ඡන්දයේදී ආදිවාසී…. අපිට…. අපි හැමදාම ආදිවාසීන්ට

70

ඔන්න මෙදා ඡන්දයට ආදිවාසි මහත්වරුන් ඉදිරිපත් වෙනවා. ඒගොල්ලෝ දිනුවට පස්සේ මී පැමිණි, දඩමස්වලින් හිඟයක් ඇති වෙන්නේ නැහැ.

රූපවාහිනිය නරඹමින් සිටි බිරිඳ තනිවම කතා කළේ මට ඇසෙන්නට විය හැකිය.

මොනවා වුණත් ආදිවාසි ජනතාව ඡන්දයට ඉදිරිපත් වුණොත් අපේ මන්ත්‍රීවරුන්ට කටඋත්තර නැති වෙයි. ඒ මොකද ඇයි මනුස්සයෝ ඒගොල්ලො ආදිවාසි භාෂාවෙන් කතා කරනකොට අපේ එවුන්ට කතා කරන්න පිළිතුරු නැති වෙනවා. අනික ඒ විතරක් නෙමේ ඒගොල්ලො කරේ එල්ලගෙන ඉන්න පොරොව දැක්කම අපේ ඔය කතා කරන දේශපාලනඥයෝ හොයාගන්නත් බැරිවෙයි.

ඔය රූපවාහිනිවල ඉන්න මහත්වරු මේ ආදිවාසි දේශපාලන මහත්වරු ගෙනල්ලා අපේ දේශපාලකයෝ එක්ක සංවාදයක් ආරම්භ කළොත් ඔය මහ පම්පෝරි ගහන උදවියට කටඋත්තර නැතිවෙයි බිරිඳ කීවාය.

ආදිවාසින් දේශපාලනයට එන්නට ඕනෑ… අපේ ප්‍රශ්න විසඳගන්න. අපිට ගෑස්කාරයන්ගේ ගෑස් බලන්න ඕනෑ නැහැ. පුළුවන්තරම් දර සැපයීමේ කොන්ත්‍රාත්තුව ආදිවාසි දේශපාලන මහත්වරුන්ට පවරන්න ඕනෑ.

කුකුල් මස්වලින් ජනතාව ඈත්කරලා වැව් මාළුවලට හුරුකරන්න ආදිවාසි දේශපාලනඥයන් යෝජනාවන් ගේන්න පුළුවන්.

පිටරටින් බිත්තර ගේන්න හදනකොට බිත්තර මුදලාලිගේ කටඋත්තර නැතිවෙලා තියෙනවා. ආදිවාසින් බිත්තරකාරයන්ට තව පාඩමක් උගන්වයි.

වටු බිත්තරවලට අපේ ජනතාව හුරුකරයි. එතකොට බිත්තර මුදලාලිට කටඋත්තර නැතිවෙයි. බිරිඳ දිගින් දිගටම වචන ප්‍රහාර එල්ල කළාය.

අනේ කොහොමහරි ඔය ආදිවාසි මහත්වරු පාර්ලිමේන්තුවටත් එන්න ඕනෑ.

එතකොට පාර්ලිමේන්තුවේ විවාද කරන එකත් අඩුවෙයි. ඔයත් ඔය ආදිවාසි භාෂාව ටිකක් දන්නවා නේද. ඔයා භාෂා පරිවර්තක තනතුරත් එයාලගෙන් ඉල්ල ගන්න. ඒගොල්ලන්ට පඩියක් වෙනුවට මීපැණි බෝතලයක් දුන්නොත් ඇති.

මේ කොළඹ අයියලා මී පැණි කියලා විකුණන්නේ දහජරාව කලවම් කරලා.

මොනවා වුණත් ආදිවාසි ජීවිත අපි ආදර්ශයට ගන්න ඕනෑ.

ඒගොල්ලො විදුලිය පාවිච්චි කරන්නේ නැහැ. බොරු වියදම් කරන්නේ නැහැ. අපේ වගේ බාත්රූම් නැහැ. අද අපිට අහන්න සිද්ධවෙන දේවල් හැටියට අපිට ආදිවාසීන්ව ආදර්ශයට ගන්න සිද්ධවෙලා තියෙනවා.

අනේ ආදිවාසීන් දේශපාලනයට එන්නම ඕනැ. එතකොට ටෙන්ඩර් නැහැ, පගා නැහැ, පෝස්ටර් පත්‍රිකා නැහැ, වර්ජන උද්ඝෝෂණ නැහැ.

කොළඹ පැත්තෙන් ආදිවාසියෙක් ඡන්දයට ආවොත් කියන්න වචන නැහැ. අපි ආදිවාසීන්ට… ආදිවාසී අපිට කියලා කොළඹ පෝස්ටර් ව්‍යාපාරයක් කරන්නත් අපේ කට්ටිය සූදානම්.

අද කියලා වෙනසක් නැහැ. අපි හැමදාමත් ආදිවාසීන්ට තමයි… කියමින් මම බිරිඳට කෙටි උත්තරයක් දුන්නෙමි.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment