ආදායමට නොගැළපෙන අධික වියදම් දැරීමේ ආර්ථික විපාක

219

● ආර්ථික අගාධයෙන් ගොඩ ඒම

දැනට අප ඇද වැටී සිටින ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට මූල්‍ය අරමුදල මතම පමණක් යැපිය නොහැකි බව අප දැනටමත් පෙන්වා දී ඇත. එනම් මූල්‍ය අරමුදල සමග යන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනත් සමග මේ දරුණු ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට රජයට ද පුළුල් සැලසුමක් තිබිය යුතු වේ. එහෙත් කනගාටුවට කරුණ වන්නේ තවමත් රජයට එවැනි පුළුල් සැලසුමක් ඇති බවක් දක්නට නොලැබීමයි. අපට පෙනෙන්නේ අයිඑම්එෆ් එකට එකඟ වී ඇති කරුණු පමණක් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින බවකි. මේ නිසා වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මතම යැපෙන්නේ නැතුව රට ඔසවා තැබීමට සමත් සැලසුමක් ඇති කර ගන්නා ලෙස අපි රජයට කියා සිටිමු. එසේම ජනයා අසීමිතව පීඩාවට පත්ව සිටියත් රජය තවමත් ප්‍රමාණවත් ලෙස පටි තද කරගෙන ඇති බවක් ද දැකිය නොහැකිය. රට මුහුණ දී සිටින අමාරු තත්ත්වය හමුවේ රාජ්‍ය ඇමැතිවරුන් විශාල පිරිසක් පත් කිරීමේ සිට රජයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මේ වන විට බොහෝ විවේචන එල්ල වී තිබේ. විපක්ෂ කණ්ඩායම් සහ නොයෙකුත් ආර්ථික විද්වතුන් ද මේ ගැන ප්‍රශ්න කරමින් සිටී.

● ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රගතිය අයිඑම්එෆ් මූල්‍ය පහසුකම ලබා

ගැනීම සම්බන්ධයෙන් වන ක්‍රියාවලියේ මේ වන විට සිදු වනුයේ අපගේ ණය හිමියන් සමග සාකච්ඡා කිරීමයි. එය ඉතා සංකීර්ණ හා අසීරු ක්‍රියාවලියකි. මේ සම්බන්ධයෙන් දැනට කටයුතු කරගෙන යන්නේ ඒ සඳහා පත් කර ඇති මූල්‍ය සහ නීති උපදේශක සමාගම් වන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් යන සමාගම්ය. ඔවුන්ගේ සම්බන්ධීකරණය ඇතිව පසුගිය නොවැම්බර් 03 වැනිදා මාර්ගගත තාක්ෂණය ඔස්සේ ණය හිමියන් සමග තවත් සාකච්ඡාවක් පැවැත්විණි. මේ වන විට ශ්‍රී ලංකාව සියලු ණය හිමියන් සමඟ සාධාරණ සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරි කටයුතු කරගෙන යෑමට පූර්ණ වශයෙන් කැපවී සිටින බව රජය කියයි. මෙම හමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සඳහා වන විධායක මණ්ඩල අනුමැතිය ලබා ගැනීමේ තවත් එක් වැදගත් පියවරක් ලෙස සැලකේ. අපගේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුත්තේ දී චීනය, ඉන්දියාව සහ ජපානය යන අපගේ ප්‍රධාන ණය හිමි රටවල මුල්‍යකරණ සහතික කිරීම් ලබා ගැනීම ඉතාමත් තීරණාත්මක ය. එම රටවල් සහ අනෙකුත් ණය හිමි රටවල් වෙතින් මූල්‍යකරණ සහතික කිරීම් ලබාගෙන එහි ප්‍රගතිය අප විසින් මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කළ යුතුව තිබේ. එසේම අනෙකුත් අයිඑම්එෆ් කොන්දේසි ඉටු කිරීමට ද සිදු වේ. එතෙක් අපට අයිඑම්එෆ් මූල්‍ය පහසුකම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගත හැකි නොවේ. එය කවදා වන විට අපට ඉටු කරගත හැකි වනු ඇතිද යන ප්‍රශ්නය මේ වන විට මතුව ඇත. එම අනුමැතිය ඉතා ඉක්මනින් එනම් අඩු තරමේ 2023 ජනවාරි මාසයේදීවත් ලබාගත හැකි වුවහොත් ඒ මත මේ ගමන් මගේ අපට ඉදිරියට වේගයෙන් ගමන් කළ හැකි වනු ඇත. ඒ මත අඩු තරමේ වසර තුනක පමණ කාලයකින් ක්‍රමයෙන් අප මුහුණ දී සිටින උග්‍ර විදේශ විනිමය අර්බුදය සමනය කරගත හැකි වනු ඇත. එහෙත් අපගේ ආර්ථිකය ගොඩ දාගත යුත්තේ අප විසින්මය. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පමණක් භාර දී ඔවුන් කියන කියන දේ පමණක් ඉටු කරමින් සිටීම රජයේ කටයුත්ත නොවනු ඇත.

ආදායමට නොගැළපෙන අධික වියදම් දැරීමේ ආර්ථික විපාක

● චීනයේ සහතිකය

අයිඑම්එෆ් සහාය ගැනීම සඳහා අපගේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුත්තේ දී චීනය ඉතාමත් තීරණාත්මකය. මේ දෙස බොහෝ දෙනෙක් බලා සිටී. මේ අතර මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා තම රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි-ශෙන්හොන් මහතා ප්‍රකාශ කර ඇත. රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පසුගිය නොවැම්බර් 07 වැනිදා නිල වශයෙන් හමු වූ අවස්ථාවේ දී ඔහු මේ බව ප්‍රකාශ කළ බවට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් විය. මෙය සතුටුදායක පණිවිඩයකි. දීර්ඝ කාලයක් පුරා දෙරට පැවති සම්බන්ධතා ශක්තිමත් කර

ගනිමින් ශ්‍රී ලංකාවට තවදුරටත් සහයෝගය දක්වන බව ද මෙම සාකච්ඡාවේ දී චීන තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකාව කිසිසේත් ම තනි නොකරමින්, පවතින අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදා ගෙන යථා තත්ත්වයට පත් කර ගැනීමට අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට තානාපතිවරයා මෙහි දී සහතික වී ඇත. මෙසේ අපගේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා චීනයෙන් ලැබෙන සහය අත්‍යවශ්‍යම දෙයකි. කෙසේ හෝ මේ අපගේ ණය හිමි රටවල සහාය ලැබී ඉතා ඉක්මනින් අපගේ මූල්‍ය පහසුකමට අයිඑම්එෆ් විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එවිට වෙනත් ද්විපාර්ශ්වික සහ බහු පාර්ශ්වික සහය ද ලබාගෙන මේ ගමන අපට වේගයෙන් ඉදිරියට යෑමට හැකිවේ. ඒ සඳහා රජයට සහ මහ බැංකුවට විශාල කාර්යභාරයක් කිරීමට ද සිදුවනු ඇත. මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රමුඛ නියෝජිතයින් කරමින් සිටින කාර්යභාරය අපි අගය කරමු. මෙය නිසැක වශයෙන්ම ජනයාට පීඩාකාරී අමාරු කාලයක් බවට කිසිම සැකයක් නැත. මෙහිදී රජයේ ඉහළ සිට පහළට මෙන්ම සාමාන්‍ය ජනයාට ද තව තවත් පටි තද කර ගැනීමට සිදුවනු ඇත. ඇතැම් විට කන කෑම වේල පවා සීමා කර ගැනීමට සිදුවනු ඇත. දුක් විඳීමට සිදුවනු ඇත. ඒ ගැන ඕනෑතරම් මාධ්‍ය හරහා මහජන අදහස් ඉදිරිපත් වනු ද අපට දැකගත හැකිය.

● සැප්තැම්බර් මස අපනයන ආදායම

සෑම මසකම ආර්ථිකයේ විදේශ අංශයේ ක්‍රියාකාරිත්වය මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරයි. ඒ අනුවම මහ බැංකුව පසුගියදා 2022 සැප්තැම්බර් මාසයේ විදේශ අංශයේ ක්‍රියාකාරිත්වයට අදාළ තොරතුරු ප්‍රකාශයට පත් කළේය. මේ අනුව පොදුවේ ගත් විට 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී අපනයන ආදායම ඉහළ අගයක පැවතුණු අතර එය සැප්තැම්බර් මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1079 ක් දක්වා 2021 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 4.3 කින් වර්ධනය වී ඇත. 2021 සැප්තැම්බර් මාසයේ අපගේ අපනයන ආදායම වූයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1034 කි. මේ අතර ගිය වසරේ (2021) මුල් මාස නවයට සාපේක්ෂව මේ වසරේ (2022) මුල් මාස නවයේ දී මෙරට මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 8938 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 9981 දක්වා සියයට 11.7 කින් වර්ධනය වී ඇත.

● සැප්තැම්බර් මස ආනයන වියදම්

ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයනවල කැපී පෙනෙන පහළ යෑමක් නිරූපණය කරමින් ආනයන වියදම් අඛණ්ඩව හත්වන මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගොස් ඇත. මේ අතර ගිය වසරේ (2021) මුල් මාස නවයට සාපේක්ෂව මේ වසරේ (2022) මුල් මාස නවයේ දී මෙරට මුළු ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 14938 සිට සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 14085 ක් දක්වා සියයට 5.7 කින් අඩු වී ඇත. එසේම 2021 වසරේ සැප්තැම්බර් මස ඇමෙරිකානු ඩොලර් මිලියන 1526 ක් වූ ආනයන වියදම මේ වසරේ (2022) සැප්තැම්බර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1284 ක් දක්වා සියයට 15.8 කින් අඩු වී ඇත. මෙය සැලකිය යුතු ලෙස ආනයන වියදම අඩු වීමකි. විදේශ විනිමය අර්බුදය හමුවේ අප විසින් ක්‍රියාත්මක කළ ආනයන පාලන ක්‍රියාමාර්ග මීට ප්‍රධාන වශයෙන් හේතු වූ බවට සැකයක් නැත.

● වෙළෙඳ හිඟය අඩු වෙයි

මෙසේ අපනයන ආදායම් වර්ධනය වීම සහ ආනයන වියදම් අඛණ්ඩ අඩු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් වෙළෙඳ හිඟය ද අඩු වී ඇත. එනම් ආනයන වියදම් සහ අපනයන ආදායම අතර පරතරය අඩු වී ඇත. විදේශ විනිමය නැත්තටම නැති වීමේ තත්ත්වය හමුවේ මෙය අපට සහනයකි. අප හැකිතාක් දුරට විදේශ විනිමය ඉපයුම් වර්ධනය කරගන්නා අතරම කළ යුත්තේ අපගේ විදේශ විනිමය ඉපයුම් අත්‍යවශ්‍ය දේට පමණක් සීමා කිරීමයි. කොරෝනාවට පෙර අපගේ අපනයන ආදායම මෙන් දෙගුණයක ආනයන වියදමක් තිබුණි. ඒ නිසා ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක පමණ විශාල වෙළෙඳ හිඟයක් නිර්මාණය වී තිබිණි. මේ නිසා එම වෙළෙඳ හිඟය මූල්‍යකරණය කිරීමට අපට අපනයන ආදායම ප්‍රමාණවත් නොවූ නිසා සිදු වූයේ වෙනත් මාර්ගවලින් ලැබෙන විදේශ විනිමය ඒ සඳහා වැය කිරීමටය. මේ අනුව මේ වසරේ ගෙවී ගිය මාස නවයේ දී වෙළෙඳ හිඟය ගිය වසරේ (2021) මුල් මාස නවයට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් මිලියන 1895 කින් අඩු වී ඇත. එනම් 2021 වසරේ මුල් මාස නවයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 5999 ක් වූ වෙළෙඳ හිඟය මේ වසරේ (2022) මුල් මාස නවයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 4104 ක් දක්වා අඩු වී ඇත. මෙසේ වෙළඳ හිඟය අඩු කර ගැනීමට ද විශාල වශයෙන් හේතු වී ඇත්තේ අපනයන වර්ධනයට වඩා ආනයන පාලන ක්‍රියාමාර්ග හමුවේ ආනයන වියදම් සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට ක්‍රියාමාර්ග ගැනීමයි.

● සමජීවිකතා ප්‍රතිපත්තිය

බුදුරජාණන් වහන්සේගේ සමජීවිකතා ප්‍රතිපත්තිය අප දන්නා දෙයකි. ඒ අනුව අප කළ යුත්තේ අපගේ ආදායමට ගැළපෙන ලෙස වියදම් කළමනාකරණය කර ගැනීමයි. මෙය රජයකට ද එක ලෙසම අදාළ කරගත හැකිය. එනම් රජයක් විසින් ද හැකිතාක් තම වියදමට ගැලපෙන ලෙස රාජ්‍ය වියදම් කළමනාකරණය කරගත යුතු බවයි. මෙය අපට ආර්ථිකයේ විදේශ අංශයට ද අදාළ කරගත හැකිය. එනම් අප උපයන විදේශ විනිමය ආදායමට ගැලපෙන ලෙස අපගේ විදේශ වියදම් සීමා කරගත යුතු බවයි. එසේ නොකිරීමෙන් වන්නේ අපට විදේශ ණය

ගනිමින් එම විදේශ විනිමය හිඟය පියවා ගැනීමට සිදු වීමයි. එවිට වන්නේ දිගින් දිටම විදේශ ණය බර ඉහළ යෑමයි. එම විදේශ ණය ගෙවීමට පවා දිගින් දිගටම විදේශ ණය

ගැනීමට සිදු වීමයි. විදේශ ණය ගෙවිය යුතු වන්නේ විදේශ මුදලින්මය. විදේශ ණය අපට දේශීය මුදලින් පියවිය නොහැකිය. එසේ නම් අපගේ විදේශ විනිමය හිඟය උග්‍ර වී විනිමය අර්බුදය උත්සන්න වීමේ දී සිදු වන්නේ අපට විදේශ ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇති වීමයි. අපට අපගේ විදේශ ණය ගෙවීම අත්හිටුවීමට සිදු වූයේ මේ තත්ත්වය නිසාය. බුදුරජාණන් වහන්සේගේ සමජීවිකතා ප්‍රතිපත්තියට අනුව හෝ අප කටයුතු කළේ නම් මෙවැනි ආර්ථික අගාධයකට ඇද වැටෙන්නේ නැත. පුද්ගලයකු ගත්තත් තමාට ලැබෙන ආදායමට වඩා වැඩියෙන් දිගින් දිගටම වියදම් දැරීමට ගියහොත් සිදුවෙන දේ පැහැදිලිය. එනම් එම වැඩිපුර වියදම දැරීමට දිගින් දිගටම ණය ගැනීමට සිදු වේ. ඔහුගේ ණය බර ඉහළ ගොස් කිසියම් මොහොතක ඔහුට අලුතින් ණය ගැනීමට බැරි තත්ත්වයක් ද උදා වේ. එවිට ගත් ණය ද ගෙවීමට බැරිවීමෙන් වන්නේ බංකොලොත්භාවයට පත් වීමයි. රට සම්බන්ධයෙන් උදා වූයේ ද මෙවැනි තත්ත්වයකි. මෙවැනි තත්ත්වයකට රටක් පත් වූ පසු ඒ රට ගොඩ ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

● අනෙකුත් විදේශ ලැබීම්

2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සුළු වශයෙන් ඉහළ ගියේය. සංචාරක ඉපැයීම් 2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 2022 සැප්තැම්බර් මාසයේදී වැඩිවීමක් වාර්තා කර ඇත. 2022 සැප්තැම්බර් මාසයේදී රජයේ සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි කැපී පෙනෙන ශුද්ධ ලැබීමක් වාර්තා විය. ද්‍රවශීලි දළ නිල සංචිත මට්ටම අඩු වුව ද, අත්‍යවශ්‍ය ආනයන මූල්‍යකරණය සඳහා මහ බැංකුව විදේශ විනිමය ද්‍රවශීලතාව අඛණ්ඩව ලබා දුන්නේය. මේ අතර, අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මාසය තුළ දී එ.ජ. ඩොලරයට රුපියල් 362ක මට්ටමක පැවතුණි. මේ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව සිය නවතම වාර්තාවකින් අනාවරණය කර ඇත. (මේ සමග ඇති වගුව බලන්න.)

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@ gmal.com

advertistmentadvertistment
advertistmentadvertistment