පාරේ නිවසක තිබී සොයාගත් බව පොලිසිය කියයි.

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් මෙම ඝාතනය සිදුකළේද යන්න සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදුකරයි.

ඝාතනයට ලක්වූ අය අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ අයකු බව හෙළිවිනැයිද පොලිසිය කියයි.

ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් අවුරුදු 19, 20 යන වයස්වල පසුවන්නන් බවත් පොලිසිය පවසයි.

අපරාධ කල්ලියක සාමාජිකයකු විසින් මෙම ඝාතනය මෙහෙයවන්නට ඇතැයිද පොලිසිය සැකකරයි.

මෙම ඝාතනය සිදුවූ ස්ථානයට පැමිණි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මූලික මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීය.

කෙසෙල්වත්ත පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක බී. ටී. රම්‍යසිරි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රත්නකුමාර මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක ආර්. එම්. කරුණාරත්න ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පොලිස් පරීක්‍ෂණ සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment