පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙය කියවිය යුතුමය

958

අප විසින් අතීතයේදීත් මේ තීරුව ඔස්සේ කියන ලද පරිදි ලංකාව වූකලී ලෝකයේ ලොකුම දේවල් තිබෙන රටකි. උදාහරණයක් වශයෙන් එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී තිබූ සමගි පෙරමුණු ආණ්ඩුව දෙහිවල සතුන් වත්තට අනුබද්ධව මත්ස්‍ය ප්‍රදර්ශනාගාරයක් තැනීය. මින්මැඳුර ලෙස හඳුන්වනු ලැබූ මෙම ඒකකය එකල ලොව තිබූ ලොකුම මාළු ටැංකිය බව සමගි පෙරමුණු ආණ්ඩුව කීවේය. ලෝකයේ ලොකුම නිල් මැණික ලැබුණේ ලංකාවෙනි. කිලෝ කිහිපයක් බර එය කැබලි කිහිපයකට කැපූ අතර එයින් එක කැබැල්ලක් නැසීගිය මහ රැජිනගේ ඔටුන්නේද අනෙක් කැබැල්ල නැසීගිය ඩයනා කුමරියගේ මුදුවෙහිද ඇත. මීට අවුරුදු 10 ට පමණ පෙර ලෝකයේ ලොකුම කිරි බත කොළඹ ටවුන්හෝල් එකේදී උයන ලදී. කොතරම් විශාල වුවද තප්පර කිහිපයක් තුළ එම කිරි බත අතුරුදන් විය. එක්දහස් නවසිය හැට ගණන්වල අග කොටසේ සිට ලෝකයේ විශාලතම වෙසක් කූඩුව තිඹිරිගස්යායේ අශෝකාරාමයේදී ප්‍රදර්ශනය කරන ලදී. වසර ගණනක ඇවෑමෙන් එම ප්‍රදර්ශනය නවතා දැමීමෙන් පසු ලෝකයේ ලොකුම වෙසක් කූඩුව රත්මලානේ පිට්ටනියක් මැද සාදන ලදී. මෙයට කලකට පෙර මහාචාර්ය සිරාන් දැරණියගල කරන ලද කැණීමකදී ලංකාවට අවුරුදු හත්දාහක දියුණු ශිෂ්ටාචාරයක් තිබූ බව හෙළිවිය. තවදුරටත් පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ එය මෙයට අවුරුදු හත්දාහකට පෙර ලෝකයේ ලොකුම ශිෂ්ටාචාරය බවය. මේ ආකාරයෙන් ලෝකයේ ලොකුම දේවල් අප හාත්පස තිබේ. පුංචිවට ඉන්නේ අප පමණකි. මේ අතර කිවයුතු වැදගත්ම කතාවක් වන්නේ චීනයටත් වඩා චීන හෝටල් ලංකාවේ තිබෙන බවය. කඩ කාමරයක් ඉදිරිපිට පැලැල්ලක් බා, රතු පාටින් සහ කහ පාටින් යුතු මකරකු එහි පින්තාරු කර, “චීන අකුරු” කිහිපයක් එම පැලැල්ල මත ඇඳීමෙන් ඕනෑම කෙනකුට චීන හෝටලයක් දැමිය හැකිය. මෙහිදී පැලැල්ල මත තිබෙන අකුරු ජපන් ද චීනද යන ප්‍රශ්නය මතුවෙයි. එයට හේතුව මේ කොයිකෙන් මොනවා ලිව්වත් අපට නොතේරීමය. අපට කීමට තිබෙන ඊළඟ ආරංචිය වන්නේ ඊජිප්තුවේ තිබෙනවාටත් වඩා පිරමීඩ සංඛ්‍යවක් ලංකාවේ ඇති බවයි. පසුගිය වසර 25 තුළ විවිධ ස්වරූප වලින් මතුවූ පිරමීඩාකාර ආයෝජකයන් නමැති එම සොරු රැල විටින් විට ජනතාවට රුපියල් බිලියන ගණනින් පොලු තබා අතුරුදන් වූහ. දඬුවම් මුදලාලිද එවැනි පිරමීඩකාරයෙකි. ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගම සහ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් ව්‍යාපාරයද, එදිරිසිංහ මූල්‍ය ආයතනයද එවැනි පිරමීඩකරුවො වෙති. ඔවුහු වැඩි පොලියක් දෙන බව කියා ජනතාවගෙන් ආයෝජන එකතු කරති. මුල් මාසවලදී හරියාකාරව තැන්පතුකරුවන්ට පොලී ගෙවන ඔවුහු ඊළඟ මාසයේදී තමන් සතු ඉතිරි මුදල රැගෙන අතුරුදන් වෙති. මෙවැනි පිරමීඩ ජාවාරමක් කළ දඬුවම් මුදලාලි හිරෙන් එළියට පැමිණ ඇප ලබා අතුරුදන් විය. බලගතු දේශපාලකයකු හරහා මීට අවුරුදු 15 ට පෙර ඔහු ඉන්දියාවට පැන ගිය බව දැනගන්නට තිබේ.

වරාය නගරයේ ආයෝජකයකු ලෙස පෙනී සිටිමින් කොළඹ පිහිටි මහල් නිවාස සංකීර්ණ හතකින් නිවාස අටක් ලබාගෙන චීනුන් පිරිසක් එහි රඳවා විශාල පිරමීඩාකාර වංචාවක් කළ චීනකු බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මේ ජාවාරම සඳහා තුන්සීයක කාර්ය මණ්ඩලයක් ඔහුට සිටියහ. ඒ සියලුම දෙනාද චීන්නුය. මැලේසියාව සිංගප්පූරුව ඇතුළු ඩොලර් සීයේ සිට ඩොලර් ලක්ෂ ගණන් දක්වා වූ තැන්පතු ලබාගෙන ඒවාට ප්‍රතිලාභ නොලබා තැන්පතුකරුවන්ට වංචා කිරීම ඔහුගේ ක්‍රමය විය. ඔහු සිය දැලට චීන ජාතිකයන් පමණක් 4000 ක් හසුකරගෙන ඇත. ජාවාරමෙන් ඉපදවූ මුදල් උන්ඩියල් ක්‍රමයට චීනයට යවා තිබේ. මොහු ඉතා සරුසාර සනීපදායක ජීවිතයක් ගතකර ඇත. මේ ජීවිතයට කෑම බීම සහ ලෑම යන සැපදායක අංග තුනම ඇතුළත් වන්නට ඇතැයි අප විශ්වාස කරමු. ලෑම යනුවෙන් කීවාට එහි තේරුම අපද හරියාකාරව දන්නේ නැත. කෑම බීම ලෑම යන තුන පොදු වහරේ කොටසකි.

දැන් අවුරුදු කිහිපයක පටන් විවිධ ජාතියේ හොරු ලංකාවට සම්ප්‍රාප්ත වෙති. මෙවැනි අය අතුරින් කළු ජාතිකයන් වැඩිහරිය කරන්නේ ක්‍රෙඩිට් කාඩ් වංචා කිරීමය. ඒ සඳහා විශේෂඥ දැනුමක් ඔවුනට තිබේ. ඊළඟ පිරිස එන්නේ මුදල් දෙගුණකර දීමටය. එනම් ඔබ අද ඩොලර් 1000 ක් ඔවුන්ට දුන්නොත් හෙට ඔබට ආපසු ඩොලර් 2000 ක් දීමට ඔවුනට පුළුවන. ඒ සල්ලි මාරු කිරීමට ගිය විට හොර ඩොලර් බව හෙළිවන බැවින් ඒවා මාරු කිරීමට ගිය එකා පොලිසියට කොටුවන අතර හිරේ ලෑගීමටද ඔහුට සිදුවේ. ඊළඟ කොටස එන්නේ පිරමීඩ සීන් එකටය. මේ පිරමීඩකාරයන් එක්කෙනෙක්වත් ඊජිප්තුවෙන් එන කට්ටිය නොව ආසියාවේ වෙනත් රටවලින් එන කට්ටිය වේ. අන්තිමට ඔවුන් ගස්යන විට අපේ අයටද ගස් යෑමට සිදුවේ. පිරමීඩාකාර ව්‍යාපෘතිවලට මුදල් ආයෝජනය නොකරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිතරම ජනතාවගෙන් ඉල්ලයි. හැබැයි ජනතාව කිසිකලෙකත් ඒ අවවාද ගණන් ගන්නේ නැතුව පිරමීඩ කාරයන් හා එකතුවී අතේ තියෙන තුට්ටුවට කෙලවා ගනිති. මෙසේ පිරමීඩ ආයතනවල මුදල් තැන්පත් කළ බොහෝදෙනා අද වන විට හිරේ විලංගුවේ සිටිති. සෙස්ස පිට රටවලට පැන ගොස් සිය ජීවිත අලංකාර ලෙස පවත්වාගෙන යති.

advertistmentadvertistment
advertistmentadvertistment