පහේ හපන්නු

216

අනුරපුර ශාන්ත ජෝශප් විද්‍යාලයේ (පිරිමි) නවංග හංස රාජ් පුතා දිවයිනේ ප්‍රථම ස්ථාන අතරට

පහේ හපන්නු

මෙවර පැවැත්වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් (පිරිමි) පෙනී සිටි ගම්පලගේ නවංග හංස රාජ් ෆොන්සේකා සිසුවා ලකුණු 198 ක් ලබා ගෙන දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගත් පස් දෙනා අතරට එක්ව ඇත. අනුරාධපුර, සේනානායක මාවතේ පදිංචි පවුලක එකම දරුවා වන නවංග හංස රාජ් සිසුවාගේ මව වන නිර්මලා ප්‍රියංගනී මහත්මිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙදියක් ලෙස සේවය කරන අතර, පියා කටුනායක ගුවන් හමුදා කඳවුරේ නිලධාරියෙකි. අනුරාධපුර ශාන්ත ජෝශප් මහා විද්‍යාලයේ විදුහල්පති එම්. අජිත් අමරවීර සිල්වා මහතා මෙහිදී පැවැසූවේ, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවකු ශ්‍රී ලංකාවේ ප්‍රථමයා වූ පළමු අවස්ථාව මෙය බවත් එය අනුරාධපුර දිස්ත්‍රික්කයට මෙන්ම ශාන්ත ජෝශප් මහා විද්‍යාලයට ආඩම්බරයක් බවත්ය. එම දරුවා ඉගෙනුම ලැබූ ශාන්ත ජෝශප් විද්‍යාලයේ 5 – ඩී පන්තිභාර ගුරුතුමා වන ඩබ්ලිව්. එම්. චමින්ද කුමාර වීරසිංහ මහතා පැවසුවේ, පංතියේ කැපී පෙනෙන සිසුවකු ලෙස දක්ෂතා දැක්වූ මෙම සිසුවා චිත්‍ර ඇඳීමමට මෙන්ම ක්‍රීඩාවටද හපනකු බවය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හංස රාජ් සිසුවා පැවසුවේ තමන් ඉහළ ලකුණු මට්ටමක් අපේක්ෂා කළද දිවයිනේ ප්‍රථම ස්ථානයක් ලැබේවි යැයි කියා කිසිදා නොසිතූ බවය. ඉදිරියේ දී හොඳින් ඉගෙන ගෙන වෛද්‍යවරයකු වීම සිහිනය බව එම සිසුවා වැඩි දුරටත් පැවසීය.

මිහින්තලේ – රංග චතූ

ගම්පහ ගෝතමී විදුහලේ හිරුෂ කේෂාන් පුතාට ලකුණු 198ක්

පහේ හපන්නු

මෙවර 5 වසර ශිෂ්‍යත්වයෙන් ගම්පහ, ගෝතමී විද්‍යාලයේ හිරුෂ කේෂාන් විජේසිංහ සිසුවා ලකුණු 198 ක් ලබා ගනිමින් විදුහලට කීර්තියක් අත්කරදී ඇත.

මෙම සිසුවා ගම්පහ, ඔරුතොට ප්‍රදේශයේ පදිංචි පවුලක එකම දරුවා වන අතර ඔහු සිය ඉහළ සාමාර්ථය ගැන අදහස් දක්වමින් පවසා සිටියේ, මෙවර ශිෂ්‍යත්ව විභාගය තරමක් අමාරු වුණත් වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබේවි යැයි අදහසක් තිබූ බවය. තම අනාගත අපේක්ෂාව ඉංජිනේරුවකු වීම බව හිරුෂ පැවසීය.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර

ශ්‍රී ලංකාවේ පළමු පස්දෙනා අතරට පැමිණි බදුල්ල විහාර මහා දේවි බාලිකාවේ සංදිනි දියණියට ලකුණු 198 ක්

පහේ හපන්නු

මෙවර පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198 ක් ලබා ගනිමින් ඉහළ දක්ෂතාවයක් දැක්වීමට බදුල්ල විහාර මහා දේවී බාලිකා විද්‍යාලයේ දුලිති සංදිනි විජේසුන්දර ශිෂ්‍යාවට හැකිව තිබේ.

විද්‍යාලයේ විෂය බාහිර ක්‍රියාකාරකම් මෙන්ම විෂය සමගාමී කටයුතුවල නිරත වෙමින් දුලිති ශිෂ්‍යාව මෙම දක්ෂතාව දැක්වූ බව විද්‍යාලයේ විදුහල්පතිනී සරෝජනී පෙරේරා මහත්මිය පැවසීය. තම ගුරුවරුන් දෙමව්පියන් මෙන්ම යහළුවන් සියලු දෙනාම තමන්ගේ මෙම ජයග්‍රහණයට උදවු කළ බවත් ඉදිරියේදී නාසා ආයතනයට එක්ව කටයුතු කිරීම තම අභිලාෂය බවත් දුලිති සංදිනි ශිෂ්‍යාව පැවසීය.

හපුතලේ – බුවනෙක

ගම්පහ සුමේධ විදුහලේ ශෙනුල් අක්මීමනට ලකුණු 198 ක්

පහේ හපන්නු

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් ගම්පහ සුමේධ විද්‍යාලයේ ශෙනුල් අක්මීමන සිසුවා ලකුණු 198 ක් ලබා ගැනීමට සමත්ව ඇත.

ගම්පහ, හංසගිරි පාර ප්‍රදේශයේ පදිංචි පවුලක එකම දරුවා වන ශෙනුල් සිය ඉහළ සාමාර්ථය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, තමන්ට මෙම විභාගයෙන් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලැබෙන බවට විශ්වාසයක් තිබූ බවය.

තම අනාගත බලාපොරොත්තුව ගණිත අංශයෙන් රැකියාවක නිරත වෙමින් රටට සේවයක් කිරීම බවත් ඔහු සඳහන් කළේය.

ශෙනාල් අක්මීමන සිසුවාගේ මෙම ඉහළ සාමාර්ථය සම්බන්ධයෙන් ඉතා සතුටට පත් වන බව සුමේධ විදුහලේ ප්‍රාථමික අංශය භාර විදුහල්පති සරත් ප්‍රේමවර්ධන මහතා පැවසීය.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර

මහබෙල්ලන ප්‍රාථමික විද්‍යාලයේ හෙවිඳු හසරැල්ටත් ලකුණු 198 යි

දක්‍ෂ ගුරුවරයෙක් වී මේ පාසලටම සේවය කරනවා

පහේ හපන්නු

දක්ෂ ගුරුවරයෙක් වී මේ පාසලට සේවය කිරීම මගේ බලාපොරොත්තුව බව ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198 ක් ලබා ලංකාවේ පළමු ස්ථාන පහ අතර සිටින පානදුර, අලුබෝමුල්ල, මහබෙල්ලන ප්‍රාථමික විද්‍යාලයේ හෙවිඳු හසරැල් පෙරේරා සිසුවා පැවැසීය. බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනුයුක්තව මැදගම සහ ගම්මන්පිල ග්‍රාම නිලධාරී වරුන් ලෙස කටයුතු කරන සුනෙත් සඳරුවන් පෙරේරා මහතා සහ ඊ. ටී. සෙව්වන්දි මහත්මිය, හෙවිදු හසරැල් ගේ දෙමව්පියන් වන අතර ඔවුන් බණ්ඩාරගම, මස්විල පදිංචිව සිටී.

හෙවිඳුගේ එකම සහෝදරයා ද එම පාසලේම 4 වැනි වසරේ අධ්‍යාපනය ලබයි. සිය ජයග්‍රහණය ගැන තවදුරටත් අදහස් දැක්වූ සිසුවා මෙසේ ද පැවසීය. “ජයග්‍රහණය ලැබීම ගැන ගොඩක් සතුටුයි. මේ ජයග්‍රහණය ලබාගන්න උදව් කළ අම්මට තාත්තාට වගේම විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන්ට ස්තූතිය පුදකරනවා. අම්මයි තාත්තයි ගොඩක් මහන්සි වුණා. මට වැඩි පීඩනයක් දුන්නේ නෑ. සැහැල්ලුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න දිරිමත් කළා. ඔවුන්ට මම ණයගැතියි.

වාද්දුව – සුමිත් පොතුපිටිය

මෙවර ශිෂ්‍යත්වයෙන් හොරණ තක්ෂිලාවට විශිෂ්ට ප්‍රතිඵලයක් 5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව හොරණ තක්ෂිලා විද්‍යාලයේ

එනුකි අකේන්‍යා දියණියට ලකුණු 195 ක්
චන්දි නන්දිල් පුතුට 193 ක්
කෙමිඳු වීරකෝන් පුතුට 190 ක්
කෙනුලි රුද්‍රිගු දියණියට 190 ක්
පහේ හපන්නු

5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව හොරණ තක්ෂිලා විද්‍යාලයේ සිසුන් 118ක් ශිෂ්‍යත්ව විභාගය සමත් වී ඇති බවත්, මෙම ප්‍රතිඵලය මෑතකාලීන ඉතිහාසය තුළ ශිෂ්‍යත්වය සමත් වූ වැඩිම ප්‍රමාණය බවත් විදුහල්පති ජනක් අබේරත්න මහතා පැවසීය. මෙවර විද්‍යාලයේ ඉහළම ලකුණු වූ ලකුණු 195 ලබාගෙන ඇත්තේ එනුකි අකේන්‍යා ශිෂ්‍යාව වේ.

මීට අමතරව චන්දි නන්දිල් ජයකොඩි සිසුවා ලකුණු 193 ක් ද, කෙමිඳු වීරකෝන් සිසුවා ලකුණු 190 ක් සහ කෙනුලි රුද්‍රිගු වික්‍රමසිංහ සිසුවිය ලකුණු 190 ක් ලබා ගනිමින් විද්‍යාලයේ ඉහළම ලකුණු වාර්තා කර ඇත. මෙවර විදුහලෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා මුළු සිසුන් 207 ක් ඉදිරිපත් වී ඇති අතර ඉන් 118ක් විශිෂ්ට ලෙස සමත් වීම සියයට 57 ක ඉහළ ජයග්‍රහණයකි.

ලකුණු 195 ගත් එනුකි ලියනගේ සිසුවිය ඇතුළු විද්‍යාලයේ ඉහළම ලකුණු ලබාගත් සිසු සිසුවියන් හතරදෙනා ප්‍රාථමික අංශයේ විදුහල්පති මේනකා රුවන්මලී මහත්මිය සමග ඡායාරූපයකට මුහුණ දුන්නහ.

අඟුරුවාතොට – මංගල ප්‍රසන්න

මීරිගම අධ්‍යාපන කොට්ඨාසයේ වැඩිම සිසු පිරිසක් ශිෂ්‍යත්වයේ සමත් බණ්ඩාරනායක විද්‍යාලය

පහේ හපන්නු

ඩෙනුලි නේජා දියණියට ලකුණු 183ක ජයක්

මීරිගම බණ්ඩාරනායක මහා විද්‍යාලයේ ඩෙනුලි නේජා වික්‍රමසිංහ ශිෂ්‍යාව ලකුණු 183 ක් ලබාගෙන විභාගයෙන් විශිෂ්ඨට ලෙස සමත් වී ඇත. පාසලේ ශිෂ්‍ය නායිකාවක් වන ඇය නිරන්තරයෙන් පාසලේ උගන්වන පාඩම් වැඩ හොඳින් කළ නිසාත් පසුගිය ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීම නොකඩවා සිදුකළ නිසාත් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ බව ඩෙනුලි ‘දිවයින’ සමඟ පැවසුවාය.

බණ්ඩාරනායක මහා විද්‍යාලයේ සිසුන් 53 දෙනකු මෙවර ශිෂ්‍යත්ව විභාගය හොඳින් සමත් වී ඇත. උාෂානා තිසුම්ලි ශිෂ්‍යාව ලකුණු 178ක් ලබා ගෙන ඇත. මීරිගම අධ්‍යාපන කොට්ඨාසයේ වැඩිම දරුවන් පිරිසක් සමත් වූ පාසල ලෙස ද මීරිගම බණ්ඩාරනායක මහා විද්‍යාලයට අවස්ථාව හිමි වී ඇත.

සුජාතා ජයරත්න

මීරිගම අධ්‍යාපන කොට්ඨාසයේ පළමු තැන ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ සෙනුදි දනාරාට

ලකුණු 191 යි

තවත් විශිෂ්ට ජයග්‍රහණ 3 ක්

පහේ හපන්නු

මීරිගම ඩඩ්ලි සේනානායක ආදර්ශ මහා විද්‍යාලයේ සෙනුදි දනාරා හඳගම ශිෂ්‍යාව ලකුණු 191ක් ලබා ගනිමින් මීරිගම අධ්‍යාපන කොට්ඨාසයේ පළමු ස්ථානයට තේරී පත් වී ඇත.

පාසලේ උගන්වන වැඩ උදේ සවස පාඩම් කිරීම හා ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීමත් නිසා ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ බව සෙනුදි පවසුවාය.

මව මිහිරි දිලිනි ගුණවර්ධන වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්යවරියක් බවත් පියා චරිත් ලක්මාල් බණ්ඩාර මෘදුකාංග ඉංජිනේරුවරයකු බවත් සෙනුදි දියණිය පැවසුවාය.

එසේම මෙම විද්‍යාලයේ සනායා සසඳලි ලකුණු 182ක් ද නෙතුකි නසන්‍යා රණසිංහ ලකුණු 182ක් සහ සොනක්ෂි දම්සාර අල්ලිස් ලකුණු 181ක් ලබාගෙන ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ජයක් ලබා ඇති අතර විද්‍යාලයේ දරුවන් 40 දෙනකු විභාගය හොඳින් සමත් වී ඇත.

සුජාතා ජයරත්න

ශිෂ්‍යත්වයෙන් තෙවන තැන පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨයට

හරීන් දේශාන් පුතුට ලකුණු 196 ක්

පහේ හපන්නු

මෙවර නිකුත් වූ 2023 පහ වසරේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව ලකුණු 196 ලබා ගනිමින් දිවයිනේ තෙවන ස්ථානය පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලයේ හරීන් දේශාන් වැලිසර සිසුවා හිමි කරගෙන ඇතැයි, විදුහල්පති නිමල් බණ්ඩාර මහතා පැවසීය. ශිෂ්‍යත්ව විභාගයට සිසුන් 147 දෙනකු පෙනී සිට ඇති අතර, ඉන් 67 දෙනකු කඩඉම සමත්වී ඇතැයිද, මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට විදුහලේ ආචාර්ය මණ්ඩලයයේත්, දෙමව්පියන්ගේ කැපවීමත් හේතු වූ බව විදුහල්පතිවරයා පැවසීය.

ඡාරූපයේ වමේ සිට, විදුහල්පති එම්.එන්. බණ්ඩාර මහතා, හරීන් දේශාන් වැලිසර සිසුවා, පංති භාර ආචාරිනී එස්. ප්‍රියලතා මහත්මිය සහ නියෝජ්‍ය විදුහල්පතිනි එස්.ජී.එල්. ජානකී මහත්මිය පිළිවෙලින් සිටිති.

පාදුක්ක – නීල් රාජපක්ෂ

මීරිගම කීනදෙණිය ප්‍රාථමිකයේ නෙසිත පුතුට ලකුණු 190ක්

පහේ හපන්නු

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් කීනදෙණිය ප්‍රථමික විද්‍යාලයේ නෙසිත නිහිංස නානායක්කාර ශිෂ්‍යයා ලකුණු 190ක් ලබා ගනිමින් විභාගය විශිෂ්ට ලෙස සමත් වී ඇත. මෙම ශිෂ්‍යා පසුගිය ප්‍රශ්න පත්‍රවලට නිරන්තරයෙන් පිළිතුරු ලියූ බව ද විභාගය ආසන්නයේදී හොඳින් පාඩම් කටයුතු කළ බව පැවසුවේය. පාසලේ ගුරු මෑණිවරුන්ගෙන් උපරිම සහයෝගයක් ලබා ගැනීමට හැකි වූ හෙයින් මෙවැනි ජයග්‍රහණයක් අත්කර ගැනීමට හැකි වූ බව ද පැවසුවේය. සුජීවනී ස්වර්ණපාලි සහ සම්පත් කුමාර යන නෙසිත පුතුගේ මව්පියන් දෙදෙනා මාර්ස් ආයතනයේ සේවය කරති.

මෙම විද්‍යාලයේ සිසුන් 35 දෙනකු විභාගය සමත් ව ඇති අතර සෙනුදි නෙතුෂිකා ලකුණු 182ක් ද, දිනුලි දුලන්යා මල්ලව ලකුණු 181ක් ලබා ගනිමින් ද විභාගය විශිෂ්ට ලෙස සමත් වී ඇත.

සුජාතා ජයරත්න

මොනරාගල ප්‍රථම ස්ථානය මහානාම ප්‍රාථමිකයට: විහිනි තෙවන්සා දියණියට ලකුණු 194 ක්

පහේ හපන්නු

2023 මෙවර 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් මොනරාගල මහානාම ප්‍රාථමිකයේ 5-ඩී ශ්‍රේණියේ ඉගෙනුම ලබන එච්.එම්. විහිනි තෙවන්සා ශිෂ්‍යාව ලකුණු 194 ලබාගෙන මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබේ.

මොනරාගල පොතුවිල් පාර, 05 වන පටුමගෙහි පදිංචි තෙවන්සා ගේ පියා වන එච්.එම්. චාමර රුවන් කුමාර වෘත්තියෙන් පෞද්ගලික සමාගමක ඉංජිනේරුවරයෙකි.

මව වන ආර්.එම්. රක්ෂිලා දමයන්ති මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිලධාරිනියකි.

චෙස් ක්‍රීඩාවට විශිෂ්ට දක්ෂතා දක්වන තෙවන්සා පාසල් සමස්ත ලංකා චෙස් තරඟාවලි නියෝජනයකර තිබේ. දැනට මාහානාම ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස කටයුතු කරන ඇය ඉගෙනුමට මෙන්ම ඉංග්‍රීසි භාෂාව, ක්‍රීඩාව, නර්තනය සහ සංගීත වාදනයටද විශිෂ්ට දක්ෂතා පෙන්වා ජයග්‍රහණ රැසක් ලබා ඇත. තම ජයග්‍රහණය පසුපස සෙවනැල්ලක් මෙන් සිටිමින් තමා දිරිමත්කළ ආදරණීය දෙමව්පියන්ට, පාසලේ විදුහල්පති සුජීව උදය කුමාර ගුරුපියාට සහ පන්තිභාර ජීවනී ගුරු මෑණියන් ඇතුළු සියලු‍ ගුරු භවතුන්ට ඇය සිය කෘතවේදීත්වය පළකළාය. තමාගේ එකම අරමුණ වැඩිදුර අධ්‍යාපනය ලබා යහපත් පුරවැසියකුවී සමාජයට වැඩදායී සේවයක් කිරීම බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment