දුම්රිය ඇණ බිල්ල මෙල්ල කරන්න 300ක බළකායක්

1300

දුම්රිය මාර්ගවල ඇණ ගලවාගෙන යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් 300 දෙනකුට අධික පිරිසක් යෙදවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී. එස්. පොල්වත්තගේ මහතා ‘දිවයින’ට ඊයේ (07 දා) පැවසීය.

පසුගිය දින කීපයේදී කැලණිවැලි දුම්රිය මාර්ගයේ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ හා ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය පිලී පැනීමට මූලික හේතුව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් දුම්රිය මාර්ගයේ පීලි හා සිල්පර කොටන්වලට සම්බන්ධ කර තිබෙන ඇණ ගලවාගෙන යෑම බව ද හෙතෙම කියා සිටියේය.

මෙම තත්ත්වය මත දුම්රියේ ගමන් ගන්නා මගී ජීවිත ද ඉතා අනතුරේ බව ද ඒ මහතා කීවේය.

මේ හේතුවෙන් කොළඹ ඇතුළු දිවයිනේ මාර්ගවල ඇණ ගැලවීමේ සිද්ධීන් වාර්තා වීම නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් මෙලෙස ආරම්භ කළ බව ද හෙතෙම කීය.

එමෙන්ම, මෙලෙස දුම්රිය මාර්ගවල යම්කිසි පුද්ගලයකු හෝ පිරිසක් ඇන ගලවන්නේ නම් ඒ ගැන ළඟම ඇති පොලිසියට දැනුම් දෙන ලෙස ද හෙතෙම මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment