මහඔය අඹගහවත්තේ වටිනා ගස් 80 ක් බිම හෙළු තිදෙනෙක් රිමාන්ඩ්

25

මහවැලි අධිකාරියට අයත් මහඔය එගොඩ අඹගහවත්ත රජයේ කැළෑවේ හේනක් කපා වටිනා ගස් අසූවක් බිම හෙළු තිදෙනෙක් පසුගිය 25දා මහඔය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 03දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටදෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් එච්.එම්. ප්‍රියන්ත බණ්ඩාර හල්යාල මහතා නියෝග කර ඇත.

රජයේ කැළෑවේ අක්කරයක පමණ කොටසක් මෙලෙස එළිපෙහෙළු කොට වන විනාශයක් කරන බවට මහවැලි අධිකාරියේ මහඔය කාර්යාලයෙන් කරන ලද තොරතුරකට අනුව මහඔය පොලිසියේ උප පොලිස් පරීක්ෂක එස්. මානවඩු මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම රූස්ස වනයට ඇතුළුවී සැකකරුවන් තිදෙනෙකු සමග දැව තොගය අත්අඩංගුවට ගෙන ඇත. දමුණු, වෙලම්, කැටකෑල, දුණුමෑල්ල, කෝන් ආදි වට අඩි හතරත් දෙකත් අතර ප්‍රමාණයේ වටනා දැව කඳන් මෙලෙස අත්අඩංගුවට ගත් දැව අතර වේ.

මහඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.සී.ඒ.ආර්. අරම්පොල මහතාගේ ප්‍රධානත්වයෙන් මහඔය පොලිසියේ උප පොලිස් පරීක්ෂක එස්. මානවඩු මහතාගේ නායකත්වයෙන් පොලිස් සැරයන් (40875) පුණ්‍යසිරි, පොලිස් කොස්තාපල් (76205) කරුණාරත්න යන අය මෙම වැටලීමට එක්ව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මහඔය එගොඩ අඹගහවත්ත රජයේ කැළෑවේ වටිනා දැව විනාශ කර ඇති අයුරු ඡායාරූප වලින් දැක්වේ.

පදියතලාව විශේෂ – භාෂණ සත්‍යප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment