පෙර පාසල් 20,000යි පුහුණු ගුරුවරුන් 7000යි

103

ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

කාණ්ඩ 05 ක් යටතේ රටපුරා පෙර පාසල් විසිදහසක් තිබෙන බවත්, ඒවායෙහි ගුරුවරුන් ලෙස හතළිස් දහසක් පමණ දෙනා සිටියත් පුහුණු පෙර පාසල් ගුරුවරුන් ලෙස සිටින්නේ 7000 ක් පමණ බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (16 දා) පැවසීය.

මේ නිසා ලබන සතියේ සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන අංශය මගින් සියලු පෙර පාසල් අධීක්ෂණය කර ඒවාට පොදු අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා කීවේය. අධ්‍යාපන අමාත්‍යාංශය සහ යුනිසෙෆ් (UNICEF) ආයතනය එක්ව කොළඹදී සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවකට එක්වෙමින් ඇමැතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර, ස්වෙච්ඡා සංවිධාන, පළාත් සභා, පළාත් පාලන සහ තමා විසින්ම යන කාණ්ඩ යටතේ පෙර පාසල් පවත්වාගෙන යන බවත් ඒවා පස්ආකාරයකට අධීක්ෂණය කළ යුතු බවත් ඔහු කීය.

යුනිසෙෆ් සංවිධානය විසින් සිදුකළ සමීක්ෂණයක් අනුව දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ළමයින්ගෙන් සියයට 85 ක් ගණනය කිරීම හා සාක්ෂරතාවය අවම මට්ටමකට හෝ ලබා නැති බව වාර්තා කර ඇති බවත්, එය කොවිඩ් අර්බුදය හේතුවෙන් පමණක් නොව පුහුණු ගුරුවරුන් නොමැතිවීම නිසා ද වූවක් බවත් ඇමැතිවරයා කීය.

2018, 19, 20, 21 වර්ෂවල ගුරුවරුන් ලෙස බඳවා ගත් ග-ුරුවරුන් ප්‍රාථමික ගුරු පුහුණුවකින් තොරව ප්‍රාථමික ශ්‍රේණිවලට අනුයුක්ත කිරීම ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය බිඳවැටීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව ද කී ඇමැතිවරයා ඔවුන්ට ක්‍රමවත් පුහුණුවක් ලබානොදුනහොත් ඉදිරියට මේ තත්ත්වයම පවතින බවත් කීය. එම නිසා එම පිරිස්වලට නිසි පුහුණුවක් ලබාදීමට පියවර ගන්නා බවත් කීය.

කොවිඩ් තත්ත්වයට වෙනත් රටවල් ද මුහුණදුන් බවත් ඔවුන් අමතර වේලාවන් යොදවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකර සාමාන්‍ය තත්ත්වයට පත්කරගෙන ඇති බවත, අපි ද ඒ ආකාරයෙන් කටයුතු කළ යුතු බවත් ඇමැතිවරයා කීය. ගුරුවරුන් කිහිපදෙනකු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට අධිකරණය හමුවට ගියත් හතළිස්දෙලක්ෂයක් වන දරුවන් වෙනුවෙන් කතා කිරීමට කෙනකු නැති බවත් ඇමැතිවරයා කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment