පුරා දින 12 ක් පාගමනින් වැඩමකළ තායිලන්ත භික්‍ෂුන් වහන්සේලා පිරිස අනුරාධපුරයට ළඟාවෙති

105

තායිලන්ත ජාතික භික්ෂුන් වහන්සේ පනස් නමක් මේ දිනවල ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සංචාරය කරමින් සිටී. පසුගිය 13 වැනිදා ආරම්භ කළ මෙම පාගමන පුරා දින 12 ක් තිස්සේ වැඩමකොට පසුගිය 25 දා මෙම භික්ෂුන් වහන්සේලා පිරිස අනුරාධපුරය වෙත ළඟා වූහ.

පසුව ස්වර්ණපාලි චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳපුදාගෙන එහි ආගමික වතාවත්හි නිරත වූහ. මෙහිදී පිරිස කප්රුක් පූජාවක්ද සිදු කළහ.

ස්වර්ණමාලී චෛත්‍යරාමාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක ස්වාමීන් වහන්සේ බැහැදැක දෙරටේ බෞද්ධ සබැඳියාව පිළිබඳව සාකච්ඡාවක ද නිරත විණි. මෙම අවස්ථාවේ පූජා භූමි සංවර්ධන නිලධාරී ප්‍රශාන් ධනුෂ්ක මහතා ඇතුළු පිරිස එක්ව භික්ෂුන් වහන්සේලා කණ්ඩායමට ගිලන්පස පූජාවක්ද සිදු කළේය.

නුවර යුගයේ දී සියම් දේශයේ උපාලි තෙරුන් මෙරටට වැඩම කර උපසම්පදාව ඇති කළත්, ඊට පෙර තායිලන්තයේ උපසම්පදාව ඇතිකිරීම සඳහා එරට සාමණේර භික්ෂූන් වහන්සේ පිරිසක් සිරිලකට වැඩමවා උන්වහන්සේලා පිරිස උපසම්පදාවේ පිහිටුවා තිබේ. එය සිදුකර ඇත්තේ කෑරගල රජමහා විහාරයේ එවක නායක හිමිපාණන් වහන්සේ වශයෙන් වැඩවිසූ වනරතන සංඝරාජ නාහිමිගේ ප්‍රධානත්වයෙනි.

මෙකී ඓතිහාසික කරුණු මුල් කරගෙන ආගමික වතාවත්හි නිරත වීමට තායිලන්ත භික්ෂූන් වහන්සේ පිරිස මෙරටට වැඩම කරවීමේ දී මූලිකත්වය ගෙන ඇත්තේ තායිලන්තයේ චූලාලංකාර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය වල්මෝරුවේ පියරතන ස්වාමීන් වහන්සේයි. මෙම සංචාරය සමිබන්ධීකරණය ඓතිහාසික කෑරගල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය රජාවෙල නන්දරතන නාහිමියන් විසිනි.

තායිලන්ත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස පෙබරවාරි 09 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර මිහින්තලේ, මහියංගණය, පොලොන්නරුව, ශ්‍රී දළදා මාළිගාව, ශ්‍රීපාදස්ථානය වැනි බෞද්ධ සිද්ධස්ථානද වැඳපුදා ගැනීමට නියමිතය.

නොචිචියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment