නීති කැඩුවයි අත්අඩංගුවට ගත් සමන්ත – නාමල් දුමින්ද හා ජයසිංහට ඇප

196

* දුමින්ද නාගමුව ඇතුළු 6 ක් පල්ලේකැලේ නිරෝධායනයට

* මහින්ද ජයසිංහ ඇතුළු 8 දෙනකුට පී. සී. ආර්.

* සමන්තට නාමල්ට සැප්තැම්බර් 6 දා යළි උසාවි එන්න කියයි

හේමන්ත රන්දුණු, ප‍්‍රදීප් සමරකෝන්, රුක්මන් පිංතු, සමන්ත කුමාර, ආර්. ඒ. එච්. පේ‍්‍රමතිලක, ජාඇල – බී. ටී. කේ., කළුතර සමූහ – විජයසිරි විද්‍යාසේකර

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණවලට සහභාගි වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, හිටපු පළාත් සභා මන්තී‍්‍රවරුන් වන සමන්ත විද්‍යාරත්න, මහින්ද ජයසිංහ, ගොවි සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ඇතුළු දොළොස් දෙනකු ඇප මත මුදාහරින ලෙස කොටුව, වත්තල සහ වැලිමඩ මහෙස්ත‍්‍රාත්වරු ඊයේ (07 වැනිදා) නියෝග කළේය.

නීති කැඩුවයි අත්අඩංගුවට ගත් සමන්ත - නාමල් දුමින්ද හා ජයසිංහට ඇප

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කළුතර නගර මධ්‍යයේ ඊයේ සවස පැවැත්වූ විරෝධතාව පාලනය කළ පොලිසිය එම විරෝධතාවට එක්ව සිටි එම පක්ෂයේ කළුතර දිස්ති‍්‍රක් සංවිධායකවරුන් වන නිහාල් තොටගමුව, සුජිත් ප‍්‍රසන්න ඇතුළු දසදෙනකු අත්අඩංගුවට ගත්තේය.

‘තෙල් මිල බඩු මිල පහත හෙළනු, ධන කුවේරයන්ට බදු ගසනු’ යන මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඊයේ සවස 4.00 ට කළුතර නගර මධ්‍යයේ විරෝධතා පෙළපාලියක් පැවැත්වූ අතර පොලිසිය එය පාලනය කර තිබිණි.

නීති කැඩුවයි අත්අඩංගුවට ගත් සමන්ත - නාමල් දුමින්ද හා ජයසිංහට ඇප


නිරෝධායන නීතිවලට පටහැනි බව කියමින් උද්ඝෝෂණය නතර කරන ලෙස පොලිසිය දැනුම් දීම් කළ ද එය නොතකමින් මෙම පිරිස උද්ඝෝෂණයේ නිරත වූහ. එහිදී පොලිස් නිලධාරීන් සියයකට ආසන්න පිරිසක් එක්ව මෙම උද්ඝෝෂණය නතර කිරීමට කටයුතු කළ අතර එය සංවිධානය කළ නිහාල් තොටුගමුව, සුජිත් ප‍්‍රසන්න ඇතුළු දසදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙම පිරිස කළුතර පොලිසියේ රඳවා සිටි අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ඉංජිනේරු සංස්ථාවේ සේවක ප‍්‍රශ්නවලට විසඳුම් ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් විසින් කොම්පඤ්ඤ වීදිය රාමනායක මාවතේදී ඊයේ දහවල් විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ. එහිදී කොම්පඤ්ඤ වීදිය පොලිසියේ නිලධාරීන් විසින් දුමින්ද නාගමුව ඇතුළු හයදෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවුහු කොටුව මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබූහ.

එහිදී දුමින්ද නාගමුව ඇතුළු හයදෙනා ඇප මත මුදා හැරීමට කොටුව මහෙස්ත‍්‍රාත්වරයා කටයුතු කළ අතර ඔවුන් පල්ලේකැලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා දින 14 ක් නිරෝධායනය කරන ලෙස නියෝග කර ඇත.

ඉංජිනේරු සංස්ථාවේ සේවක ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් එහි සේවකයන් දෙදෙනෙක් පෙරේදා රාතී‍්‍ර සිට එම සංස්ථා ගොඩනැඟිල්ලේ වහලය මත නැඟී විරෝධතාවක නිරත වූ අතර ඊයේ දහවල් එම සේවකයන් ද ඉන් බිමට බස්සවා ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළහ.

මේ අතර මුතුරාජවෙල තෙත්බිම් අභය භූමිය ගොඩ කිරීම වහාම නතර කරන ලෙස ඉල්ලා ගුරු සංගමයේ හිටපු සභාපති හිටපු පළාත් සභා මන්තී‍්‍ර මහින්ද ජයසිංහ ඇතුළු පිරිසක් ජාඇල නගරයේ පැවැත්වූ විරෝධතා පෙළපාලියක් පොලිසිය විසින් පාලනය කරන ලදී.

එහිදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුමක් ද හටගෙන තිබිණි. මෙම සිද්ධියෙන් පසු පමුණුගම පොලිසිය මගින් මහින්ද ජයසිංහ මහතා ඇතුළු 8 දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

එම විරෝධතාකරුවන් පිරිස වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර තිබූ අතර විරෝධතාකරුවන් අටදෙනා පී. සී. ආර්. පරීක්ෂණයක් වෙත යොමු කර එහි වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර තිබිණි.

මෙහිදී විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටි ජාතික භික්ෂු පෙරමුණේ ගම්පහ දිස්ති‍්‍රක් සභාපති අත්තනගල්ලේ විජිත හිමියන් ප‍්‍රකාශ කර සිටියේ මුතුරාජවෙල තෙත් බිම් අභය භූමිය විනාශ කරමින් අත්තනෝමතික ලෙස එය ගොඩ කිරීමට එරෙහිව පැවැත්වූ සාමකාමී විරෝධතාවට බාධා කළ පොලිසිය උද්ඝෝෂකයන්ට පහරදී මහින්ද ජයසිංහ මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත් බවයි.

මේ සම්බන්ධයෙන් පමුණුගම පොලිසිය කියා සිටියේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි.

මේ අතර ඉකුත් 01 වැනිදා බොරලන්ද නගරයේ පැවති උද්ඝෝෂණයකට සහභාගි වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස වැලිමඩ අධිකරණය නියෝග කර තිබූ ගොවි සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, හිටපු ඌව පළාත් සභා මන්තී‍්‍ර සමන්ත විද්‍යාරත්න ඇතුළු 05 දෙනා ඊයේ පෙරවරුවේ බෝගහකුඹුර පොලිසිය වෙත භාරවී තිබිණි.

බොරලන්ද නගරයේ රසායනික පොහොර ඉල්ලා පැවති විරෝධතාව සම්බන්ධයෙන් වැලිමඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස නියම කර සිටි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, හිටපු ඌව පළාත් සභා මන්තී‍්‍ර සමන්ත විද්‍යාරත්න යන අය ඇතුළු පස් දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත පස්දෙනා රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත නිදහස් කිරීමට වැලිමඩ මහෙස්ත‍්‍රාත් ප‍්‍රසන්න ජයසේකර මහතා (07 දා* නියම කළේය.

මෙසේ ඇප මත නිදහස් කරනු ලැබුවේ ගල්ඒදණ්ඩ විහාරස්ථානයේ පූජ්‍ය වීරකැටියේ අනුරුද්ධ හිමියන්, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, හිටපුු ඌව පළාත් සභා මන්තී‍්‍ර සමන්ත විද්‍යාරත්න, නන්දන හපුගොඩ සහ ඥාණපාල සේනාධීර යන අයයි.

පසුගිය පළමුවන දින වැලිමඩ බොරලන්ද නගරයේදී රසායනික පොහොර ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මගින් විරෝධතාවක් සංවිධානය කර තිබිණි. මෙම විරෝධතාවයේදී නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හා අයුතු ජන රාශිය යන වැරදි යටතේ විරෝධතාවට සම්බන්ධ වූ පුද්ගලයින් දස දෙනකුට එරෙහිව බෝගහකුඹුර පොලිසිය මගින් වැලිමඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට තිබිණි. ඒ අනුව පසුගිය 03 වැනිදා හිටපු ජවිපෙ වැලිමඩ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ බදුල්ල දිස්ති‍්‍රක් විධායක සභික හා වැලිමඩ ඌව පරණගම ගොවි එකමුතුවේ කැඳවුම්රු ඩබ්ලිව්. එම්. ගුණවර්ධන, වැලිමඩ ප‍්‍රාදේශීය සභාවේ ජවිපෙ මන්තී‍්‍රවරුන් වන එච්. එම්. කරුණාරත්න, අජිත් කුමාර යන දෙදෙනා හා බොරලන්ද ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙත්සිරි සෙනෙවිරත්න සහ ගාමිණී යන අය බෝගහකුඹුර පොලිසිය හමුවට ඉදිරිපත් වීමෙන් අනතුරුව පොලිසිය විසින් වැලිමඩ මහෙස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලදී.

මෙහිදී වැලිමඩ මහෙස්ත‍්‍රාත් ප‍්‍රසන්න ජයසේකර මහතා එක් සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත සැකකරුවන් පස් දෙනා රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේය. සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එළඹෙන සැප්තැම්බර් මස 06 වැනි දින වැලිමඩ මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද වැලිමඩ මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

මෙහිදී මහෙස්ත‍්‍රාත්වරයා වැඩිදුරටත් පොලිසියට නියෝග කර සිටියේ මෙම විරෝධතාවය සඳහා එක්ව සිටි අනෙක් සැකකරුවන් වන සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සහ ජවිපෙ මධ්‍යම කාරක සභික හිටපු ඌව පළාත් සභා මන්තී‍්‍ර සමන්ත විද්‍යාරත්න යන මහත්වරුන් ද ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බෝගහකුඹුර පොලිසියට නියෝග කළේය.

නාමල් කරණාරත්න ඇතුළු අනෙක් සැකකරුවන් සිවු දෙනා ඊයේ පෙරවරුවේ බෝගහකුඹුර පොලිස් ස්ථානයට නීතිඥවරයකුගේ මාර්ගයෙන් ඉදිරිපත් වීමෙන් අනතුරුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට හමුවට ඉදිරිපත් කරන ලදී.

බෝගහකුඹුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. යූ. පි‍්‍රයන්ත මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කර තිබිණ.

ඊයේ (07 දා* දින ඉදිරිපත් කරන ලද සැකකරුවන් හට එළඹෙන සැප්තැම්බර් මස 06 වැනි දින නැවත මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද මහෙස්ත‍්‍රාත්වරයා නියම කෙරිණි.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සුනෙත් ඒකනායක, ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සුනිල් වටගල, ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ආරියපාල හේවගේ, ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ නාමල් රාජපක්ෂ යන නීතිඥවරුන් කිහිප දෙනෙක් පෙනී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment