ජාඇල සුපිරි නිවසක කුණු ආහාර ගබඩාවට සීල් තබයි

412

මහජනතාවගෙන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී වෙළෙඳපොළට බෙදාහැරීම සඳහා සූදානම් කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වී ගිය ආහාර ද්‍රව්‍ය තොගයක් කඳාන පියෝ මාවතේ ව්‍යාපාරිකයකුට අයත් සුපිරි නිවසක ගබඩා කර තිබියදී අත්අඩංගුවට ගෙන මුද්‍රා තැබූ බව ජාඇල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන මුද්‍රා තැබූ ආහාර ද්‍රව්‍ය අතර නරක් වූ අල කිලෝ 1769ක්, ලූනු කිලෝ 732ක්, ගුල්ලෝ ගසා තිබූ කඩල කිලෝ 2600ක්, පරිප්පු කිලෝ 29ක්, හාල් කිලෝ 20ක්, උඳු කිලෝ 150 ක් වන බව ජාඇල සෞඛ්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.

ආහාර තොගය සමග ගුල්ලන් ඉවත් කිරීමට ගන්නා විශේෂ පෙනේර පහක් ද, ආහාර ද්‍රව්‍ය ගෝනිවලට ඇසුරුම් කිරීමේදී භාවිතයට ගන්නා මැෂිමක්ද මෙම ස්ථානයේ තිබී අත්අඩංගුවට ගත් බව වැටලීම සිදුකළ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් කඳාන ප්‍රදේශයේම පදිංචි සැකකරුවන් දෙදෙනකු හඳුනාගෙන ඇති අතර ඔවුන් වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

නිවෙස හිමි ව්‍යාපාරිකයා දැනට විදේශගතව සිටින අතර එම නිවසේ භාරකරු ලෙස කටයුතු කරන පුද්ගලයකු විසින් මහජන සෞඛ්‍යයට අහිතකර මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත්, මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම ආහාර තොගය ඉකුත් 07 දා කොළඹ වරායේ සිට මෙම ස්ථානයට ගෙනවිත් තිබූ බවත් විමර්ශන කටයුතුවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

කඳාන පොලිසියේ සහාය ඇතිව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්. එල්. ජේසුනේශන්ගේ මහතාගේ උපදෙස් මත ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ජයකොඩි මහතාගේ අධීක්ෂණය යටතේ ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්ත කඳාන (1) මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ උප කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ටී.පී. චාමික මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන පරීක්ෂකවරුන් වන කේ.එච්.පී. සිතිජය, ඩුෂාන් ඥනප්‍රකාසම් යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කොට ඇත.

ඡායාරූප-

අදාළ නිවස වැටලූ අවස්ථාව අත්අඩංගුවට ගත් නරක්වූ ආහාර ද්‍රව්‍ය

බී. ටී. කොටින්කඩුව – ජාඇල අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment