මහරගම අවදානම් සහ අනාරක්ෂිත ගස් කපා ඉවත් කිරීම අරඹයි

39

මහරගම නගර සභා බල ප්‍රදේශයේ අවදානම් සහ අනාරක්ෂිත ගස් කපා ඉවත් කිරීමේ වැඩසටහන යටතේ මහරගම නගරයේ පිහිටි වසර 50 ත් වඩා පැරණි බෝ ගසේ අවදානම් අතු දෙකක් කපා ඉවත් කිරීමට පියවර ගත් බව මහරගම නගර සභාවේ ලේකම් අරුණ සී. ඩයස් මහතා දිවයිනට පැවසීය.

මහරගම ජාතික තරුණ සේවා සභාව ඉදිරිපිට පිහිටි පෞරාණික බෝ ගස් දෙකක් මෙයට පෙර අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හමුවේ හයිලෙවල් මාර්ගයට කඩා වැටී කාන්තාවක් ඇතුළු සිවි දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ අතර එහිදී වාහන හතරකට අලාභානි සිදුවිය. මෙම සිද්ධියෙන් පසුව විවිධ පාර්ශව කළ ඉල්ලීම් ගැන සලකා බලා මෙම පියවර ගත් බව ඒ මහතා පැවසීය.

ඒ අනුව නගර සභා සීමාව තුළ ඇති අනාරක්ෂිත සහ අවදානම් තත්ත්වයේ ඇති විවිධ වර්ගයේ ගස් කපා ඉවත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් එහි පළමු පියවර ලෙස මහරගම ජාතික තරුණ සේවා සභාව ඉදිරිපිට බෝ ගස සහ වත්තේගෙදර හන්දියෙන් නාවින්න දෙසට හැරෙන හන්දියේ පිහිටි පෞරාණික බෝ ගසෙහි අතු කපා ඉවත් කිරීමට පියවර ගත් බවට පැහැදිලි කළේය.

මෙම ගස්වල අතු කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් දින 14 කට පෙර දැන්වීම් හරහා ජනතාව දැනුවත් කර බෝ ගස්වල අතු කපා ඉවත් කළ බවත්, ඇතැම් බෝ අතු අධි බලැති විදුලි රැහැන් වලට සහ යාබඳ මහල් ගොඩනැඟිලි වලට බරපතල ලෙස බාධා වන අයුරින් වැටී තිබුණු බවත් ඒ මහතා පැවසුවේය.

මේ සඳහා වැය වන සියලු මුදල් නගර සභාව මගින් වැය කරන අතර, ඉදිරියේදී නගර සභා බල සීමාවේ ලැයිස්තු ගත කර ඇති අවදානම් ගස් 100 කට ආසන්න ප්‍රමාණයක් කපා ඉවත් කිරීමට පියවර ගන්නා බව ඒ මහතා වැඩිදුරත් කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සමීර අබේසිංහ – මහරගම සහ ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment