දොඹගොඩ යුද හමුදා කඳවුරේ සෙබළෙකුගේ මළ සිරුර පොකුණකින් හමුවේ – ඝාතනයක් දැයි සොයයි

540

පොලිසියෙන් හා යුද හමුදා පොලිසියෙන් පුළුල් පරීක්ෂණ

හොරණ දොඹගොඩ යුද හමුදා යුද උපකරණ කඳවුරේ පොකුණේ තිබී අභිරහස් ලෙස මියගිය ශාරීරික පුහුණු උපදේශක සෙබළකුගේ මළ සිරුරක් හමුවීම පිළිබඳව අඟුරුවාතොට පොලිසිය හා යුද හමුදා පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ තෙලුල්ල ජනපදය, ඇතිලිවැව ලිපිනයේ පදිංචිව සිටි තරිඳු ලක්ෂාන් නමැති සෙබළෙකි.

දොඹගොඩ යුද හමුදා කඳවුරේ සෙබළෙකුගේ මළ සිරුර පොකුණකින් හමුවේ - ඝාතනයක් දැයි සොයයි

මෙම මරණය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස යුද හමුදා පොලිසියට උපදෙස් ලබාදී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතා ඊයේ (29 වැනිදා) ‘දිවයින’ට පැවැසීය.

අඟුරුවාතොට පොලිසියට ලැබුණු තොරතුරු මත පානදුර අපරාධ පරීක්ෂණ අංශයේ නිලධාරීන් සහ අඟුරුවාතොට පොලිසිය යුද හමුදා කඳවුරට ඇතුළු වී මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මළ සිරුර පිළිබඳ ස්ථානීය පරීක්ෂණය හොරණ අධිකරණ මහෙස්ත්‍රාත්වරයා විසින් ඊයේ (29 වැනිදා) දොඹගොඩ යුද හමුදා උපකරණ කඳවුරේදී සිදුකළ අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (30 වැනිදා) හොරණ රෝහලේදී අද සිදුකිරීමට නියමිතය.

මියගිය සෙබළාගේ සීයා ප්‍රේමරත්න වර්ණසිංහ ආරච්චි මහතා (62) මෙසේ මාධ්‍යයට අදහස් දැක්වීය.

මුණුපුරා 27 වැනිදා රාත්‍රි දහයට පමණ පුතා දුරකථනයෙන් තාත්තට කතා කරලා කෙඳිරිගාමින් ‘තාත්තේ තාත්තේ’ කියලා කතා කරලා තියෙනවා. පුතාට ලොකු කරදරයක් බව කතා කරපු විලාසය අනුව වැටහිලා තියෙනවා. ඒ මොහොතේම නැවත පුතාට කෝල් එකක් අරගත්තත් ෆෝන් එක වැඩ කළේ නෑ. ඊට පස්සේ පුතාගේ යාළුවෙක්ගේ ෆෝන් එකකට කෝල් එකක් අරගෙන පුතා කොහේද කියල විස්තර අහල තියෙනවා. එතකොට කිව්වලු විසි හත රෑ ඉඳලා අතුරුදන් වෙලා අපි මේ තාම හොයනවා කියලා, පුතාගේ යාළුවා කිව්වා. ඊට පස්සේ ඉඳලා මේ වෙනකන් හොයල තියෙනවා.

අපි දෙතුන් පාරක් පුතාගේ යාළුවට කතා කළා. තාම හොයනවා කියලා පුතාගේ යාළුවෙක් කිව්වා. අද 29 උදේ පාන්දර 5.30 ට විතර කෑම්ප් එකෙන් කෝල් කරලා කියලා තියෙනවා වැවේ මළ සිරුරක් තියෙනවා තාම අඳුරගත්තේ නෑ කියලා. ඊට පස්සේ ඉක්මනට ලෑස්ති වෙලා අපි කට්ටිය කෑම්ප් එකට ආවා. මේ පුතා අපේ පවුලේ දෙවැනියා. එයාට කිසිම ප්‍රශ්නයක් තිබුණු දරුවෙක් නෙමෙයි. ගෙදරත් හොඳට හිටියා. කෑම්ප් එක ඇතුළෙත් යාළුවෝ කිව්වා හොඳින් වැඩ කරගෙන හිටියා කියලා. අපිට මේ මරණය අභිරහසක්. මේ තරම් ආරක්ෂාව තියෙන කෑම්ප් එකක් ඇතුලේ මෙහෙම මරණයක් සිදුවුණා කිව්වම අපිටත් පුදුමයි. 27 වැනිදා ඉඳන් මේ වෙනකන්ම පුතාව කෑම්ප් එක ඇතුලේ හොයාගන්න බැරි වෙච්ච එක ගැන අපිට සැකයක් තියෙනවා යැයි සීයා විසින් පැවසීය.

ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment