අඹුසැමි යුවළ ඝාතනය කළ මහ මොළකරු පොලිස් දැලේ

1496

වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයක් පැවැති නිවසකට ප්‍රහාරයක් එල්ලකොට අඹුසැමි යුවළක් ඝාතනය කළ සිද්ධියේ මහ මොළකරු පළාතෙන් පලාගොස් සැඟව සිටිය දී පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඔහුව 26 දා අත්අඩංගුවට ගෙන තිබේ.

2023 ජූලි 23 දින සිදු වූ මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව බන්ධනාගාර ගතකොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහ මොළකරු ඇතුළුව තවත් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව පොලිසිය අධිකරණයට දැනුම් දීමෙන් පසුව ඔවුන් තුන්දෙනාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසත් ඔවුන්ව දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙසත් පොලිසියට අධිකරණයෙන් නියෝග ලැබී තිබුණි.

ඒ අනුව ක්‍රියාතමක වූ පොලිසිය මහ මොළකරු වශයෙන් හඳුනාගෙන ඇති තැනැත්තා වවුනියාවෙන් පලා ගොස් හොරොව්පොතාන ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.

උපන් දින සාදය පැවැති නිවසට වෙනත් පළාතකින් පැමිණි එම අඹුසැමි යුවළ ඝාතනය කිරීම සඳහා මොහු රුපියල් කෝටි දෙකකට කොන්ත්‍රාත්තුවක් ලබාගෙන ඇති අතර ඉන් රුපියල් ලක්ෂ විසි පහක මුදලක් අත්තිකාරම් වශයෙන් ලබාගෙන ඇති බවට තොරතුරු හෙළි වී තිබුණි.

එසේ ඝාතන කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇත්තේ මියගිය කාන්තාව සමග වෙනත් අයෙකුත් මියගිය පිරිමියා සමග වෙනත් කාන්තාවකුත් පවත්වා ගෙන ගිය අනියම් ඇසුරක් හේතුවෙන් බවට ද තොරතුරු අනාවරණය වුණි.

අත්අඩංගුවට ගත් මහමොළකරුගෙන් පොලිසිය අධිකරණ නියෝගය මත රඳවා තබා ගෙන ප්‍රශ්න කරගෙන යයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment