නවසීලන්තය පරදවා පකිස්තානය අවසන් මහ සටනට

119

නවසීලන්තය සමග ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේදී ඊයේ (09 වැනිදා) පැවති 2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් ලබා ගත් බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන කණ්ඩායම ලබන 13 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

ඊයේ පැවති තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කර ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 152ක් ලබා ගත් අතර පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 19 යි එක් පන්දුවක් තුළදී කඩුලු 3ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

මෙම කණ්ඩායම් දෙක පසුගිය තරගාවලියේදී ද අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබූ අතර එවර ඔස්ටේ්‍රලියාව හමුවේ පකිස්තානය පරාජයට පත් වූ නමුත් එංගලන්තයට එරෙහිව නවසීලන්තය ජයග්‍රහණය කළේය.

මෙවර නවසීලන්තයට එම කඩඉම පසු කරන්නට නොහැකි වූවත් පාකිස්තානය එම කඩඉම ජය ගෙන අවසන් මහා තරගය සඳහා තේරී පත්වූයේය.

පාකිස්තානය සමග අවසන් මහා තරගයේ අනෙක් ප්‍රතිවාදියා කවුරුන්ද යන්න ඉන්දියාව සහ එංගලන්තය අතර අද පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ දී තීරණය වනු ඇත. එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 13 වැනිදා පාකිස්තානය සමග තරග වැදීමට නියමිත අතර ඉන් ජය ගන්නා කණ්ඩායම 2022 ලෝක ශූරයන් වනු ඇත.

නවසීලන්තයට එරෙහිව ඊයේ පැවති තරගයේදී පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූ පකිස්තාන ආරම්භක පිතිකරු යුගලය වූ නායක බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 105 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත් වූහ.

එහිදී නායක බාබර් අසාම් ලකුණු 53 ක ට දැවී ගිය අතර ඒ වන විට ඔහු පන්දු 42 ට මුහුණ දී හතරේ පහර 7ක් තම ඉනිමට එක් කරගෙන තිබුණි.

මොහොමඩ් රිස්වාන් ලකුණු 57ක් ලබා සිටියදී පාකිස්තාන කණ්ඩායමේ දෙවෙනි කඩුල්ල ලෙස දැවී ගිය අතර ආරම්භක පිතිකරු යුගලයේ කඩුලු දවා ගැනීමට නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ටේ‍රන්ට් බෝල්ට් සමත් වූයේය. තෙවැනි කඩුල්ල ලෙස මොහොමඩ් හරිස් දැවී ගිය අතර ඒ වනවිට හරිස් කණ්ඩායමට අවශ්‍යම වූ ලකුණු 30ක් සිය පිත්තෙන් ලබා දී තිබුණේය.

නවසීලන්තය වෙනුවෙන් ඩැරිල් මිචෙල් වේගවත් ලකුණු 53 ක් රැස් කිරීමට සමත් ව තිබූ අතර පන්දු 35ක් පමණක් වැය වූ මිචෙල් ගේ ඉනිමට හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත විය. නායක කේන් විලියම්සන් ලකුණු 46ක් ලබාගෙන ඉනිම ගොඩනගන්නට දායකත්වය දුන් අතර ශහීන් ශා අෆ්රිඩි කඩුලු දෙකක් සහ මොහොමඩ් නවාස් එක් කඩුල්ලක් දවා ගත්තේය.

කසුන් රණවීර ඔස්ටේ්‍රලියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment