‘යාපනය ගුරු සිරිත’ රටේම ගුරුවරුන්ට ආදර්ශයක්

95

මහපාරේ සටන් කරන ගුරුවරුන් සිසුන්ගෙන් ප්‍රතික්‍ෂේප වෙනවා
ජනපති යාපනය ගුරු පත්වීම් ප්‍රදානයේදී කියයි

අතීතයේ යාපනයේ පැවති ‘යාපනය ගුරු සිරිත’ රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් සැපයූ බවත්, එම අධ්‍යාපන ක්‍රමය නැවත ඇති කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ගුරු වෘත්තිය ආදර්ශයක් විය යුතු බවත්, සටන්පාඨ කියමින් මහපාරේ උද්ඝෝෂණය කරනවා නම් ගුරුවරුන් සිසුන්ගෙන් ප්‍රතික්ෂේප වන බවත් පැවසූ ජනාධිපතිවරයා, වෘත්තීය ගෞරවය රැකෙන අයුරින් කටයුතු කිරීම සියලු ගුරුවරුන්ගේ වගකීම බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කියා සිටියේ යාපනය තන්දයිසෙල්වා ශ්‍රවණාගාරයේ පෙරේද (25දා) පැවති යාපනය දිස්ත්‍රික් ගුරුපත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි. යාපනය දිස්ත්‍රික්කයේ 375 දෙනකු සඳහා මෙහිදී ගුරුපත්වීම් ප්‍රදානය කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව පත්වීම් ප්‍රදානයට එක් විය.

උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබීය.උත්සව සභාව ඇමතු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“අද ගුරු පත්වීම් ලබන ඔබ සියලුදෙනා විශාල වගකීමක් භාර ගන්නවා. සිසුන් 35-40ක් සිටින පන්ති කාමරයක දරුවන්ගේ අනාගතය අද ඔබ භාරගන්නවා. එම දරුවන්ගේ අනාගතය නිර්මාණය වන්නේ ඔබේ මගපෙන්වීම අනුවයි. එම වගකීම ඉටුකළ නොහැකි නම් ඔබ ගුරු වෘත්තියට සුදුසු වන්නේ නැහැ.

එදා යාපනයේ ගුරුවරු දිවයිනේ සෑම ප්‍රදේශයකටම සහ ජාත්‍යන්තරයටද අවශ්‍ය වුණා. ඔවුන් එම වගකීම විශාල කැපවීමකින් යුතුව ඉටු කළා. මම අධ්‍යාපනය ලැබූ කොළඹ රාජකීය විද්‍යාලයේත් යාපනයෙන් පැමිණි ගුරුවරුන් සිටියා. ඔවුන් විශාල කැපවීමකින් කටයුතු කළ අතර එම සුවිශේෂී කැපවීම නිසාම යාපනයේ සිටි ප්‍රසිද්ධ ගුරුවරුන් පිළිබඳ තවමත් සමාජයේ කථාබහට ලක් වෙනවා. එම ගුරු සිරිත රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් වූ බව කිව යුතුයි.

යාපනය ගොඩනැගුණේ එහි අධ්‍යාපනය උසස් මට්ටමකින් පවත්වාගෙන ගිය නිසයි. යාපනයේ ඇතැම් පාසල් ලෝකය පුරා විශාල ප්‍රසිද්ධියක් ලබා තිබුණා. හාර්ට්ලි විද්‍යාලයේ ශිෂ්‍යයන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය තුළ සිය දක්ෂතා පෙන්නුවා. ඒ නිසා ඔබද එම ගෞරවණීය වෘත්තියට ඇතුළත් වන ලෙස මම ඉල්ලා සිටිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment