පේරාදෙණි විදු පියසෙන් සහනයක්…ඒ දරුවන්ටත් උසස් අධ්‍යාපනය සිහිනයක්

64

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ආබාධ සහිත ශිෂ්‍ය ප්‍රජාවගෙන් විශ්වවිද්‍යාල වරම් හිමිකර ගන්නේ 0.03 ක ප්‍රතිශතයක්….

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය මත ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුනක් හා විදේශීය විශ්වවිද්‍යාල හතරක් ඒකාබද්ධ වෙමින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක්….

උසස් අධ්‍යාපනයට යොමුවන විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් විද්‍යා, තාක්ෂණවේදය හා වාණිජ විෂය ධාරාවන්ගෙන් අධ්‍යාපන කටයුතු සිදු කරගැනීමට පහසුකම්

ලෝකයේ භාවිතා කරන හොඳම නවීන තාක්ෂණය මේ ඒකකය සතු වෙනවා.

මිනිසුන් වූ අපට ඇත්තේ එකම අවශ්‍යතාවයන්ය. එහෙත් බොහෝ දෙනකුට උත්සාහයත් වාසනාවත් තිබුණද ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වන අවස්ථා බොහෝය. බොහෝ විට අවශ්‍ය මග පෙන්වීම නොමැති වූ විට එවැනි අපහසුතාවලට මුහුණ පෑමට සිදුවේ. එමෙන්ම කවර මට්ටමක හෝ උපකාරයක් ලැබේ නම් සාර්ථකත්වය කරා පා නැඟීම එතරම් අසීරු නැත. මේ කියන්නට උත්සහා දරන්නේ එවැනි අභියෝග ජයගැනීමට මඟපෙන්වන අපූරු ස්ථානයක් ගැනය.

මෙතෙක් ශ්‍රී ලංකාවේ කලා අංශයන්ගෙන් පමණක් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් උසස් අධ්‍යාපන කාර්යයට යොමු වුවද, මොවුන් හට විද්‍යා, වාණිජ හා තාක්ෂණවේදය යන අංශයන්ගෙන් අධ්‍යාපන අවස්ථා ලබා ගැනීමට මග උදාකර දෙමින් න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාගැනීමට අවස්ථාව උදාවූයේ අවම වශයෙනි. ඉගෙනුම් ප්‍රවේශයන් සඳහා සැමට සම අයිතීන් ලබාදීමේ විශේෂ අරමුණු ඇතිව පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් “විශේෂ සම්පත් ඒකකයක්” පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ ස්ථාපිත කරන්නේ මේ මෙහෙවර වෙනුවෙනි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය මත ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුනක් හා විදේශීය විශ්වවිද්‍යාල හතරක් ඒකාබද්ධ වෙමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර යුරෝපා සංගමය මගින් ලබාදෙන ලද යුරෝ මිලියනයක මූල්‍ය ආධාරයක් මත වැඩසටහන ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපන සිහිනයන් සැබෑ කර ගැනීම සඳහාත්, රටේ අනාගත සංවර්ධන මාවතට මොවුන් දායක කර ගැනීමත් යන අරමුණු පෙරදැරි කර ගනිමින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පවතින මෙම විශේෂ සම්පත් ඒකකය ගැන රට දන ගත යුතුය.

පේරාදෙණි විදු පියසෙන් සහනයක්...ඒ දරුවන්ටත් උසස් අධ්‍යාපනය සිහිනයක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී මහාචාර්ය ටී. එම්. සකුන්තලා යටිගම්මන ඒකනායක ඒ ගැන මෙසේ කියන්නීය..

“අද ලෝකය වේගයෙන් ශීඝ්‍රයෙන් සංවර්ධනය කරා යොමු වෙනවා. ඒ ගමන් මගට විශේෂ සහයක් තාක්ෂණය නිරන්තරයෙන් ලබා දෙනවා. අධ්‍යාපන ප්‍රවේශය තුළට ද අද තාක්ෂණය බද්ධවීම කාලීන අවශ්‍යතාවක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසාම අද වන විට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය, පාසල් පද්ධතිය තාක්ෂණය බද්ධ කර ගනිමින් විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවලා පවතිනවා. ඒ අතර විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා උදාකිරීම වෙනුවෙන් අර්ථාන්විත ඉගෙනුම අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් උපාංග රැසක් අද තාක්ෂණයේ දියුණුව සමඟ බිහිවෙලා තියෙනවා. යුරෝපීය අරමුදලින් ලැබුණු ආයෝජනයක් ලෙස අපි මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික උපාංග පේරාදණිය විශ්වවිද්‍යාලය සතු මෙම ඒකකය තුළ ස්ථාපිත කර තියෙනවා.”

මෙම ඒකකය තුළ අධ්‍යාපනය ලබාදීමේ ක්‍රියාවලිය තරමක් වෙනස් අත්දැකීමකි. මහාචාර්යවරිය ඒ ගැන පැහැදිලි කරන්නේ මෙසේය.

“අපි බ්‍රේල් ක්‍රමයට මෙන්ම පරිගණක තාක්ෂණය යොදාගෙන ඉගෙනුම් ක්‍රියාවලියට නව මෘදුකාංග යොදා ගනිමින් නව තාක්ෂණය සමඟ මුසු වෙන්න අවස්ථාව මේ දරුවන්ට අපි ලබා දීලා තියෙනවා. මෙම දරුවන් උසස් අධ්‍යාපන ප්‍රවේශය වෙත යොමු වූ පළමුව ඔවුන්ගේ පරිගණක තාක්ෂණය දියුණු කළ යුතුයි. පරිගණක සාක්ෂරතාවය ලබාදීම තුළින් අනිකුත් උපකරණ පාවිච්චි කිරීමේ හැකියාව ඔවුන්ට ලැබෙනවා. අපි මෙම විශේෂ ඒකකය මගින් දරුවන්ගේ ඒ කුසලතාවය වර්ධනය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර පවතිනවා. දෘශ්‍යාබාධිත දරුවන් වෙනුවෙන් ිජරුැබ රු්ාැර කියවන මෘදුකාංග අපි සතුව පවතිනවා. ිජරුැබ ප්ටබසසෙබැ තිරයේ පවතින දේ විශාල කර පෙන්වන මෘදුකාංග අපි ළඟ අපේ ආයතනයේ පවතිනවා. ආබාධිත ප්‍රජාව භාවිතා කරන බ්‍රේල් ක්‍රමය යොදාගෙන එම දැනුම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර පසුව ඉංග්‍රීසි දේවල් බ්‍රේල් ක්‍රමයට පරිවර්තනය කිරීමට හැකියාව පවතින උපකරණ අප සතුව පවතිනවා. කොටින්ම කීවොත් මෙම ප්‍රජාව අද ලෝකයේ භාවිතා කරන හොඳම නවීන තාක්ෂණය මේ ඒකකය සතු වෙනවා. මේ ක්‍රමවේද මගින් දැනුම ලබා දීමත්, දැනුම ලබා ගැනීමටත් හැකිවන ලෙස ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේද සකස් කර පවතිනවා. ඒ අනුව ගණිතය වගේ අමාරු විෂයක් වුවත් ඉගෙන ගැනීමට පහසුකම් සලසා දීම මේ ඒකකය විශේෂත්වය. භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, රූපසටහන්, ගණිත සමීකරණ හා වෙනත් අත්‍යවශ්‍ය අංග අධ්‍යයනයට පහසු ලෙස පරිවර්තනය කර දරුවන්හට ඉගෙනීමට හැකි පරාසයක් මෙමගින් නිර්මාණය කර තිබෙනවා.
එමගින් ඉගෙනුම් ක්‍රියාවලිය හා ඉගැන්වීම් ක්‍රියාවලිය නිවැරදිව සිදු කිරීමට අවකාශය උදා වෙනවා. අපි සියලුම ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ මේ පහසුකම් තුළින් ආබාධිත දරුවකුට ගත හැකි ප්‍රයෝජන රාශියක් පවතිනවා. ලෝකය දිනිය හැකි කෙනකු ලෙස ගොඩනැඟෙන්න හැකියාව පවතිනවා. අපි ගුරුවරුන්ට මේ පිළිබඳ දැනුම ලබා දෙන්නත් ක්‍රමවේද සකස් කරා. දරුවන් මුහුණ දෙන ගැටලු නිරාකරණය ප්‍රවේශයන් අපි නිර්මාණය කරලා පවතිනවා. එක් අවස්ථාවක උසස් පෙළ හදාරන්න විද්‍යා විෂය ධාරාවෙන් දරුවෙක් ආනන්ද විද්‍යාලයට ඇතුල් වෙන්න ගියත් එය නිවැරදිව සිදු කර ගන්න බැරි වුණා. මේ දරුවා ගේ ඇස් පේන්නේ නෑ. ඒ නිසා විද්‍යාලයේ ගුරුවරුන්ට මනා දැනුමක් නොතිබුණ නිසා ඒ අවස්ථාව ඒ දරුවාට අහිමි වුණා. අපි ගුරුවරුන්ට අවශ්‍ය දැනුම ලබාදෙන්න තීරණය කළේ මෙම සිදුවීමේ ප්‍රතිඵලයක් හැටියටයි. දරුවාට අවස්ථාවක් උදා කරලා දීලා දරුවා රටට සම්පතක් කිරීමයි අපේ අරමුණ. අද වෙනකොට කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා අංශයෙන් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව හා ජීව විද්‍යාව යන විෂයන් ඉගෙන ගනිමින් ඒ දරුවා උසස් අධ්‍යාපනයට යොමු වෙලා ඉන්නවා. ඒක ලොකු ජයග්‍රහණයක් මේ ව්‍යාපෘතිය මගින් උදාකරලා දීපු. ඉතිහාසයේ මෙතෙක් ආබාධ සහිත දරුවෙක් අන්ධ දරුවෙක් විද්‍යාව විෂය හදාරලා තිබුණෙ නැහැ.”

රටේ ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේදී රටේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ මේ ප්‍රජාව සඳහා අවස්ථා සහ වැඩි අවකාශයන් උදා කිරීමට පියවර රැසක් ගෙන ඇති බව ද මහාචාර්යවරිය පවසන්නීය.

විශ්වවිද්‍යාල කොමිෂන් සභාව හරහා අන්තර්කරන අධ්‍යාපනයේ අවශ්‍යතාවය අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හැකියාව ලැබී තිබේ. එහිදී අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනයේදී මෙම අංගය අත්‍යවශ්‍ය බව සනාථ කිරීමට ද, සමාජයේ අධ්‍යාපනය වෙනුවෙන් නොතිබූ අවස්ථාවන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ලබා දීමට අපට හැකියාවක් ලැබීම ඔවුන් ලද ජයග්‍රහණයකි. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා විශේෂ අවශ්‍යතා සහිත ශිෂ්‍ය ප්‍රජාවගෙන් විශ්වවිද්‍යාල වරම් හිමිකර ගන්නේ 0.03 ක ප්‍රතිශතයකි. මෙය ඉතා සුළු ප්‍රමාණයක් වන්නේය. බොහෝ රටවල විශේෂයෙන් අසල්වැසි ඉන්දියාවේ පවා මේ සඳහා නීතිමය පසුබිමක් සකස් වී තිබේ. තෘතීක අධ්‍යාපනයේදී 5% ක ප්‍රතිශතයක් විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවට වෙන් විය යුතුය.

පේරාදෙණි විදු පියසෙන් සහනයක්...ඒ දරුවන්ටත් උසස් අධ්‍යාපනය සිහිනයක්

“අපේ රටේ ප්‍රතිපත්තිවලට මේවා එක්වීම කාලීන අවශ්‍යතාවයක් ලෙසයි අප දකින්නේ. විශ්වවිද්‍යාල කොමිෂන් සභාව සමග එක්ව මේ සඳහා අපි නිශ්චිත විසඳුමක් ලබා ගැනීමට සූදානමින් සැලසුම් ඉදිරිපත් කරමින් සිටිනවා.”

මහාචාර්ය ටී. එම්. සකුන්තලා යටිගම්මන ඒකනායක කියන්නීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් ද, මෙම ඒකකයේ වගකීම් සහගත බව පිළිබඳව බොහෝ කරුණු කීවේය.

“මෙම විශේෂ සම්පත් මධ්‍යස්ථානය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කළේ විදේශ ආධාර මත. අපි අරමුදල් සපයා ගැනීමට නොහැකි වූ නිසා අපි එම යෝජනාව යුරෝපා සංගමයට යොමු කළා. ඒ අය මේ යෝජනාව පිළි අරගෙන යුරෝ මිලියනයක් අපිට අරමුදල් ලෙස ලබා දුන්නා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න. අපි මේ වන විට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුනක් මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා සිටිනවා. ඒ අතර රුහුණ විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලය හා පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වන ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය මෙයට සම්බන්ධ වෙනවා. ඒ වගේම යුරෝපීය විශ්වවිද්‍යාල 4ක් අපි සමඟ සම්බන්ධ වෙනවා. මෙම සියල්ලෙන්ම අපි අපේක්ෂා කරන්නේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සිටින තත්ත්වයෙන් ඉහළට ගෙන ඒමට අවශ්‍ය දැනුම පුහුණුව හා සමාජකරන ක්‍රියාවලිය විධිමත්ව සිදු කිරීමයි. විදේශ රටවල විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් සියලු පහසුකම් හා නීතිරීති සැකසිලා පවතිනවා. ඒ නිසාම ඒ රටවල ආබාධිත දරුවන්ට කියලා විශේෂයක් නැහැ. ඔවුන්ට අනෙක් ජනයාට සමානව සියලු කාර්යයන් සඳහා ප්‍රවේශ වෙන්න ඉඩකඩ සකස්කර පවතිනවා”.

දැනට දරුවන් තිස් දෙදෙනෙක් මෙහි අධ්‍යාපන කාර්යයේ නිරත වන්නේය. නූතන අධ්‍යාපන ක්‍රමවේදයන් යටතේ විශ්වවිද්‍යාල ප්‍රජාවට මෙන්ම උසස් අධ්‍යාපනයට යොමුවන දරුවන් වෙනුවෙන් සම්පත් මධ්‍යස්ථානයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට අවකාශ ලැබී තිබේ. මෙහි සේවාවන් පුළුල් කරමින් විශේෂ අවශ්‍යතා සහිත දරු පරපුරේ අනාගත අභියෝග ජය ගැනීමට හැකි වටපිටාවක් නිර්මාණය කිරීම ඔවුනගේ එකම ප්‍රමුඛ අරමුණ බව අපි දුටිමු.

“විශේෂ සම්පත් මධ්‍යස්ථානයෙන් ‘අධ්‍යයන කටයුතු සිදුකරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යාවක් වන සඳමිණී පියුමිකා සිය අත්දැකීම් ගැන මෙසේ කියන්නීය..”

මේ සම්පත් මධ්‍යස්ථානයේ දී අපිට සාමාන්‍ය කෙනකුට හා සමානව දැනුම ලබා දෙනවා. ඒ නිසා අපි අපේ තියන ආබාධ නොසලකා මේ ක්‍රමවේද තුළින් ඉගෙන ගැනීමේ කටයුතු සිදුකරගන්න හුරුවෙලා තියෙනවා. මේක ඇත්තටම විශේෂ අවශ්‍යතා සහිත අපිට හොඳ අවස්ථාවක්. ඒක අපි දැන් අත්විඳිනවා. අපිට බ්‍රේල් මගින් කටයුතු කරන්න පුළුවන්. නමුත් නව තාක්ෂණය යොදාගෙන වැඩ කරගන්න, අධ්‍යාපනය කරගන්න වගේම ජීවිතයේ ඉදිරි එදිනෙදා කටයුතුවලට මේ තාක්ෂණය එක්ක ලැබෙන පිටුවහල ගොඩක් වටිනවා. ආබාධ පැවතිය ද අනාගතය ජය ගන්න අපට පුළුවන් කියලා දැන් අපිට තේරෙනවා. ක්‍රමානුකූලව අපට ඉගෙනුම් ප්‍රවේශයන් වෙත ළඟාවීමට අවශ්‍ය මඟපෙන්වීම මේ ඒකකයෙන් ඒ සඳහා අවස්ථාව අද අපිට ලබා දීලා තියෙන්නේ. ආබාධ තියාගෙන ඔබ දුක් විඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි වගේ උසස් අධ්‍යාපනයට යොමු වෙනවා නම් ඕන තරම් ක්‍රමවේද පවතිනවා. ඒ නිසා ඔබත් මේ සම්පත් මධ්‍යස්ථානයට එක්වී මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න කියලා මං අපේ සහෝදර විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.”

රටේ බොහෝ උදවිය දැනගත යුතු වැදගත්ම කාරණයක් වුව මේ පිළිබඳව දැන සිටින්නේ ඉතා අතළොස්සක් බව පෙනෙන්නට තිබේ.

මෙවැනි කාරණා ගැන ප්‍රමුඛතාවයන් දී කතාබහ කළ යුතු බව නිසැකය. එය එපමණකටම සමාජ මෙහෙවරක් වන නිසාය.

ජානක සම්පත් බණ්ඩාර
ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment