මහවැසි සුළං මැද විපත් – දින 13ට මරණ 15ක්

217

අවිස්සාවේල්ලේ එකම පවුලේ 3ක් ගංවතුරට බිලි
පුවක්පිටියේදී වාහන ජලයේ ගසාගෙන ගිහින්
කළුතර ප්‍රදේශ කීපයකට නායයෑම් රතු නිවේදන
කැලණි, කළු, ගිං, නිල්වලා පිටාර ගලයි
ඇහැලියගොඩට මි.මී. 427ක වර්ෂාපතනයක්
දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු ඇඟවීම්
තවලම දෙදෙනෙක් ගංවතුරින් අතුරුදන්
ජීවිත බේරගන්න හමුදාව සහ පොලිසියත්

මහවැසි සුළං මැද විපත් - දින 13ට මරණ 15ක්

අධික වැසි, අධික සුළං, ගස් කඩාවැටීම් වැනි ආපදා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඊයේ (2දා) වනවිට 15 දක්වා ඉහළ නැඟ තිබේ. මැයි 20 වැනිදා සිට මේ දක්වා දින 13ක කාලය තුළ මෙම මරණ වාර්තා වී තිබේ.

මින් මරණ 8ක්ම වාර්තා වී ඇත්තේ ගස් කඩාවැටීමෙන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙම මරණ රත්නපුර, පුත්තලම, කොළඹ, බදුල්ල, ගාල්ල, මාතර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින් වාර්තා විය.

මහවැසි සුළං මැද විපත් - දින 13ට මරණ 15ක්

අවසන් වශයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගල මරණ 6ක් වාර්තා වී තිබේ.

අවිස්සාවේල්ල එළිස්ටන් වත්ත, කැමිල්ල ප්‍රදේශයේදී ගංවතුරට හසුවූ එකම පවුලේ තිදෙනකු ඊයේ (02දා) අලුයම මරුමුවට පත්වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි මව, 7 හැවිරිදි දියණිය හා 78 හැවිරිදි සීයා ය .

ඊයේ අලුයම 2.00ත් 3.00ත් අතර කාලයේ මෙම නිවස ආසන්නයේ ඇති ඇළ මාර්ගයේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමෙන් නිවස ජලයෙන් යටවී ඔවුන් මෙම ඉරණමට ගොදුරුවී තිබේ.

එසේම අවිස්සාවේල්ල, හේවාහින්න ප්‍රදේශයේ දී පෙරේදා (01දා) පස් කන්දකට යටවී 11 හාවිරිදි දැරියක ජීවිතක්‍ෂයට පත්වී තිබේ.

මහවැසි සුළං මැද විපත් - දින 13ට මරණ 15ක්

එමෙන්ම දෙයියන්දර, පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසකට පෙරේදා පස් කන්දක් කඩා වැටී තරුණයන් දෙදෙනකු මරුමුවට පත්වී තිබේ. ඔවුහු අවුරුදු 20 හා 23 යන වයස්වල පසුවන දෙනගම, පදිංචිකරුවෝ වෙති.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගා ඊයේ පස්වරුවේ පිටාර ගැලීම නිසා ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇත.

කළු ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර මේ හේතුවෙන් ඉදිරි පැය 48ක කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඬුල්ල, නිවිතිගල, කුරුවිට, අයගම, ඇලපාත සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මහවැසි සුළං මැද විපත් - දින 13ට මරණ 15ක්

නිල්වලා ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට පෙරේදා රාත්‍රියේ සිට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් හටගෙන තිබිණි.

මීට අමතරව ගිං ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය, දිවිතුර, ඇල්පිටිය, අක්මීමන, බද්දේගම, බෝපේ, පෝද්දල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබිණි.

එසේම කැලණි ගඟ ඉහළ ධාරා ප්‍රදේශවලට පෙරේදා රාත්‍රී සිට සැලකිය යුතු වර්ෂාපතන තත්ත්වයක් පැවතීම හේතුවෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම් ප්‍රදේශවල ද ගංවතුර තත්ත්වයක් හටගෙන තිබිණි.

කෙසේ වෙතත් ඊයේ සවස් වනවිට බොහෝ ප්‍රදේශවල ගංවතුර තත්ත්වය හටගෙන තිබිණි.

මහවැසි සුළං මැද විපත් - දින 13ට මරණ 15ක්

මේ වනවිට දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 20කට අයත් පවුල් 3834කට අයත් පුද්ගලයන් 13,717 දෙනකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් 20 දෙනකු තුවාල ලබා තිබේ.

එසේම පවුල් 230කට අයත් පුද්ගලයන් 827 දෙනකු සිය ඥාති නිවෙස් තුළ රැඳී සිටින බවද පවුල් 98ක පුද්ගලයන් 235 දෙනකු ආරක්ෂිත ස්ථාන 6ක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

මේ අතර දිවයිනේ ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ඇහැලියගොඩ ප්‍රදේශයෙන් වාර්තාවූ බවත්, එය මිලිමීටර් 427.5ක් බවත් කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විiාඥ මලිත් ප්‍රනාන්දු මහතා “දිවයින” ට ඊයේ (2දා) පැවැසීය.

මහවැසි සුළං මැද විපත් - දින 13ට මරණ 15ක්

මීට අමතරව ඉංගිරිය, හල්වතුර වතුයාය ප්‍රදේශයට මිලිමීටර් 348.5ක් ද අකුරැස්ස ප්‍රදේශයට මිලිමීටර් 283.5ක් ද කොස්ගම සාලාව ප්‍රදේශයට මිලිමීටර් 280.5ක් ද පාලින්ද නුවර ප්‍රදේශයට මිලිමීටර් 276ක් ද දෙරනගල ප්‍රදේශයට මිලිමීටර් 267ක් ද ආදී වශයෙන් අධික වර්ෂාපතනයක් ඇදහැලී ඇතැයි ද හේ කීය.

මෙම මිලිමීටර් 100කට අධික වැසි එක දිගට පැය කීපයක් ඇතැම් ප්‍රදේශවලට පතිත වී තිබූ බවද හෙතෙම කීය.

කෙසේ වෙතත් අද (3දා) වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්‍ෂා කරන බවද හෙතෙම කියා සිටියේය.

මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කවලට එම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බුලත්සිංහල, පාලින්දනුවර, ඉංගිරිය යන ප්‍රදේශවලට රතු නිවේදන නිකුත් කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයට දින දෙකක සිට ඇදහැලෙන අධික වර්ෂාව නිසා මේ වනවිට දිස්ත්‍රික්කයේ හොරණ, මදුරාවල සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගම්බිම්

රැසක් ගංවතුරෙන් යටවීම නිසා එම ජනතාව දැඩි පීඩාවට පත්ව සිටියහ.

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පරගොඩ, මෝල්කාව, ඉහළ වෙල්ගම, පහළ කුඩලිගම, රැටියල සහ දීයකඩුව ග්‍රාම නිලධාරි වසම්වල ගම්මාන රැසක් ජලයෙන් යටවී තිබූ අතර බුලත්සිංහල – මෝල්කාව මාර්ගයේ දඹල, දියකඩුව – නාහල්ල මාර්ගයේ ගල්ලක්ඇළ ප්‍රදේශය, දූල්ඇල්ල ප්‍රධාන මාර්ගය ඇතුළු ප්‍රවේශ මාර්ග රැසක් ජලයෙන් යටවී වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබිණි.

මේ අතර කුකුළේගඟ ජල පෝෂක ප්‍රදේශයට සහ සිංහරාජ කලාපයට ඇදහැලුණු අධික වර්ෂාව හේතු කොටගෙන කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබූ අතර, එයින් තත්පරයට ඝන මීටර් 450ක ජල ධාරිතාවක් කුඩා ගඟට එකතු වේ.

තව ද ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඉහළ වර්ෂාපතනයක් පැවැතීම නිසා කුකුළේගඟ, මගුරු ගඟ, පැලැන් ගඟ සහ යටගම්පිටිය යන ගංගාවල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බැවින් මධ්‍යම හෝ ඉහළ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.

අනපේක්ෂිත ලෙස ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි වසම් 11ක ජනතාව ජලයෙන් යටවී පීඩාවට පත්ව සිටියහ.

අධික වැසි හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් නිසා ඊයේ අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වී තිබිණි.

එසේම අවිස්සාවේල්ල, පුවක්පිටිය දුම්රිය ස්ථානය ප්‍රදේශය ජලයෙන් යටවී ඇති අතර එහිදී මාර්ගයේ ධාවනය වූ වාහන රැසක් (54ක්) ජලයේ ගසාගෙන ගොස් තිබිණි.

මෙම තත්ත්වය තුළ අවිස්සාවේල්ල සිට කොස්ගම දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට ද බාධා එල්ල වී තිබිණි.

කැළණි ගඟ පිටාර ගැලිීම හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා බියගම, මල්වාන, වැල්ලම්පිටිය, කඩුවෙල, කොළොන්නාව ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියහ.

මේ අතර පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත – කහවත්ත පිවිසුම් අසල කිරම ඔය පිටාර ගැලීම නිසා බෙලිඅත්ත – වලස්මුල්ල පාර මුළුමනින්ම යටවී බෙලිඅත්ත – මිද්දෙනිය කිරම ඔය ආශ්‍රිත කුඹුරු ඉඩම් අක්කර 500ක් පමණ වැසි ජලයෙන් යටවී තිබිණි.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ගිං ගඟ පිටාර ගැලීම නිසා පහත් බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවී ඊයේ බොහෝ ප්‍රදේශවල ගමනාගමනයට බාධා එල්ල වී තිබිණි.

ගිං ගඟ පිටාර ගැලීම නිසා විශේෂයෙන් නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිපිටිය, දිවිතුර, අක්මීමන, බද්දේගම සහ බෝපේ පෝද්දල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්. පී. සී. සුගීශ්වර මහතා ඉල්ලා සිටී.

මේ අතර තවලම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු ගංවතුරට හසුවී අතුරුදන් වී ඇත.

ගංවතුර අවදානමක් ඇතිවුවහොත් ජීවිත ගලවා ගැනීම සඳහා නාවික හමුදා කණ්ඩායම් 10ක් කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට යොදවා ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමරත්න මහතා පැවැසීය.

කළුතර – බුලත්සිංහල, පුවක්පිටිය, පාලින්දනුවර සහ වැලිපැන්න යන ප්‍රදේශවලට කණ්ඩායම් 05ක් ද ගාල්ල – තවලම, මාතර, අකුරැස්ස සහ පනාටුගම ප්‍රදේශවලට තවත් කණ්ඩායම් 05ක් ද යොදවා ඇතැයි ඔහු කීය.

මීට අමතරව නාවික හමුදා සාමාජිකයන් 03ත් 05ත් අතර කණ්ඩායම් 110ක් ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහා යොදවා ඇතැයි ද වික්‍රමරත්න මහතා කීය. මෙම සියලුම කණ්ඩායම් සඳහා බෝට්ටු සහ ජීවිත ආරක්‍ෂක කබා සහිතව යොදවා ඇතැයි ද ඔහු තවදුරටත් කීය.

ගංවතුරෙන් විපතට පත් ජනතාව බේරා ගැනීම සඳහා කිරිඇල්ල, අයගම, දෙහිඕවිට තල්දූව, ගලතුර ඔය (කිරිඇල්ල) මොරවක, තවලම, තිහගොඩ සහ නෙළුව බෝට්ටු සහිතව කණ්ඩායම් යොදවා ඇතැයි ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතා පැවැසීය.

තව ද මාලිම්බඩ සහ තලාව ප්‍රදේශයන් තුළ අවතැන් වූවන් සඳහා ආහාර පාන ඇතුළු අවශ්‍යතා සඳහා යුද හමුදා භට පිරිස් යොදවා ඇතැයි ද ඔහු කීය.

මීට අමතරව අවශ්‍යතාවක් ඇතිවුවහොත් භට කණ්ඩායම් යෙදවීමට සූදානම් කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ට උපදෙස් දී ඇතැයි ද කුමාර මහතා කීය.

විපතට පත්වූවන් ගලවා ගැනීම සඳහා හෙලිකොප්ටර් 03ක් ගලවා ගැනීමේ භටයන් සමග සූදානමින් ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවැසීය.

ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් ගලවා ගැනීම සඳහා දැනුම් දුන් විගස සූදානම්ව සිටින භට පිරිස් රත්මලානේ සිට හා කටුනායක සිට බෙල් 212 සහ බෙල් 412 හෙලිකොප්ටර් යානා 03 මගින් සිදුකරන බවද විජේසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

මේ අතර අයහපත් කලගුණික තත්ත්වය හේතුවෙන් මොරවක – නෙළුව මාර්ගයේ හතරේ කණුව ආසන්නයෙන් පස් කන්දක් කඩා වැටී ගමනාගමනයට බාධා එල්ල වී තිබිණි.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එසේම මාතර – යටියන මාර්ගය හිඟුරුපත්වල වේල්ල ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබිණි. ගංවතුර තත්ත්වය නිසා ප්‍රදේශ රැසක විදුලිය සැපැයීම ද විටින් විට අත්හිටුවීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

කඩුවෙල අධිවේගී අන්තර් හුවමාරුව වසයි

නොකඩවා ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ පිටාර ගලා බියගම මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව අවට ජලයෙන් යටවීමෙන් කඩුවෙල අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ හේතුවෙන් කඩවත දෙස සිට පැමිණ කඩුවෙල දෙසට පිටවන සහ කඩවත දෙසට වාහන ඇතුළුවිය නොහැකි බව එම අධිකාරිය කියයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් – චමින්ද සිල්වා සහ නෝමන් පලිහවඩන,

පසුබිම් වාර්තා – ලලිත් චාමින්ද, දෙල්ගොඩ – ඩබ්. ඩී. විතාන, බියගම – සුදත් පුබුදු කීර්ති, අඟුරුවාතොට – මංගල ප්‍රසන්න, අහංගම – සුගතපාල දීයගහගේ, හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්, මතුගම විශේෂ – අනුර ජයසේකර, බෙලිඅත්ත – රාමනායක, කහවත්ත – සමරවීර නිරෝෂණ, කඩුවෙල සුගත් ප්‍රේමතිලක

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් – චමින්ද සිල්වා සහ නෝමන් පලිහවඩන, පසුබිම් වාර්තා ලලිත් චාමින්ද, දෙල්ගොඩ – ඩබ්. ඩී. විතාන, බියගම – සුදත් පුබුදු කීර්ති, අඟුරුවාතොට – මංගල ප්‍රසන්න, අහංගම – සුගතපාල දීයගහගේ, හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්, මතුගම විශේෂ – අනුර ජයසේකර, බෙලිඅත්ත – රාමනායක, කහවත්ත – සමරවීර නිරෝෂණ, කඩුවෙල සුගත් ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment