භාව දොළහයි ග්‍රහයෝ නවයයි – සිවුවැන්න හඳුනා ගනිමු

1830

මෙම භාවයෙන් මව, පපුව, පෙනහළු, ගේ දොර ඉඩකඩම් යාන වාහන පිළිබඳ නියෝජනය වේ. ස්ථානීය විග්‍රහයේ මාතෘස්ථානය චින්තස්ථානය, ගෘහ ස්ථානය ලෙසින් දක්වා ඇත. මෙම ස්ථානය කේන්ද්‍රස්ථාන සතරෙන් ප්‍රධාන තැනක් ගනී. යමෙකුගේ මෙම භවය හා භාව අධිපතියා දුර්වල නම් අනෙක් භාවයන් හා භාවාධිපතියන් ඉතා බලවත් නමුත් මනුෂ්‍යයෙකුට අවශ්‍ය බොහෝ දේ හා සැප සම්පතින් අඩු පුද්ගලයකු බිහි කරයි. එසේම මව පිළිබඳ, නෑදෑ මිත්‍රයන්, සයන සුඛය ගමන් බිමන් රථවාහන වතුර, ළිං පොකුණු, පාරවල් ඇදීමට ගන්නා රෙදිපිළි ආභරණ සුවඳ විලවුන් පිළිබඳව ද, විනිශ්චය කළ හැක.

  1. රවි – ස්ථානීය බලයෙන් යුතු රවි මෙම භාවයේ තැන්පත් වූ විට මවුපිය දෙපාර්ශවයේම දේපළ ඉඩකඩම් උරුම වේ. ඉඩකඩම් හා වාරිමාර්ග අංශයේ ආණ්ඩුවේ රැකියා කිරීමට උරුමය ඇත.

රවි දුර්වලව මේ භාවයේ තැන්පත් වී නම්, සිතේ භීතිය ඇතිවන, මවුපියන්ට විපත් පමුණුවන, මවුපියන් හා නෑදෑයන් සමග විරුද්ධ වන හෘදයේ පීඩා ඇති වන, වැටීම් වැනි අනතුරු නිසා තුවාල සිදුවන පුද්ගලයකු උපත ලබයි.

  1. චන්ද්‍ර – බල සහිත සඳු සිවුවැන්නේදී අලුත් ගෙවල් දොරවල්වල මාසයට හිමිකම ලැබේ. ඉඩකඩම් හිමියෙකි. එසේම මුතු මැණික් යාන වාහන උරුම වේ. ස්නානයට හා පානයට පිරිසිදු ජලය ලැබේ. ප්‍රීතිමත් සිතකට හිමිකම් කියන අතර ජල යාත්‍රා මගින් විනෝද චාරිකා ආදියේ යෙදෙන අයෙකි. මවට ඉතා ළෙන්ගතු වන අතර ඇය ද දැඩිව ආදරය කරයි. අධික සැප සම්පත් උරුම වේ.

සිවුවැන්නේ සඳු දුර්වල නම් එසේම 22 වන දෙර්කානාධිපතිනිය හා දුෂ්ට ග්‍රහයා වූ විට මවට විපත් ඇති වේ. මව් සන්තක දේපළ උරුම වීම ද අවිනිශ්චිත වේ. ජන්ම අපලය යෙදේ. සෙම් රෝග, ක්‍ෂය රෝගය වැළඳීම, පා ගමනින් ගමන් බිමන් යෑමට සිදුවීම, උන්හිටිතැන් නැතිව යෑම, අබිලි නෙතමනය සහිත අශෝභන ගෙවල්වල වාසය කිරීමට සිදුවීම, ස්ත්‍රී වියවුල් මවගේ ඥාතීන් සමග අඬදබර, වැටීම නිසා මෙන්ම රථවාහනවලට යටවීම නිසා විපත් සිදු වේ. ජලයෙන් විපත් ද සිදුවිය හැකිය.

  1. කුජ – බලවත් වූ කුජ සිවුවැන්නේ නම්, පොළව සම්බන්ධ කටයුතු කරන්නන්, ඉඩම් හිමි වැවිලිකරුවන්, ලෝහ ආකර හිමියන්, මැණික් පතල් හිමිකරුවන් බිහි වේ. සහෝදරයන්ගේ ආදරය හිමි අයෙකි. බොහෝ වර්ග වැවීමට මෙන්ම බෙහෙත් වර්ග සාදන්නන් උපත ලබයි. දක්ෂ ගොවීන්, මිනින්දෝරුවන්, වන සංරක්ෂණ නිලධාරීන්, ඉඩම් ආරක්ෂා කරන ස්ථානයන්හි සේවය කරන්නන්, දිසාපති වැනි තනතුරු මෙවැන්නන්ට හිමි වේ.

දුර්වලව කුජ සිවුවැන්නේ නම් ගින්නෙන් ගෙවල් දොරවල් හානි වන පාරම්පරික බඩු, දේපළ සහෝදරයන් විසින් පැහැර ගැනීම සිදුවීම, කූට අයුරින් මත්ද්‍රව්‍ය වෙළඳාම් කිරීම නිසා මෙවැන්නන් සිරගත වීමට ලක්වීම මෙන්ම කඩු ආදී ආයුධ ප්‍රහාරයන්ට ද ලක්විය හැක. ගමන් බිමන්වලින් විපත් ඇති වන මොහුගේ අනෙක් ග්‍රහයන්ගේ බලවත්වීම් අනුව පාතාල නායකයකු ද බිහිවිය හැක.

  1. බුධ බලයෙන් යුතු බුධ සිවුවැන්නේ සිටි විට ඔවුන් සිනමා කර්මාන්තයේ නියුතු වූවන්, මුද්‍රණාල හිමිකරුවන් රූපවාහිනී වැනි මාධ්‍ය හිමිකරුවන් අවමයෙන් සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාකාරීන් උපත ලබයි. නැන්දා මාමාගෙන් ගේ දොර ලැබේ. එසේම මෙවැන්නන්ට නෑනලා මස්සිනාලාද ඉතා ළෙන්ගතු වේ. මල්වතු උයන්වතු ක්‍රීඩා භූමි පාලකයන් වන්නේ ද මෙවැනි ග්‍රහ පිහිටීම් ඇති අයයි.
  2. ගුරු බලවත් වූ ගුරු සිවුවැන්නේ නම් ඔහු ඉඩකඩම් අලංකාර ගේ දොර හිමි සැප විඳින ප්‍රඥාවන්තයෙකි. මෙවැන්නන්ට ගමනාගමනය සඳහා සුව පහසු යාන වාහන ලැබේ. එසේම විචිත්‍ර ඇඳුම් පැළඳුම් ද හිමි වේ.

සිවුවැන්නේ ගුරු දුබලව තැන්පත් වී නම්, ගුරු හංස යෝගයේ බලය පිරිහේ. හදවත් පීඩා ධන හානි ක්‍ෂය රෝගය වැනි පෙනහළු රෝග ස්වකීය නෑයන්ගේ විරෝධය එක තැන සිටීමේ අපහසුව, ස්ථාන වෙනස්වීම් සැප සම්පත් අහිමි වීම් ආදිය ඇති වේ. එසේම සිවුවැන්න ගුරුගේ රාශියක් වී 22 වන දෙර්කානාධිපති වී නම් ගුරුගේ දශාවක් හෝ අතුරු දශාවක් පවතින විට, ජීවිත හානි, වැටීමෙන් හෝ රිය අනතුරු නිසා සුෂුම්නාවට හානි සිදු වී සදාකාලික ආබාධිතයකු ද විය හැක. එසේ නොවේ නම් අංශභාග රෝගයට ද හෝ ගොදුරු වේ.

  1. ශුක්‍ර – සිකුරු සිවුවැන්නේ බලවත්ව තැන්පත් වී ඇත්නම්, අලංකාර අලුත් නිවාස හා නිවසට නව පන්නයේ බඩු භාණ්ඩ ලැබීම නිවස වටා භූමිය අලංකාර ලෙස සැකසීම, මල්වතු උයන්වතු ක්‍රීඩා භූමි නැටුම් හල් සිනමාශාලා හිමිකරුවන් වීම නැති නම් ඒ ස්ථානවල සේවය කරන්නන් වේ. ස්ත්‍රී සැප ලබන, සිතූ පැතූ සම්පත් ලබන තම නිවස තමාට සුරවිමනක් වන අයෙකි.

සිකුරු දුර්වලව හා 22 දෙර්කානාධිපතියා වීම හදිසි අනතුරු මාරක හා සමාන තත්ත්වයට පත්වීම, සෙම් රෝග පපුවේ අමාරු නිතර කැස්ස ශරීරය ක්‍ෂවීම, ජලයේ වැටීමෙන් හෝ ජල ගැලීම්වලින් හානි සිදුවීම තම ගේ දොර අනුන් සතු වීම ස්ථාන හානිය, ස්ත්‍රී වියවුල් අපහාස අවනම්බු විඳීමට සිදුවීම, ණයකරුවෙකු වීම හා දැඩි පීඩනයට ලක්වීම සිදු වේ.

  1. ශනි: මෙහි ශනි බලවත් වූ විට “සස” යෝගය යෙදේ. මෙය ධන යෝගයකි. මෙවැන්නා ගෙවල් දොරවල් මෙන්ම විහාර දේවාල තමාගේ වියදමින් සාදයි. අනුන්ගේ දියුණුව වෙනුවෙන් කැපවන මොහු තමාගේ ඉඩකඩම් සඟසතු කොට පූජා කරයි. පූජා භූමි බවට පත් කරයි. භූමි ලාභ ලබන, පතල් කර්මාන්ත හිමියෙක් වේ.

පීඩාවට පත්ව ශනි සිව්වැන්නේ නම්, ඉහත කියන ලද කරුණු සියල්ල නොපිටට හැරේ. දුගී යාචකයකු වීම අනුන්ට මෙහෙකාරකම් කරන්නෙකු වීම කිලිටි වස්තු හැදි ගල් වැඩපළවල් කම්හල් ආදියේ වැඩ කරන්නට සිදුවීම, දාඩිය පෙරන කය වෙහෙසෙන කටයුතු කරන්නෙකු වීම, අධික දුක් විඳින්නෙකු වීම නෑයන් මිතුරන් මව් ආදී පාර්ශ්වයන් විරුද්ධ වීම ද සිදු වේ.

  1. රාහු කේතු පිළිබඳව ශනි හා කුජ පිළිබඳව ප්‍රකාශ කරන ලද තොරතුරු ඇසුරින් විමසා බැලිය යුතුය.

චන්ද්‍ර රාශියක් වී සඳු එහි සිටීම, හෝ සඳු සිටින රාශි අධිපතියා හතරේ සිටීම. ගුරු, සිකුරු, බුධ, ශනි, චන්ද්‍ර බලවත්ව හතරවැන්නේ යෙදෙන ගුරු හංස, මලවි, සස, භද්‍රා ආදී ග්‍රහයෝග යෙදුන විට ගේ දොර ඉඩකඩම් රථවාහන හිමි මහා ධන හා කැපවන්නකු බිහි වේ.

අට හා දොළහ අධිපතියන් හතරේ සිටීම සතර වැන්න මකරය වී ගුරු සිටීම කන්‍යාව වී සිකුරු සිටීම හා අනෙක් ග්‍රහයන් නීචව සිටි කලද යම් පමණ පාප ග්‍රහයන් සතර වැන්නේ දකී ද එපමණ ගණනකට ගෙවල් ගින්නෙන් හෝ අන් ක්‍රමයකින් විනාශ වේ.

භාව දොළහයි ග්‍රහයෝ නවයයි - සිවුවැන්න හඳුනා ගනිමු

ජ්‍යොතිෂවේදී,
එස්.ඩී.ජේ. පතිරණගේ
තිසර ජ්‍යොතිෂ සේවය. ලේනමඩුව -කඹුරුපිටිය.
දුරකතන අංකය 0714396119

advertistmentadvertistment
advertistmentadvertistment