නිරෝෂා විරාජිනී වෙනුවෙන් අලුත්ම ගීතයක් කරනවා – විමර්ශ ජයසිංහ

62

ඒ දවස් මේ වාගේමයි
අපි දුරස් වූ නමුත්
නෑ වෙනස් ඒ වාගේමයි
ලොව හරස් වූ නමුත්…

ආරාධනා ඒකනායකගේ පන්හිඳෙන් ලියැවුණු මේ ගීතය සංගීතවත් කර ගායනා කරන්නේ විමර්ශ ජයසිංහ. ශ්‍රී ලංකාවෙන් එහා එංගලන්තයේ ජීවත්වන විමර්ශ අලුත්ම සංගීත කටයුත්තකට යළි ශ්‍රී ලංකාවට ආපු මොහොතේ අපට මුණගැසුණා. ඉතින් අපි ඔහු සමග කතා කළා.

‘ඒ දවස් මේ වාගේමයි‘ ගීතයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මං හිතනවා රසිකයන් ඒක ආදරෙන් වැළඳ ගත්තා කියලා. යූටියුබ් නාලිකාවලත් ප්‍රසිද්ධ මාධ්‍යවලත් මේකට හොඳ ප්‍රතිචාර තියෙනවා.

ඔබ සංගීතයට යොමු වුණේ කොහොමද?

පුංචි කාලයේ ඉඳන්ම තිබුණු හීනයක් තමයි ලංකාවේ සංගීතය වෙනුවෙන් ගුණාත්මක නිර්මාණ ටිකක් කරන එක. ඒ වෙනුවෙන් මං ගොඩක් කැප කිරීම් කළා. මම දැනට සංගීත විෂයෙන් මගේ තුන්වෙනි උපාධිය එංගලන්තයේ කරමින් ඉන්නේ. ‘ඕඩියෝ ඉංජිනියරින් ඇන්ඩ් ප්‍රඩක්ෂන්‘ කියන විෂයෙනුයි ඒක කරන්නෙ. මම දැනට සංගීත ගුරුවරයකු හැටියටත් වැඩ කරනවා. විරාග නමින් ස්ටූඩියෝ එකක් කරනවා. විදේශිකයන් වෙනුවෙනුත් ගී නිර්මාණ කරනවා.

තව මොනවද ඔබ ළඟදි කරපු නිර්මාණ?

ප්‍රවීණ ගායන ශිල්පී චන්දන ලියනාරච්චි මහතා වෙනුවෙන් ‘අඳුරු හීන’ කියන ගීතයේ පද රචනා කරලා සංගීතය නිර්මාණය කළා. ඒක ඔහුගේ සුපුරුදු ආරට වෙනස් ගීතයක්. මම මෙච්චර කල් කළ නිර්මාණ අතරින් මේකට ගොඩක් කැමතියි.

එතකොට අලුතෙන් කරන්න ඉන්න නිර්මාණ මොනවද ?

මේ දවස්වල ලංකාවට ඇවිත් නිරෝෂා විරාජිනී මහත්මිය වෙනුවෙන් අලුත්ම ගීතයක් කරනවා.‘මිලින මං’ කියන මේ ගීතයේ පද රචනය හා සංගීතය මගේ.

ඔබව හඳුන්වන්නෙ ගායකයෙක් කියලද, ගීත රචකයෙක් කියලද, ගීතනු නිර්මාණය කරන සංගීතඥයෙක් කියලද?

මම වැඩියෙන්ම කැමැතියි මාව සංගීත අධ්‍යක්ෂවරයකු විදිහට දකින්න. ගායකයකු හැටියටත් ගමනක් යන්න නිර්මාණ ගොනුවක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. දැනටම මගේම ගීත නිර්මාණ හයක් විතර එළි දක්වලා තියෙනවා.තව මගේම නිර්මාණ රැසක් අතේ තියෙනවා. ඒවා එකින් එක මුදා හරිනවා.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment