දඹුලු කෙල්ලෝ කිරුළු පළඳිති

129

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ මෙරට ප්‍රධානතම දේශීය කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (භීඛ) තරගාවලියේ ශූරතාව සමඟ රුපියල් ලක්ෂ 10ක මුදල් ත්‍යාගය දඹුල්ල පළාත් පිල දිනා ගත්තේය. කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ පෙරේදා (12 වැනිදා) පැවැති දඹුල්ල – කොළඹ අතර අවසන් මහා තරගයේදී දඹුල්ල පිල කඩුලු 7ක විශිෂ්ට ජයක් ලබමින් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.

දඹුල්ල පළාත් පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට කොළඹ පිලට ආරාධනා කළ අතර, එක් පිලකට ඕවර් 50කට සීමා වූ තරගයේදී කොළඹ පිල ඕවර් 25.3කදී ලකුණු 66කට සියලු දෙනා දැවී ගියහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල ක්‍රීඩිකාවෝ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පන්දු වාර 11.2කදී සම්පූර්ණ කළහ.

කොළඹ පිලේ බලාපොරොත්තු සුන් කරමින් පන්දු යැවූ දඹුල්ල පිලේ 17 හැවිරිදි මනුදි නානායක්කාර ලකුණු 18කට කඩුලු 5ක් බිඳ හෙළා තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වූ අතර, නිමේෂා මධුෂානි කඩුලු 3ක් හා සත්‍යා සංදීපනී කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වූහ.

තරගාවලියේ දක්ෂතම පිතිකාරිණිය ලෙස නොදැවී ලකුණු 130ක් සමඟ ලකුණු 188ක් ලැබූ දඹුල්ල පිලේ හර්ෂිතා සමරවික්‍රමට රුපියල් ලක්ෂ 1.5ක මුදල් ත්‍යාගය හා සම්මානය, දක්ෂතම පන්දු යවන්නිය ලෙස තරග 3කදී කඩුලු 8ක් බිඳහෙලූ කොළඹ පිලේ සචිනි නිසංසලාට රුපියල් ලක්ෂ 1.5ක වූ මුදල් ත්‍යාගය හා සම්මානය, අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි රුපියල් 750000ක මුදල හා සම්මානය දඹුල්ල පිලේ මනුදි නානායක්කාරට හා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි රුපියල් ලක්ෂ 2ක ත්‍යාගය හා සම්මානය ලකුණු 72ක් හා කඩුලු 7ක් බිඳ හෙලූ කවීෂා දිල්හාරීට හිමි වූහ.

අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ දඹුල්ල පිල මූලික වටයේදී මහනුවර පිල කඩුලු 5කින් හා ගාල්ල පිල ලකුණු 178කින් පරාජය කළ අතර, කොළඹ පිල වෙතින් මූලික වටයේදී ගාල්ල පිල කඩුලු 8කින් හා දඹුල්ල පිල කඩුලු 6කින් පරාජයට පත් කළේය.

ලකුණු සාරාංශය

කොළඹ පිල සියලු දෙනා දැවී ලකුණු 66 (ඕවර් 25.3)

නෙත්මි පූර්ණා 6, ප්‍රසාදිනී වීරක්කොඩි 19, රොෂිනි පෙරේරා 6, ජනාදි අනලි 14, ඉනෝෂි ප්‍රනාන්දු නොදැවී 5, අතිරේක 14 (සත්‍යා සංදීපනී 12/2, මනුදි නානායක්කාර 18/5, නිමේෂා මධුෂානි 13/3)

දඹුල්ල පිල කඩුලු 3ක් දැවී ලකුණු 68 (ඕවර් 11.2)

සඳනි වීරසිංහ නොදැවී 18, ඉමල්කා මෙන්ඩිස් 10, හර්ෂීතා නානායක්කාර 13, මල්ෂා ෂෙහානි 10, සත්‍යා සංදීපනී නොදැවී 8, අතිරේක 9 (සචිනි නිසංසලා 20/1, ශෂිනි ගිම්හානි 12/1, තරුෂි තත්සරණි 12/1)

advertistmentadvertistment
advertistmentadvertistment