දෝනිගේ නායකත්වයෙන් චෙන්නායි  පළමු ජය ලබයි

190

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දෝනිගේ නායකත්වය යටතේ ලද පළමු ජය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පෙරේදා (01 වැනිදා) සමත් විය. ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 13කින් පරාජයට පත් කරමිනි.

 තරගාවලියේ 46 වැනි තරගය ලෙසින් ක්‍රියාත්මක වූ අදාළ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 202ක ඉලක්කයක් සන්රයිසස් කණ්ඩායමට ලබා දුන්නේය. ඒ අනුව ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 189ක් පමණි.

 චෙන්නායි පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 182ක සාර්ථක ලකුණු සම්බන්ධතාවක් එක් කිරීමට රුට්රාජ් ගයික්වඩ් සහ ඩෙවෝන් කොන්වේ සමත් විය. මෙවර අයි.පී.එල්. තරගාවලියේ ශතක ලාභි ලැයිස්තුවට ඇතුළත් වීමට එක් ලකුණක් පමණක් මෙපිටින් සිටියදී රුට්රාජ්ගේ කඩුල්ල ලබා ගැනීමට ටී. නටරාජ් සමත් විය. දැවී යවනවිටදී පන්දු 57කට මුහුණ දී සිටි රුට්රාජ් හයේ පහර 6ක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 99ක් ලබා සිටියේය. ඩෙවොන් කොන්වේ පන්දු 55කදී නොදැවී ලකුණු 85ක් වාර්තා කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් සමගිනි.

 සන්රයිසස් හයිද්‍රාබාද් වෙනුවෙන් පළමු කඩුල්ලට ලකුණු 58ක ලකුණු සම්බනධතාවක් එක් කිරීමට අභිෂේක් ෂර්මා (39) සහ කේන් විලියම්සන් (47) සමත් විය. නිකලස් පූරන් පන්දු 33කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 64ක් රැස් කළේය.

 සන්රයිසස් කණ්ඩායමට එරෙහිව තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 4 ලකුණු 26කට සීමා කළේය. මුකේෂ් චෞද්රි ලකුණු 46කට සන්රයිසස් කඩුලු 4ක් බිඳ දැමීය.

advertistmentadvertistment
advertistmentadvertistment