ඩකා සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂවරයාගෙන් හෙළිදරව්වක්….

කොඩි ගහ යට සිනමාවට

ඔහු සැබවින්ම ලාංකේය සිනමාව මෙන්ම ටෙලිනාට්‍ය කලාව වෙනස්ම දිශානතියකට ගෙන යන්න ප්‍රයත්නයක් දැරූ තරුණ නිර්මාණකරුවෙකි. හද්ද පිටිසර ගම, කොළඹ හතේ සුපිරි නිවස වටා ගෙතුණු කතාව, එහෙමත් නැතිනම් ෆැන්ටසි ආදරය එක්ක ගලාගෙන යන ලාංකේය ටෙලිනාට්‍ය කලාව උඩුයටිකුරු කරමින් චරිතයකට ජීවය දෙන රංගන ශිල්පීන් ශිල්පිනියන් කවුදැයි යන්න හිතන්න යමක් ඉතිරි කර ලාංකේය ටෙලිනාට්‍ය කලාව වෙනස්ම දිශානතියකට රැගෙන ගියේය. ඔහුගේ සිනමා භාවිතාවන් එලෙසමය. ලාංකේය සිනමාව ජාත්‍යන්තර සිනමාවේ සම්මානයට පාත්‍රකළ මේ තරුණ නිර්මාණකරුවා වෙන කවුරුවත් නොවේ ජගත් මනුවර්ණය. පසුගිය දා පැවැති 22 වැනි ඩකා සිනමා සම්මාන උළෙලේ ආසියානු තරගකාරී අංශයේ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයට පාත්‍රවීමෙන් පසුව ඔහු දිවයින ‘සිනමාකලා’ අතිරේකය සමග සංවාදයක නිරත විණි. පහතින් පෙළගැසෙන්නේ එම සංවාදයයි.

22 වැනි ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදී ආසියානු තරග අංශයේ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ඔබේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන ‘රහස් කියන කඳු’ සිනමා නිර්මාණයට හිමිවෙනවා. මේ ආරංචිය ලද විගස ඔබට දැනුන හැඟීම මොන වගේද?

මේ චිත්‍රපටය මෙලෙස ඇගයීමට ලක්වුණ සව්වැනි අවස්ථාවයි මේ. මුලින්ම මේ නිර්මාණය රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම ආසියානු සිනමා කෘතියට හිමි සම්මානය ගිය වසරේ මුලදී නෙදර්ලන්තයේදී මට හිමිවෙනවා. ඊට පසුව මේක අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල පහළොවකට අධික සංඛ්‍යාවක් නියෝජනය කළා. ඒත් එක්කම මගේ පළමු චිත්‍රපටය විදිහට ඒක සතුටට කාරණාවක්. විශේෂයෙන් මේක යාළුවෝ පිරිසකගේ සාමූහික ප්‍රයත්නයක්. ඔවුන්ට මේ වෙලාවේ මගේ ස්තූතිය පිරිනමන්න ඕනෑ. අවුරුදු දහතුනක විතර උත්සාහයක ප්‍රතිඵලයක් විදිහටයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. මෙන්න මේ කාලය පුරාම මගෙත් එක්ක හිටපු මිතුරන් කිහිපදෙනෙක් ඉන්නවා. ඒ ශ්‍රමයට අදාළ වටිනාකම හිමිවෙමින් තිබෙනවා කියලයි මගේ අදහස.

රහස් කියන කඳු සිනමා නිර්මාණය සඳහා පිටපත සකස් කිරීමට පාදක වූ කරුණු කාරණා ගැන කතාබහ කළොත්?

මෙහෙමයි. මේකෙන් කතාබහ කරන්නේ රාජ්‍ය මර්දනය ගැනයි. මේකට බලපාන්නේ 1988-98 කියන කාලවකවානුවයි. ඒ කාලේ මම ඉතා පුංචි දරුවෙක්. ඒ වකවානුවේ මම දැකලා තිබෙනවා රාජ්‍ය මර්දනයේ බිහිසුණු බව. මම ඒ කාලේ ජීවත් වුණේ මහනුවර ප්‍රදේශයේ. එදා පැවැති ත්‍රාසයෙන් ඒ ගම් මොනතරම් සලිත වෙලා හිටියද කියලා මට මතකයි. මගේ අම්මා තාත්තාත් දේශපාලනිකව හරිම ක්‍රියාශීලී පුද්ගලයන්. රාජ්‍ය මර්දනයේ සමහර හස්තයන් ඔවුන්ගේ දිශාවටත් දිගුවෙමින් තිබුණා. ඔවුන්ටත් මරණ තර්ජන තිබුණා. කුඩා දරුවෙක් වූ මා ඒ අවදියේ කම්පනයට පත් නොකළත් ඒවා හරිම කෘත්‍රීම අත්දැකීම් විදිහට ඔළුවේ තිබෙන්න ඇති. හැබැයි පසුකාලීනව තරුණයන් විදිහට ලෝකය තේරුම් ගනිද්දි මේ මර්දනය අවසන් නැහැ කියලා අපට පේන්න ගන්නවා. ඒ වගේම 2009 වසරේදී යුද්ධය අපි දකිනවා. ඉතිං මේවත් එක්ක නැවත වතාවක් මට අතීතයේ වුණු සිදුවීම් සම්බන්ධයෙන් හිතන්න මම පෙළඹෙනවා. ඒවත් එක්ක නිර්මාණකරුවෙක් විදිහටත් ඒවා ගැන අපි කතා කළ යුතුයි කියලා මම හිතනවා. මොකද ඒවා යුක්තිය ඉෂ්ට නොවූ අපරාධනේ. ඒ සම්බන්ධයෙන් අපිට එතැනින් එහා පරම්පරාව විදිහට මොනවාද කරන්න පුළුවන්, තරුණයන් වෙනුවෙන් මොනවාද කරන්න පුළුවන්. අනික මේක සිදුවෙලා අවසන් වුණු කතාවකුත් නෙමෙයි. මේ වෙච්ච බිහිසුණු මර්දනයන්ගේ කම්පනය තමා මේ නිර්මාණය කරන්න පෙළඹෙන්න ඇත්තේ.

කොඩි ගහ යට සිනමාවට
කොඩි ගහ යට සිනමාවට

මේ නිර්මාණය ඔබ නිෂ්පාදනය කරලා දිගු කලකට පසුව තමයි ප්‍රදර්ශනය සිදුකරන්නේ. ඒ ගැන ඔබට තිබෙන්නේ මොනවගේ විග්‍රහයක්ද?

ඒක ඉතිං අපේ වගේ රටක බොහෝ සිනමාකරුවෝ මුහුණදෙන ප්‍රශ්නයක්. විශේෂයෙන් නවක සිනමාකරුවෝ. ඇත්තටම මම මේ ප්ලොට් එකත් එක්ක වැඩකරන්න පටන් අරගෙන දැන් අවුරුදු දහතුනකට ආසන්නයි. ඒ වගේම මේ චිත්‍රපටය මම රූගත කිරීම් සිදුකරනු ලබන්නේ 2017 වර්ෂයේදී. එතකොට ලංකාවේ නිර්මාණකරුවන් මුහුණදෙන සියලුම ප්‍රශ්න මටත් ඒ ආකාරයෙන්ම බලපෑවා. ඒකට කරන්න දෙයක් නැහැ. මීට වැඩිය ඉක්මනින්, වේගයෙන් වැඩකරන නිර්මාණකරුවෝ ඉන්නවා. ඉතිං මම මේකට සෑහෙන කාලයක් අරගෙන තිබෙනවා. ඒකට විවිධ හේතු සාධක බලපෑවා.

22 වැනි ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල නියෝජනය කිරීමට ඔබ සහභාගි නොවුණේ ඇයි?

ඩකා උළෙලට මම සහභාගි වුණේ නැහැ. හේතුව පසුගිය කාලය පුරාවටම විවිධ සිනමා උළෙලවල් කිහිපයක්ම නියෝජනය කළා. අනික අපිට එම උළෙලවලට සහභාගි වෙන්න වෙන්නේ අතින් වියදම් දරාගෙන. ඒක ඉතිං හැමවෙලාවේම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මම තෝරාගත් සිනමා උළෙල කිහිපයකටම සහභාගි වුණා. ඒ වගේම මගේ චිත්‍රපටය විදෙස් රටවල ප්‍රදර්ශනය කරද්දී ඒ සඳහාත් සහභාගි වුණා.

කොඩි ගහ යට සිනමාවට

එතකොට මේ සම්මාන උළෙලේ ඔබව නියෝජනය කළේ කවුද?

මගේ මිතුරියක් වන අනුරාධා කෝදාගොඩ තමයි මාව නියෝජනය කළේ. ඇය එම සම්මාන උළෙලේ තවත් කාණ්ඩයක් නියෝජනය කළ ජූරි සභිකාවියක්. ඇය මෙම සම්මානය උළෙලට සහභාගි වුණ හින්දා ඇයට මම කතා කරලා කිව්වා මේ සම්මාන උළෙලට මම සහභාගි වෙන්නේ නැහැ, මට ලැබුණොත් ඔබ භාරගන්න කියලා. ඉතිං ඇය ඒක අරගෙන තිබුණා.

වර්තමානයේදී එක සිනමා නිර්මාණයක් ප්‍රදර්ශනය කරලා අවසන් වෙන්න කලින් තවත් සිනමා නිර්මාණයක් ප්‍රදර්ශනය වෙනවා. මේ කාරණාව ඔබ දකින්නේ කොහොමද?

ඔව්. එතැනදී විශේෂයෙන් දේශීය සිනමාකරුවා බොහෝ අපහසුතාවලට මුහුණ දෙනවා. ලංකාවේ සිංහල චිත්‍රපට පමණක් නෙමෙයිනේ බලන්නේ. හොලිවුඩ්, බොලිවුඩ්, මලයාලම්, දමිළ ආදී බොහෝ නිර්මාණ ලංකාවේ මිනිස්සු බලනවා. හැබැයි ප්‍රේක්ෂකයාට ඒ චිත්‍රපට නැරඹීමට තියෙන අයිතියට හානියක් කරනවාට මම කැමැති නැහැ. ඕනෑම චිත්‍රපටයක් නැරඹීමේ අයිතිය ප්‍රේක්ෂකයාට තිබිය යුතුයි. හැබැයි ඒ අතරේ දේශීය සිනමාකරුවා ආරක්ෂා කරගැනීමේ යම්කිසි ක්‍රමවේදයක් අපිට අවශ්‍යයි. පැල්බැඳගෙන දුවන ලෝකයේ ජනප්‍රිය සිනමා කෘති ඇවිත් ලංකාවේ සිනමා කර්මාන්තය වසාගෙන යනවා නම්, නැතිනම් මේක දෙගොඩතලාගෙන යනවා නම් එතැන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි කර්මාන්තයක් විදිහට කොහොමද මේක ආරක්ෂා කරගන්නේ කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒකට මමත් මුහුණ දුන්නා. හැබැයි මගේ චිත්‍රපටය සිනමා කෘතියක් විදිහට ප්‍රේක්ෂකයා භාරගත්ත හින්දා ලොකු හානියක් කරන්න ඒ යාන්ත්‍රණයට බැරිවුණා.

ජාත්‍යන්තර සම්මාන උළෙල රැසක වගේම ලංකාවේත් දැඩිලෙස කතාබහට ලක්වුණ තරුණ නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔබේ ඊළඟ සිනමා භූමිකාව මොනවගේද?

අදහස් කිහිපයක් තියෙනවා. කොයික ඉස්සරවෙයිද කියලා දැන්ම මට කියන්න බැහැ.

එතකොට ජගත් මනුවර්ණ කියන නළුවාගේ භූමිකාව මොනවගේද?

මම ඉතාමත් කැමැති අධ්‍යක්ෂවරුන්ගෙන් යම් යම් නිර්මාණ කිහිපයක් සඳහා මේ වන විට ආරාධනා ලැබිලා තියෙනවා. ඉතිං මම දන්නේ නෑ වැඩිපුර ඒ ගැන. මොකද වෙලාවත් එක්කනේ කරන්න වෙන්නේ. මම චිත්‍රපටයක් හදන්න ගත්තොත් මගේ සම්පූර්ණ කාලය සහ ශ්‍රමය ඒ සඳහා යොදවන්න වෙනවා.

ලාංකේය ටෙලිනාට්‍ය කලාව උඩියටිකුරු කළ නිර්මාණයක් වන ‘කොඩිගහයට’ ඔබ නිර්මාණය කරනවා. අධ්‍යක්ෂවරයාගේ භූමිකාවේ ඉඳගෙන ඒ ගැන පසුවිපරමක් කළොත් ?

මම නිර්මාණයක් කරන්න ගියහම ඒකට ටිකක් මහන්සිවෙනවා. ඒ නිර්මාණයේදී මට තෘප්තිමත් වෙන්න පුළුවන් විදිහේ සහ ප්‍රේක්ෂකයාට ඒක නැරඹීමෙන් ලබන්න පුළුවන් සියලු ප්‍රතිලාභ ප්‍රේක්ෂකයාට හිමිවිය යුතුයි කියන තැන ඉඳලා මම වැඩකරනවා. අනික මම කරන නිර්මාණවල වියදම් අධිකයි. ඒකට ගන්න කාලය වැඩියි. ඒවත් එක්ක ඒවා අපිට විකුණන්න පුළුවන් වෙන්නේ සොච්චම් මුදලකට. එතකොට ඒක සම්බන්ධයෙන් පසුතැවීමක් තියෙන්නේ. නිර්මාණයක් විදිහට ප්‍රේක්ෂකයා මේක වැළඳගෙන අපිට ලැබෙන ප්‍රතිචාර සම්බන්ධයෙන් සතුටක් වගේම නිර්මාණකරුවෝ විදිහට අපි මුහුණදෙන ආර්ථික අර්බුදය සහ නිර්මාණයකට වැයකරන මුදලට සරිලන ප්‍රතිලාභ සම්බන්ධයෙන් යම්කිසි කනගාටුවක් තියෙනවා.

කොඩි ගහ යට සිනමාවට

කොඩිගහයට ටෙලි නිර්මාණයේ සියලුම චරිත එක සමාන්තරව ගලාගෙන යනවා. මේක හරිම අමාරු කාර්යයක්. ඇත්තටම ඒක සිද්ධවුණේ කොහොමද?

රංගන ශිල්පියෙක් විදිහට මම දන්න දෙයක් තමයි හැම චරිතයක්ම වැදගත් කියන කාරණාව. ඒ වගේම මට ඕනෑ වුණේ නැහැ මගේ කොඩිගහහයට ටෙලිනාට්‍යයේවත්, රහස් කියන කඳු සිනමා නිර්මාණයේවත් අසීමිත බලයක් සහිත වීරයෙක් නිර්මාණය කරන්න. අනිත් එක තමයි අපිට වීරයෝ අහිමි සමාජයක්නේ තියෙන්නේ. එතකොට සමස්ත සමාජයක් විදිහට ගත්තොත් විවිධ අවස්ථාවල විවිධ සිදුවීම්වලදී අපි මුහුණදෙන තත්ත්වයන්වලදී වීරයෝ සහ දුෂ්ටයෝ බවට පත්වෙනවා. තව සමාජය ආදරය කරන්නන් බවට පත්වෙනවා. ඇත්ත සමාජ ස්වභාවය ඒකයි. ඉතිං මට මේක කියාගන්නයි ඕනෑ වුණේ. කාගේ හරි හීරෝ ජර්නි එකක් නැතිනම් වීර චාරිකාවක් පෙන්වන්න මට ඕනෑ වුණේ නැහැ.

කොඩිගහයට ටෙලිනාට්‍යයේ අවසානය ගැන නම් අන්තිමේ ඇතිවුණේ එතරම් හොඳ කතාබහක් නෙමෙයි. අවසානය මෙහෙම වුණේ ඇයි කියන අයට උත්තරයක් දෙන්න මේක හොඳම වෙලාව?

බොහෝවිට කොඩිගහයට ඊළඟට සිදුවුණේ මොකක්ද කියන එක ප්‍රේක්ෂකයාට සිනමා කෘතියකින් බලාගන්න අවස්ථව තිබෙනවා.

ජගාගේ කොඩිගහයට සිනමා කෘතියක් හරහා අපිට දැකබලාගන්න පුළුවන්. ඒකයි ඇත්ත?

කෙරුණු කොඩිගහයට නෙමෙයි මෙතැනින් එහාට වූ කොඩිගහයට මොන වගේ එකක්ද කියන එකයි.

දිනේෂ් විතාන

කොඩි ගහ යට සිනමාවට
advertistmentadvertistment
advertistmentadvertistment